Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිළිඳු බව තුරන් කිරීමේ දී බුදු දහම  අපට මඟ පෙන්වනවා

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ආර්.පී.බී. තිලකසිරි

අධ්‍යාත්මික හා භෞතික දිළිඳුකම ජයගත් පිරිපුන් මිනිසකු ගොඩනැගීම වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරයේ කාර්යභාරය කුමක්ද?

දිළිඳු ජනයාට යහපත් ජීවනෝපාය මාර්ගයක් සකසා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාදීමට සමෘද්ධි බැංකු පද්ධතිය බිහිකර තිබෙනවා.

සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ වන්නේ භෞතික දිළිඳුකම ජය ගැනීමේ අනවරත අරගලයේ යෙදී සිටින ජනතාවට ශක්තියක් දීම පමණක් නොවේ. ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයටත් සමෘද්ධි ව්‍යාපාරය මූලිකත්වයක් දෙනවා. නමුත් දිළිඳුකම වඩාත් පැතිරීගොස් ඇත්තේ භෞතික සාධක නිසයි. එම සාධක ඉවත් නොකර අධ්‍යාත්මික අවබෝධය සඳහා ඔවුන් මෙහෙයවීම ඵලක් නොවන කරුණක් . එහෙත් දිළිඳුකමට විසඳුම ඇත්තේ අත්මාවබෝධ තුළින් සත්‍ය පසක් කර ගැනීමෙන් පමණයි.

සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට නිවාස දහස් ගණනක් ඉදිකරදී වැටී සිටි පවුල් ලක්‍ෂ ගණනකට ස්වශක්තියෙන් ජීවත්වීමට මාර්ගය සකස් කර දී තිබෙනවා. ගම්මාන දස දහස් ගණනක මං මාවත් , ඒ දඬු පාලම් තැනීමට අවශ්‍ය සාමූහිකත්වය වගා කර එවා ඉදිකර තිබෙනවා. ලක්ෂ ගණනක් පවුල් ණය ගැති බවට යා නොදී රැකවරණය දී ඇත. මේ සියලු දෑ බුදුදහමින් අපට ලැබුණු දේයි.

පුද්ගලයා සමාජයෙන් කොන්වීම ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් බිඳ වැටීමට ද හේතු වෙනවා. එවැනි පුද්ගලයාත් සමාජ හුදකලාව සමඟ දුරාචාරය වෙත ගමන් කිරීම දකින්නට පුළුවන්. එනිසා සමාජ දුරාචාරය නැති කිරීමට කළ යුතු වැඩ පිළිවෙළ මේ වන විට සමෘද්ධි ව්‍යාපාරය හඳුනාගෙනද ?

සත්‍ය වශයෙන්ම මිනිසා හුදකලාවීම පරිහානිය කරා තල්ලුවීමට රුකුලක් වෙනවා. සමාජයෙන් කොන්වීම මෙන්ම අධ්‍යාත්මික වශයෙන් බිඳ වැටීම නිසා දිළිඳු පුද්ගලයා හුදකලා වෙනවා. ඔවුන් ඊළඟට බොහෝ විට ගමන් කරන්නේ දුරාචාරය වෙතට , බීමත්කම, දුප්පත්කම, නූගත්කම සමාජ දිළිඳු භාවයේ ප්‍රධාන සාධක ලෙස අද හඳුනා ගෙන තිබෙනවා.

බීමත්කමින් යුතු පුද්ගලයා ඉන් මුදවා ගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරය විශාල මෙහෙවරක යෙදී සිටිනවා. එසේම මෙරට ශක්තිමත්ම බලකාය ලෙස මතට එරෙහිව සටන් කරන හා සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කරගත් ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරයයි. දුම්වැටි විරෝධි කොඩි දිනයෙන් උපයාගත් මුදලින් පමණක් සමෘද්ධි ව්‍යාපාරය මගින් දැනට නිවාස දහස් ගණනක් සාදා තිබෙනවා. එසේම මෙවර අපි මතින් තොර අවුරුදු උළෙලක් සමරණ ආකාරය රටට කියා දුන්නා. එහි විශේෂාංගයක් වූයේ මතින් තොර අවුරුදු කුමරා තේරීමයි . සමාජ දුරාචාරය ඉවත් කිරීමට නම් ඉන් මිදී සිටින පුද්ගලයාට සමාජ අභිමානයක් ලබා දිය යුතුයි.

බුදුදහම තුළ සමාජ දුරාචාරය පිළිබඳ මනා විග්‍රහයක් තිබෙනවා.


ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝච යෝ නරෝ
ලද්දං ලද්දං විනාසේති
තං පරාභවතෝ මුඛං

මේ පුද්ගලයෙක් පර ස්ත්‍රීන් කරා යයිද, සුරා බීමෙහි ලොල් වුයේද , දූ කෙළියෙහි ලොල් වූයේද ඔහු ලද ලද යම් වස්තුවක් විනාශ වේ. එය පිරිහීමට කරුණක් වශයෙන් බුදුදහම දක්වා තිබෙනවා.

මේ ආකාරයට පිරිහීම කරා යන පුද්ගලයාව ඉන් මුදවා ගැනීමට සමෘද්ධි ව්‍යාපාරය සාර්ථක මගක් මේ වන විට අනුගමනය කරමින් සිටිනවා.

දිළිඳුකම ජය ගැනීමේ බුදුදහමේ දැක්ම සමෘද්ධි ව්‍යාපාරය හසුකර ගෙන ඇත්තේ කවර ආකාරයකටද ?

පන්සිය පනස් ජාතකයේ ඇතුළත් 31 වැනි ජාතකය තමයි කුලාවක ජාතකය. මෙහි මඝමානවක නමින් බෝධිසත්ව චරිතයක් අපට හමුවෙනවා. මොහු නිරන්තරයෙන් පංචශීලය රකින පුද්ගලයෙක්. ඔහු ජීවත් වූ ගමේ ගෙවල් තිහක් පමණ තිබුණා. මෙහි ජීවත්වන මිනිසුන් තිස් දෙනෙකු එක්වී කර්මාන්තයක යෙදී සිටියා. මඝ මානවකයන් තමන් සිටි ස්ථානය අතින් පයින් ඉතා අලංකාර ලෙස පිරිසිදු කළා. එම ස්ථානයට පසුව වෙනත් මිනිසකු පැමිණියා. ඔහු තවත් තැනක් පිරිසිදු කළා. එම ස්ථානයත් වෙනත් අයෙක් පැමිණ අල්ලා ගත්තා. මේ ආකාරයට සියලුම තැන් ඒ තිස්දෙනා විසින්ම පිරිසිදු කළා. පසුව එම ස්ථානයේ ඉතා අලංකාර ලෙස මණ්ඩපයක් සාදා නිදා ගැනීමට ලෑලි සවිකොට පැන් භාජනයක් ද අසල තබා ඔවුන් විසින් අම්බලමක් සැදුවා.

පසුව මේ ගම්වැසියන් තිස්දෙනා බෝධිසත්ත්වයන් සමඟ එක්වුණා. බෝධිසත්වයන් ඔවුන්ව පංචශීල ප්‍රතිපදාවේ පිහිටෙව්වා. පසුව ඔවුන් විශාල වශයෙන් කුසල් රැස් කළා.

ඔවුන් සියලු දෙනාම උදෑසනම අවදි වී පොරෝ, උදලුතල, කැති අරගෙන ගොස් මංමාවත් සාදන්නට වුණා. ගල් තිබුණු තැන් කඩා බිඳ දමා මාවත් වල වූ විශම තැන් සම කරන්නට වුණ ඒදඬු පාලම් දැම්මා. පැන් පොකුණු සාදන්නට වුණා. පොදු ශාලාවල් සදන්නට වුණා. ඒ වගේම දන්දීම් සිල් රැකීම් ආදියත් මඝමානව ඇතුළු පිරිස කළා.

මේ කුලාවක ජාතකයේ එන මඝමානවකයන්ගේ චරිතය සමස්ත සමෘද්ධි ව්‍යාපාරයටම විශාල ආදර්ශයක්. මේ තුළින් භෞතික දිළිඳුකම හා අධ්‍යාත්මික දිළිඳුකම යන දෙකම නැති කර ගැනීමේ මාවත පෙන්වා දෙනවා. වර්තමානයේ සමෘද්ධි ව්‍යාපාරය ගමේ යටිතල පහසුකම් දියුණුකරන්නට උත්සාහ කරන්නේ මෙම ශක්තිය තුළින්. ගමේ සංවර්ධනය තුළින් රටේ සංවර්ධනය මේ අනුව පහසුවෙන්ම ළඟා කරගත හැකිවෙනවා. සාමූහික ශ්‍රමය යන්නෙන් අදහස් වන්නේ බොහෝ දෙනෙකු සම්බන්ධ වී එක් නිෂ්පාදන ක්‍රියාවලියක් දියත් කිරීමයි. පරාර්ථචරියානුබද්ධ වූ සාමූහික ශ්‍රම පදනම මානව ගුණාංග වර්ධනයට හේතුවක් වන අතරම කාර්යයන් කඩිනමින් ඉටුකරගැනීමටත් සාර්ථකව එය නිමා කිරීමටත් එමඟින් හැකිවෙනවා. සාමූහික ශ්‍රමයෝජනය තුළින් ලත් ජයග්‍රහණ රැසක් පිළිබඳව තොරතුරු ජාතක සාහිත්‍යයේ සඳහන්ව තිබෙනවා. සම්මොදමානව ජාතකය ඉන් එක් නිදසුනක්. එසේම ලටුකික ජාතකයේ එන කැටකිරිල්ලිය කවුඩා ගෙම්බා හා නිලමැස්සාගේ සාමූහික ශ්‍රමයේ සාර්ථකත්වය මනාව පහදා දෙනවා.

ශ්‍රමය සංවිධානය කිරීමේදී මානසික ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම සිය කාර්යයක් නිසි පරිදි මෙහෙයවීම කෙරෙහි ඍජුව බලපාන කරුණක් වෙනවා. මෙහිදී පළමුවෙන් අලස බවින් මිදිය යුතුයි.

එසේම උට්ඨාන වීර්යයෙන් ශරීරය වෙහෙසා රැස්කරන ලද, දහඩිය වගුරුවා උපයන ලද ධාර්මික වූ දැහැමිව ලබන ලද්දා වූ ධනය දැහැමි දිවියට හිතකර බව බුදුදහම පෙන්වා දෙනවා.

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්ප මත්තස්ස යසෝ භිවඩ්ඩති “

“උට්ඨාන වීර්යය , සිහිය, පිරිසිදුකර්ම, විමසා බලා කටයුතු කිරීම, සංවරකම , ධාර්මික දිවි පැවැත්ම ඇති පුද්ගලයාගේ යසස දියුණුවේ. සමෘද්ධිය ඇතිවේ යන්න මෙහි අර්ථයයි.

රටක් දියුණුවෙන්න නම් එහි මිනිසුන් උත්සාහවන්ත විය යුතුයි. උත්සාහවන්තව වී්ර්යයෙන් ආර්ථික ශක්තිය ගොඩ නගා ගන්නට ප්‍රයත්න දරන්නෙකුට අවශ්‍ය උපදේශ පද්ධතියක් අංගුත්තර නිකායේද අන්තර්ගතව තිබෙනවා.

බෞද්ධ ධන පරිභෝජන රටාව පිළිබඳව තවදුරටත් විමසා බැලීමේදි දීඝනිකායේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වටිනා ගාථා ධර්මයක් අපට හමුවෙනවා.

“ එකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය
අපදාසු භවිස්සති “

තමා මහන්සියෙන් ධාර්මිකව උපයාගත් ධනය කොටස් හතරකට බෙදා පරිභෝජනය කළ යුතු ආකාරය මෙහි දැක්වෙනවා. මින් එන් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා ද,කොටස දෙකක් තමා ධනය උපයන කර්මාන්තයේ ආයෝජනයටද, ඉතිරි කොටස් විපතක් පැමිණි විට ප්‍රයෝජනය සඳහා ද ආරක්ෂා කර ගත යුතුය යන්න මින් කියවෙනවා. සමෘද්ධි අධිකාරියේ බැංකු පද්ධතිය ක්‍රියාත්මක වන්නේත්, දැනුවත් කිරීම් කරන්නේත් බුදුදහමේ පෙන්වූ මේ අදහසට අනුවයි. ගමේ උපයන දේ ගම තුළම ආයෝජනය කිරීමත් ගම තවදුරටත් සංවර්ධනය කරා වේගයෙන් ඇදී යනවා. අපි නිරතුරුව උත්සාහ කරන්නේ ගමේ සංවර්ධනයෙන් රටේ සංවර්ධනය ඇති කිරීමටයි. ඒ සඳහා බුදුදහම අපට විශාල ආලෝකයක් සපයනවා.

සමෘද්ධි ව්‍යාපාරයේ මූලික අරමුණක් වන්නේත් ප්‍රධාන ඉලක්කය වන්නේත් අධ්‍යාත්මික හා භෞතික දිළිඳුකම ජයගත් පිරිපුන් මිනිසකු ගොඩනැගීමයි. ලාංකික දිළිඳු ජනතාවට එයින් මිදීම සඳහා අප දැනට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. භෞතික දිළිඳුකම ජයගත් සමාජ කොටස් ජීවිතයේ එක් පාර්ශ්වයක් ජය ගෙන ඇති බැවින් අධ්‍යාත්මික දිළිඳුකම ජය ගැනීමට ඔවුන්ට එතරම් අපහසු වන්නේ නෑ.

මෙම වෙසක් පොහෝ දින ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පුවත්පත් ලක්ෂ 03 කට අධික ප්‍රමාණයක් බෞද්ධ ජනතාව අතට පත් කරනුයේ මෙම දිළිඳුකම අප නිවැරදිව හදුනාගෙන ඇති නිසයි. මීට වසර දෙකකට පෙරාතුව ඇරැඹි මෙම ව්‍යාපෘතිය සඳහා අප බුදුසරණ පුවත්පතම තෝරා ගත්තේ එය වසර 40 කට වඩා සතරපෝදාකම ලාංකීය බෞද්ධ ජනතාවගේ දහම් පවස නිවීමට විශාල රුකුලක් වූ නිසායි. එසේම මෙහි පළවන දහම් ලිපි මගින් සැබෑ ලෙසින්ම ලාංකීය බෞද්ධයා පෙළීවෙලී සිටින අධ්‍යාත්මික දිළිඳුකමට යම් නිශ්චිත පිළිතුරක් සැපයීමටත් හේතු වී තිබෙනවා යන්න අපගේ විශ්වාසයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.