Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන වෙසක් පින්කම

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව සංවිධානය කරන වෙසක් අනුස්මරණය මේ වසරේද සිදු කිරීමට ප්‍රංශයේ වාසය කරණ විවිධ ජාතික බෞද්ධයන් කටයුතු යොදා ඇත.

මැයි මස 18 ඉරු දින දවස පුරා ල බුර්ෂේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සීල සමාදානය , ධර්ම දේශනා, භාවනා සහ දානමය කුසල කර්මයන්ට මඟ පෙන්වන වැඩ සටහන් සංවිධානය කර ඇති අතර එදින සන්ධ්‍යා භාගයේ පැවැත්වෙන විශේෂ බුද්ධ පූජාවෙන් සහ ධර්ම දේශනයෙන් මෙම ප්‍රතිපත්ති පූජාමය වැඩ සටහන්මාලාව නිමාවට පත් කෙරෙණු ඇත. මෙදින 500 කට අධික පිරිසක් වෙනුවෙන් පිරිනමන මහා බත් දන්සලක් ද වේ.

එසේම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් ප්‍රංශයේ වාසය කරණ විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන වෙසක් අනුස්මරණ උත්සවය මැයි මස 11 වන දින උදේ 10 සිට රාත්‍රි 7 දක්වා පැරිස් නගරයේ  Bois de Vincenne  හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. උදේ කාලයේ ආගමික වතාවත් සමඟ පිණ්ඩපාත දානය සහ සංඝගත දක්ෂිණාවක් ද සංවිධානය කර ඇත. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමිය විසින් දවල් 1.30 බෞද්ධ කොඩිය එසවීමෙන් පසු බෞද්ධ සංස්කෘතිය විදහාපාන දර්ශනීය වෙසක් පෙරහර පැවැත්වේ. අනතුරුව පැවැත්වෙන වෙසක් අනුස්මරණ උත්සව සභාවෙන් පසු රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මෙහෙයවන මහා තෙසැත්තෑ ඤාණ පූජාවෙන් පසු 2552 වෙසක් අනුස්මරණ උත්සවය නිමාවට පත් වන බව පරවාහැර චන්දරතන නාහිමියෝ දන්වා සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.