Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෙඩ ඇති තැන නිවනක් නැත

ආරෝග්‍යා පරමා ලාභා’ යැයි බුදුරදුන් දේශනා කොට ඇත. ඒ ගාථාවේ හතර වැනි පදය ‘නිබ්බානං පරමං සුඛං’ යනුයි. ඒ හැටියෙන් ගත්කළ ලෙඩ නැතිකමත්, නිවනත් අතර සම්බන්ධයක් ඇතැයි සිතන්නට අවසර ඇත.

මෙතෙක් හඳුනා ගෙන ඇති, අතීතයේ සිට නම් කර තිබෙන විවිධ රෝග ගැන අපි දනිමු. එහෙත් අද නිතර ම පාහේ කතා බහට ලක්ව ඇති රෝග ගණනාවක් ගැන හැම අතින් ම අසන්නට හා දකින්නට ලැබී ඇත. එක් අතකින් ගත්කළ මේවා පෙරත් පැවති අසාධ්‍ය තත්ත්වයේ රෝග ම බව පෙනේ. එහෙත් ඒවා අද පෙරට වඩා වැඩියෙන්, බහුල ලෙස දක්නට ඇති බවක් පළ වෙයි. එවන් තත්ත්වයකට නොයෙක් හේතු තිබෙන්නට හැකිය. එක් වැදගත් හේතුවක් ලෙස මිනිසා විසින් ලෙඩදුක් හඳුනා ගන්නට නොයෙක් තාක්ෂණික ක්‍රම දියුණු කරගෙන තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෛද්‍ය විද්‍යාව ද වේගයෙන් ප්‍රගතිය කරා යෑම දැක්විය හැකි ය. දිගින් දිගට ම අපට ඇසුරු කරන්නට සිදුවී තිබෙන සමාජ වපසරිය ද, සීමා රහිත ය. අද අපි තොරතුරු තාක්ෂණය මගින් අන්දමන්ද කරනු ලබමින් සිටිමු. ඉතින් අපට අසන්නට, දකින්නට හා විඳින්නට සිදුවී තිබෙන ලෙඩදුක් සංඛ්‍යාව මෙතෙකැයි සීමා කර කියන්නට නොහැකි ය.

අද අපි බරපතල ලෙස පිළිකාව, හෘදය රෝග, වකුගඩු රෝග ආදී රෝග පිළිබඳ භීතියෙන් මුසපත්ව සිටිමු. මෙයට නන් විධ මානසික රෝග ද එක් වෙයි. මෙයින් වසර හැට හැත්තෑවකට පෙර අපි අපේ පරිසරයේදී ක්ෂය රෝගය, මැලේරියාව, සරම්ප, පැපොල, වසූරිය, මහාමාරිය වැනි රෝග වලින් කෙතරම් බියට පත්වීමු ද? එහෙත් අද අපි ඒඩ්ස් දක්වා පැමිණ සිටිමු. ඉදිරියේ දී මේ වනවිට නමකින් හඳුන්වා නැති රෝග කීයකට අලුතින් නම් දෙන්නට සිදුවේ දැයි කිය හැකි ද? මානව ඉතිහාසය පුරා හැම ශිෂ්ඨාචාරයකට ම අයිති සම්භාව්‍ය ග්‍රන්ථයන්හි අප්‍රමාණ රෝග සංඛ්‍යාවක නම් දකින්නට ලැබේ. විශේෂයෙන් වෛද්‍ය ග්‍රන්ථයන්හි තත්කාලීන විද්‍යාත්මක ක්‍රමයෙන් ඉතා ම පැහැදිලිව රෝග වල නම් හා විස්තර දක්වා ඇති බව පැහැදිලි ය.

මානව තත්වයට පත් වීමෙන් පසු මිනිසා දඩයම්, එඬේර, ගොවි යුග ගෙවමින් මේ මොහොත වනවිට කවර තැනකට පැමිණ සිටීදැයි නිකමට හෝ සිතා බැලීම අප කිසිවකුට අවාසිදායක වන්නේ නොවේ. මේ ඓතිහාසික ගමන ශිෂ්ඨාචාරය, දියුණුව හෝ ප්‍රගතිය හෝ වෙනත් කැමැති හැටියකින් හඳුන්වන්නට පුළුවන. එය විද්‍යාත්මක හෝ තාක්ෂණික ප්‍රගතිය වෙති යි කියන්නටත් හැකි ය. ඒ කෙසේ වෙතත්, එසේ ලබා ගන්නා ලද ප්‍රගතියට සමානුපාතික වන්දියක් ද මානව සංහතිය විසින් ගෙවා ඇති බවත් අප විසින් අමතක නොකළ යුතුව ඇත. ඒ එසේනම් අද අපට අත්දකින්නට ලැබෙන රෝග, ඉතිහාසය පුරා මානව සංහතිය එකී ප්‍රගතියට ගෙවමින් එන වන්දියක් ලෙස සැලකිය නොහැකි ද?

මේ වනවිට අප එකඑක් කෙනකු දිවි ගෙවා ඇති වසර ගණන තුළ රෝගයක් ලෙස හැඳින්විය නොහැකි වුවත්, රෝග ලක්ෂණයක් හෝ රෝගයකට මූලික හේතුවක් වියහැකි කොතෙක් අකරතැබ්බ වලට මුහුණ දී සිටිමු ද? එනම්, උදාහරණ වශයෙන් පමණක් නොයෙක් තැන ඇති වනරුජා, කැපුම්, කෙටුම්, සීරිම්, කැඩුම්, බිදුම්, වමනය, කැස්ස , හෙම්බිරිස්සාව, තැලීම්, පිළිස්සීම්, මූර්ච්ඡාවීම් ආදි වශයෙන් සුළු සිදුවීම් අතළොස්සක් දැක්විය හැකිය. මේ අතර වසර හැට, හැත්තෑ, අසූ, අනූ ගණන් දිවි ගෙවන්නට සිදුවන විට, පිටට නොපෙනෙන ජීර්ණ පද්ධතිය, බහිස්‍රාවී පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ආදියේ එක් එක් ඉන්ද්‍රියයක් පිළිබඳ රෝග කෙතරම් ඇතිවන්නට හැකි ද? සැබවින්ම කෙනකුට හැට වන වියේ වැලදෙන අසාධ්‍ය රෝගයක් ඔහුගේ හැට වසරක කාලයක් තුළ සිතට හෝ කටය මුහුණ දෙන්නට සිදු වූ හෝ විඳ වූ කර්ම පද්ධතියේ ප්‍රතිඵල විය හැකි ය. ඒ අතර වසර සියයක් ජීවත්ව සිටින තැනැත්තකුගේ අසාධ්‍ය රෝගයකින් ප්‍රකට වන්නේ ඔහු එතෙක් දිවි ගෙවූයේ කෙසේ ද යනු යි. එනම් ඔහු හොඳින් හෝ නරකින් ජීවත්වූයේ කවර අනුපාතයෙන් ද යන්න යි. කෙටියෙන් කියතොත් එවන් තත්ත්වයක් නිසා කිය හැක්කේ, වයස්ගත වන්නට වන්නට අපට හැදෙන රෝග අප දැන් මරණයට ආසන්න වෙමින් සිටින බවට ඉඟි කිරීමක් වන බව යි. ආරෝග්‍යය පරම ලාභයක් ලෙස සලකා ක්‍රියා කරන්නට අප දිරි ගැන්වෙන්නේ එකල්හි යි සිතේ.

කෙසේ වෙතත් පුරුද්දක් හැටියට දෝ නිරෝගීව සිටින තෙක්, අනෙක් අයට ලෙඩ හැදෙන්නාක් මෙන් අපටත් රෝග වැළඳීම මනුෂ්‍යත්වයට සාධාරණ පොදු උරුමයක් බව සිතන්නට තරම් අපට හැකියාවක් හෝ වුවමනාවක් හෝ විවේචනයක් නැත.

මේ අනුව අපට කොතෙක් දුරට අපේ ලෙඩදුක් ගැන අවධානයක් යොමු කරන්නට හැකිව තිබේ ද? මේ කවරක් නමුත්, තම තමන් සම්බන්ධ වූ දේ ම ඬසා, අප කවුරුනුත් සිතා බැලිය යුතු දේ ද වන්නේ ය.

රෝගයකදී මේ මේ හැටියෙන් දුක් විඳින්නට සිදු වෙති යි අප කිසිවකුට, තවත් කෙනකු විසින් අමුතුවෙන් කියාදිය යුතු නැතැයි සිතේ. ඒ කෙසේ වෙතත්, ‘වණේ වේදනාව දන්නේ වණේ් තියෙන මිනිහනෙ’ යි අප අතර කියමනක් ඇත. එයින් ඉඟි කැරෙන්නේ ලෙඩක් නොවැළඳී එයින් දුක්නොවිඳ එහි අරුමය තේරුම් ගත නොහැකි බව යි. එහෙත් ඒ පිළිබඳව ද පුදුම සහගත තත්ත්වයක් ඇත. එනම්, ඇතැම් විට අප කෙතරම් බරපතල රෝගයකට ගොදුරු වී දුක්්විඳ සුවපත් වුවත්, ටිකින් ටික කල්ගත වන විට, විඳි දුක් කරදරද අමතක වී යෑම යි. එවිට අපේ අමතක වීම හෝ නොසැලකිල්ල හේතුවෙන් ඒ රෝගය ම වුවද යළි වැළදෙන්නටද හැකි ය. නැතහොත් වෙනත් රෝගයක් මුහුණවරින් ඉස්මතු වන්නටත් හැකි ය.

ලෙඩ හැදුණු විට හෝ, ලෙඩ නැවත නැවත හැදුණු විට හෝ හැදුණු ලෙඩක් සුව නොවන කල්හි හෝ උදා වන බියකරු තත්ත්වය කුමක් ද? ලෙඩක් හැදුණු විට එය ඉබේම සුව වන්නේ නැත. මිනිස් සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණ හැකියාව මඟින් සුව කැරෙන රෝග තත්ත්වයක්ද ඇති බව වෛද්‍ය විද්‍යාව අපට තේරුම් කර දී ඇත. එහෙත් ඒ තත්ත්වයෙන් ඉහත දැක්වෙන බියකරු තත්ත්ව දුරු වන්නේ නැත. ලෙඩක් හැඳුණු විට අප කෙළින් ම දුවන්නේ වෛද්‍යවරයා වෙත ය. එවිට ලෙඩාට වෛද්‍යවරයා පෙනෙන්නේ ශක්‍ර දෙවියන් ලෙසිනි යි කියමනක් ඇත. එසේ කියතත්, කවර තරමේ ලෙඩක් සුව කරතත්, ශක්‍රයාට ගාස්තු වශයෙන් කිසිදු ගෙවීමක් කැරෙන්නේ නැත.

එහෙත් වෛද්‍ය විද්‍යාවෙන් ලෙඩක් සුවකර ගැනීමේ යථාර්ථය එය ද? කෙළින් ම කතා කරමු. හැකිනම් තරාදියක් ගෙන රෝගයේ සුවයත්, මුදලුත් දෙපසට දා තුලනය කරනු මැනවි! මෙසේ අපට වැළඳෙන එක් එක් රෝගයට සමානුපාතිකව එය සුව කර ගන්නට කෙතරම් මුදල් වුවමනා වෙති යි කිය හැකිද? සිතිය හැකිද? වර්තමානයේ ඕනෑ ම රෝගියකුගේ අත්දැකීම වන්නේ රෝගයක් වැළඳී එය සුව කර ගන්නට මුදල් වැය කරන්නට නොහැකි නම් විකල්ප සුවය මරණය බවයි. මෙය සනාතන තත්ත්වයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි. බණ පොතේ කියැවෙන හැටියට ‘කෝමාරහච්ච ජීවක’ යන රාජ වෛද්‍යවරයා යි. ඔහුගේ දස්කම් ගැන පුන පුනා කතා කළ යුතු නැත. එහෙත් ඔහුගෙන්

වෙදකම් ගත හැකි වූයේ රජුනට පමණකි. ඒ අතර ජීවකට බුදුරදුනට සහ බුදු පුතුනට වෙදකම් කිරීමේ අවසරය රජුගෙන් ලැබී තිබිණ. ඒ බුදුන් වහන්සේ බුද්ධ වංශික වුවත් ‘සිද්ධාර්ථ’ රාජවංශික වූ නිසා ය. එහෙත් පසුව එයින් බුදුන් වහන්සේටත්, කොසොල් රජුටත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වූ බව බණ පොතේ ම සඳහන් ය.

ඉතින් මේ ජරමර (ජරා මරණ) සියල්ලට ම හේතුව අප රෝගාතුර වීම නොවේ ද එසේනම් රෝගාතුර වීම වළක්වා ගතහොත් හෝ එවැනි ක්‍රමයක් සොයා ගෙන තිබේ නම් එය දැන ගතහොත් හෝ අපට සුවපත්ව සිටින්නට හැකි වනවා නොවේද? ඇත්තට ම මෙය කළ හැකි දෙයක් හෝ සිදුවිය හැක්කක් ද? ඇතිවීම,පැවතීම, නැතිවීම (උපත, පවත, විපත) ස්වභාවය කොට ගත් න්‍යායට යටත් අපේ පඤ්චස්කන්ධය සියයට සියයකින් රෝග වැළදීමෙන් වළක්වා ගත හැකි යැයි සිතතොත් එය උමතු කල්පිතයක් බව කිව යුතු නැත. ස්වභාවය ඉක්මවන්නට ස්වභාවයේ ම ප්‍රතිනිර්මාණයක් වන මිනිසාට නොහැකි ය.

මෙතෙක් සඳහන් කළ කරුණු ඔස්සේ ඉදිරියට යන විට අපට වැළඳෙන රෝග දෙවර්ගයක් ඇති ව පෙනේ. එනම් ස්වාභාවික රෝග හා එක්තරා හැටියකින් කියතොත්, අපේ සාමාන්‍ය ජීවන පැවැත්ම හේතුවෙන් අප විහින්ම කල් යල් ඇතිව පණිවිඩ යවා ගෙන්වා ගන්නාක් බඳු රෝග යි. ඒවා කෙටියෙන් දුරාචාර නිසා ඇතිවන රෝග සේ හඳුන්විය හැකි ය. සැබවින් ම අපේ සිහි කල්පනාව යම් පමණකට හෝ මැනවින් මනස්ගත කළහොත් එයට සමානුපාතිකව එවන් රෝග වලින් වළක්වා ගන්නට නොහැකි දැ යි සිතා බලන්නට වටනේ ය.

මෙහිලා කිසියම් සොයා බැලීමකට අපි බුදුදහම වෙත හැරෙමු’ යි යෝජනා කරන්නට මට සිතේයි. බුදුදහම මැදුම් පිළිවෙත පිළිබඳ විග්‍රහයකි. ලෝකෝත්තර නිරවාණය සාක්ෂාත් කරගත හැක්කේ ද මැදුම් පිළිවෙතිනි යි සම්මුති හා පරමත්ථ දේශනා දෙකින් ම සහතික කරනු ලැබේ. මැදුම් පිළිවෙත යනු අත්තකිලමථානු හා කාමසුඛල්ලිකානු යෝග විරතිය යි. මේ යෝග දෙක ම රෝග උල්පත් ය. අත්තකිලමථානු යෝගය රෝග උල්පතක් වන්නේ මිනිසකුගේ පැවැත්මට අදාළ මූලික අවශ්‍යතා හීන වීමෙන් ඇති වන මන්ද පෝෂණයෙනි.

සිදුහත් තවුසා අත්තකිලමථානුයෝගය අත්හළේ මන්ද පෝෂණය හේතුවෙන් සිහිසුන්ව ඇද වැටීමෙන් පසුව යි. සිදුහත් තවුසා අත්තකිලමථානුයෝගයේ යෙදුණේ ආහාර හිඟයක් නිසා නොවේ. හිතාමතා ම ය.

විමුක්තිය සොයන්නට ය. එහෙත් නැති බැරි සමාජය හෝ නැති බැරිකම තමන් විහින් ම තමන් පිට පටවා ගත් සමාජය අත්තකිලමථානුයෝගීන් බවට පත් වන්නේ ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් හිඟයෙනි. එවිට මිනිසුන් ස්වභාවිකව ම ලෙඩුන් බවට පත් වෙති.

ඒ තත්ත්වය එසේ තිබියදී ඉතා බැරෑරුම් ලෙස සිතන්නට සිදු වන්නේ අධිපරිභෝජනයෙන් කාමසුඛල්ලිකානුයෝගයට වැටී අකාලයේ මැරෙන්නට ‘දුරාචාර රෝග‘ අඬගසා ගැනීම ගැන ය. මේ තත්ත්වය කිසියම් යුගයකට සීමා වූවක් නොවේ.

අනවබෝධය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ වෙතත් අද මේ ගණයේ රෝග බහුල ලෙස අත්දකින්නට හැකි සේ පෙනේ.

මානව පරිණාමයේ දී මානවයා සනාතන අරගලයක යෙදුණේ සුව පහසු ජීවන මංපෙතක් සොයා සකසා ගන්නට යි.

මෙහිදී සිය මූලික අවශ්‍යතා සපුරා ගන්නා අතර, සන්සුන්, නිදහස් ජීවිතයක් ගත කරන ආකාරය ගැනත් මිනිසාගේ අවධානය යොමුවුණු බව පෙනේ. එහිලා මිනිසා යොමු කරන ලද්දේ ආගමික චින්තාව විසිනි.

අපරදිග වැසියන්ගේ අවධානය පෙරදිගට යොමු වූ කිසියම් දාක සිට ම පෙරදිග දර්ශනය කෙරෙහි ඔවුන් සිය අවධානය යොමු කළ බව පෙනේ.

පෙරදිග හැම ආගමික චින්තාවක ම දුරාචාරයට එරෙහි පඤ්චශීල පිළිවෙතට මුල් තැනක් දී ඇති බව පෙනේ.

එහිලා බුදුදහම අත්‍යන්තයෙන් හරවත් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

කාල් මාක්ස්, ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඩ් රසල්, එඩ්වින් ආර්නෝල්ඩ්, ජවහල් ලාල් නේරු, මහාචාර්ය බාපත්, ඩඩ්ලි රයිට්, රොබට් ඕපන් හයිමර්, මහාචාර්ය එස්. රාධක්‍රිෂ්ණන්, මාහාචාර්ය මැක්ස් මුලර්, ඇනටෝල් ක්‍රාන්ස් ආදි වියතුන් විසින් බුදුන් වහන්සේත්, බුදුදහමත් ගැන කියා ඇති දෙයින් ඒ බව ඔප්පු වෙයි.

මෙ අනුව පස් පවින් වැළකීමෙන් පනසිල් රැකෙයි.

කාය, වාග්, මනස් සංවරය ඇති වෙයි. පුද්ගලයා දුරාචාරයෙන් මිදෙයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත්වෙයි. මානසික සුවයත්, කායික සුවයත් අත්පත් වෙයි. මැදුම් පිළිවෙත යනුත් එය නොවේ ද? නිරාමිස සුවය යනුත් එය ම මිස අන් කුමක් ද?


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.