Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිතර සිහි කළ යුතු මරණානුස්සතිය

යම් තැනක උපතක් ඇතිවුණේ ද ඒ සමග මරණයක් ද ඇත. මිනිසකු ලෙස සෑම කෙනෙක්ම තනිව මොලොවට පැමිණියේ ය. තනිව පැමිණ සුළු කලකින් බැඳීම් සමුදායක් ඇති කර ගත්තේ ය. ඇති කරගත් මෙම බැඳීම් ජීවිතයේ අවසානය දක්වා රැගෙන යන්නේ ය. සියලු බැඳීම් ජීවිතයේ අවසානය දක්වා රැගෙන ගිය ද ඒ සියල්ල ධර්මය නොදන්නාකම නිසා අත් නොහරින්නේ ය. මේ මාගේ පියා ය. මව ය, භාර්යාව ය, සොහොයුරා ය, ඤාතිවරයා ය වශයෙන් පුද්ගලයා විසින් මේවාට හිමිකමක් ලබා දී ඇත. කිනම් ආකාරයක බැඳීමක් ඇති කරගත්ත ද මේ සියලු බැඳීම් එක් මොහොතක අත්හැරීමට සිදුවනු ඇත. ඒ අප මරණයට පත් වන මොහොතේ දී ය.

මරණය, සම්මුති මරණ, ක්ෂණික මරණ, සමුච්ඡේද මරණ වශයෙන් ආකාර 3 කින් දැක්විය හැකිය. සත්ව - පුද්ගල සංඤාවෙන් සලකාගත් අයෙකුගේ කය තුළින් ජීවිතේන්ද්‍රිය ඡේදනයවීම සිදුවන්නේ ද එය සම්මුති මරණය නම් වේ. කය නමැති රූපය පිළිබඳ සලකන විට - කය සැකසී ඇත්තේ සතර මහා ධාතුන්ගෙන් බව අප දනිමු. මෙම කය නැමති රූපයෙහි මූලිකත්වය නිර්මාණය වී ඇත්තේ රූප කළාපවලිනි. මෙහිදී චිත්තක්ෂණ 17 කට එක් රූප කලාපයක් හටගන්නේ. රූප කලාප වල ස්වභාවය නම් සමූහ වශයෙන් හටගෙන සමූහ වශයෙන්ම විරුද්ධ වීමය. ඒවායේ නිරුද්ධය. ක්ෂණයක්, ක්ෂණයක් පාසාම සිදුවන්නේ ය. මෙසේ ශරීරයෙහි හටගත් රූප කලාපයන්ගේ විනාශ වීම ක්ෂණික මරණය නම් යැයි දත යුතු ය. සමුච්ඡේද මරණය නම් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමය. මරණය යනු සංඛාර ලෝකයෙහි සනාතනික ධර්මතාවයකි. මෙය අවබෝධ කර නොගත් අයගේ ලාමක හැසිරීමක් බව දත යුතුය.

බුද්ධ දේශනාවෙහි අනිච්චාවත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ, උප්පජ්ත්වා නිරුජ්ජන්ති, තේසං වූපසමෝ සුඛෝ යනුවෙන් පෙන්වා දෙන්නේ, හේතුන්ගෙන් හටගත්තා වූ සියලු සංස්කාර ඒකන්ත වශයෙන් අනිත්‍ය භාවයට පත්වන බව ය. යමක උත්පත්තියක් ඇතිවිණි ද ඒ සමගම එහි නිරුද්ධිය ඇතිවන බවත් මෙහි සරල අර්ථය වන්නේ ය. කාරණය එසේ වෙතත් මෙය වර්තමානයේ ඇතමුන් ඇසීමට පවා අකමැති ගාථාවක් වී ඇත. සමහරු සිතන්නේ මෙම ගාථාව අසුභ හා ජීවිතයට මහත් වූ බිය උපදවන ගාථාවක් වශයෙනි. එම නිසාම මෙම ගාථාව පාංශුකූ®ල පවත්වන අවස්ථාව හැර වෙන කිසිම තැනක ප්‍රකාශ නොකරති. මෙහිදී අප තේරුම් ගත යුතු කාරණය නම් මෙය පාංශකූලය දීමේ අවස්ථාවෙහි කියවන ගාථාවක් නොව ජීවත්ව සිටින කාලය පුරාම සිහි කළ යුතු ධර්මයක් බවය.

මරණය පිළිබඳ සිහිය යොමු නොකළ ඇත්තෝ තම ජීවිත කාලය පුරාම කාමයන් සොයා දුවති. කොතරම් දුව ගිය ද සෑහීමක් නැත. අවසානයේ ජරා - මරණ නොදැනීම තමා කරා පැමිණ ඇත. ධර්මය අවබෝධ කරනොගත් ඔවුහු මරණය හමුවේ විලාප නගති. ලෝකයෙහි කොතරම් මිනිසුන් මියැදුන ද ජීවත්ව සිටින අය තමා ද යම් දිනක මිය යන බව නම් නොසිතන කාරණයකි. බොහෝ දුරට ඔබ නිවසේ හෝ ඔබ ඤාතී නිවෙසක මරණයක් සිදු වී ඇත. එහිදී නිවෙසට මියගිය තැනැත්තාගේ

මෘත දේහය රැගෙන පැමිණි විට නිවැසියන්ගේ හඬා වැළපීම හා විලාප නැඟීම ඔබ දැක ඇත. නමුත් මෙහිදී මැරුණු තැනැත්තා නිහඬව අපට කියාදුන් ධර්මය පිළිබඳ කිසිවෙකු හෝ මොහොතකට සිතුවාද? එහිදී නිහඬව ඔහු කියාදුන් ධර්මය නම් ජීවත්ව සිටින ඔබ සියලු දෙනාට ද යම් දවසක මෙම ධර්මතාවයට මුහුණ දීමට සිදුවන බව ය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ මරණය නමැති ධර්ම ස්ත්‍රී පුරුෂ සියලු ගිහි ඇත්තන්ද ගිහිගෙය අතහැර ශාසන පැවිද්ද ලබාගත් සියලු භික්ෂූන් වහන්සේද නිතර සිහිකළ යුතු කරුණක් බව ය. මනුස්ස ජීවිතය තණග රැඳි පිණිබිඳක් සේ අස්ථාවර මෙන්ම සුළු දෙයකින් කැඩෙන බිඳෙන බවත් අප වටහා ගත යුතුය. අප නිරන්තරයෙන් මතකයේ තබාගත යුතු කරුණක් ඇත. එනම් අපගේ තරාතිරම කෙසේ වෙතත් සියලු දෙනාගේ ජීවිත අභියස මරණය ඇති බවය. එසේ නැතහොත් හැම අවස්ථාවකම මරණයට හේතුවන කරුණු තමා හා සම්බන්ධ වෙමින් පවතින බවය. අප මරණය ගැන ඇති කරගෙන ඇති දෘෂ්ටිය කෙබඳු දැයි සිතතොත් චින්තනයෙහි ඇති පටුත්වය නිසා ඇතැම් කෙනෙක් මට වසර මෙපමණ ජීවත් වීමට ඉතිරිව ඇත. මාගේ මරණය ඇත්තේ තව වසර මෙපමණකින් යැයි මත පළ කරති. පුද්ගලයා ඉහළට ගත් හුස්ම සුළු මොහොතකට හෝ පහළට හෙළීමට නොහැකි වුවහොත් කය තුළ ඇති විඤ්ඤාණය නිරුද්ධ වී යන්නේය. එසේ ඉහළට ඇදි හුස්ම සුළු මොහොතකට හෝ පහළ හෙළීමට අපහසු වුවද එයද එසේම සිදුවන්නේ ය. අප ආහාර අනුභව කරන විටද මරණය අප හමුවෙහි ඇත. යම් ආකාරයෙන් අනුභව කරන ආහාරය පිට උගුරෙහි හිරවීමෙන් මරණය සිදුවිය හැකි ය. මහමග බස් රථයක ගමන් කරන විට වුවද මරණය අප කරා පැමිණිය හැකියි. එයද අප කිසි දිනක නොසිතු වේෂයකින් විය හැකිය. මෙහි ඇති ගැටලුව නම් මරණය කිනම් මොහොතක කුමන ආකාරයෙන් අප ජීවිතය නිමාවට පත්කරාවි දැයි කිසිවෙකුට හෝ කල් ඇතුව කිව නොහැකි බව ය.

ධර්මය හඳුනා නොගත් පුද්ගලයා තමන් මරණයට පත් වන්නේ යැයි නොසිතයි. ඔහු කාමයන් පසුපසම දිවයමින් තණ්හාවත්, ද්වේෂයත්, මෝහයත් රැස්කර ගනියි. ඇතිකරගත් අසීමිත තණ්හාව මුල්කර ගනිමින් කමින්, බොමින්, නටමින්, ඔහු අස්ථාවර කයම පෝෂණය කරයි. ඔහු කිසි දිනක තම සිත කුසලයෙන් පෝෂණය නොකරයි. එම නිසා මරණය පිළිබඳ කිසිදු අදහසක් ඔහු ඇතිකර ගන්නේද නැත. මෙහි අප වටහා ගත යුතු කරුණක් ඇත. එනම් මරණ සතිය යනු මා කිනම් වේලාවක හෝ මරණයට පත්වේද? යැයි තැතිගෙන ජීවිතයෙහි කටයුතු අඩාල කර ගැනීම නොව තමාගේ ජීවිතයේ අස්ථාවර හා බිදෙන සුළු ගතිය පඤ්ඤාවෙන් වටහාගෙන සිතෙහි පවතින අනවශ්‍ය රාගය හා ද්වේෂය දුරකිරීමට උත්සාහ කිරීම ය කළ යුතු බවය. යමෙක් තණ්හාවෙන්, තරහෙන් හෝ මුලාවෙන් සිටින විට හදිසියේ මරණයට පත් වුවහොත් ඔහුගේ මීළඟ උපත බොහෝ දුරට අවාසනාවන්ත වන බව තේරුම් ගත යුතුය. යමෙක් මරණය පිළිබඳ යෝනිසෝමනසිකාරය පිහිටවන්නේ ද ඔහු තුළ උපන්නා වූ අකුසල ද ප්‍රහාණය කිරීමට සිත් පහල වන්නේ ය. නූපන්නා වූ අකුසලයන් ද නූපදීමට ඔහු කටයුතු කරන්නේය. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ප්‍රථම මරණාසති හා දුතිය මරණසති සූත්‍ර දේශනාවලදී තථාගත ශ්‍රාවකයා විසින් මරණය නමැති ධර්මය පිළිබඳ කෙසේ නම් සිහිකළ යුතුද යන්න මෙසේ පැහැදිලි කරති.

නිවන අවබෝධ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රාවකයා විසින් දහවල් කාලය ඉක්මගිය කල්හි රාත්‍රී කාලයෙහි මාගේ මරණයට බොහෝ කරුණු ඇතැයි සිතිය යුතුය. සර්පයකු ගෝනුස්සකු හෝ මා හට දෂ්ට කෙළේද එයින් මාගේ මරණය සිදුවන්නේ ය. එසේ නැතහොත් පය පැටලී මා වැටේද මා අනුභව කරන බත වෙනසකට පැමිණියේද මගේ පිත, සෙම හෝ වාතය කිපේ ද එයින්ද මාගේ මරණය සිදුවිය හැකිය. මේ ආකාරයෙන් මාගේ මරණය රාත්‍රී කාලයේ සිදුවන්නේ ද ලාමක වූ පාප ධර්ම සමගම එය සිදු වූ නිසා එය මගේ ජීවිතයට අන්තරායකර ධර්මයක් වන්නේ ය. ඒ හෙයින් මා තුළ පවතින ලාමක වූ අප්‍රහීන පාප ධර්ම නිරුද්ධ කිරීමට හා උත්සාහ කරමි යැයි නොපසුබසින සිහියද බලවත් කැමත්ත ද බලවත් ව්‍යායාමය ද විමසන නුවණ ද ඇති කරමින් හිස ගිනිගත් අයෙකු අන් සියලු කටයුතු පසෙකලා ඇවිලුණ හිස ගිනි නිවා දැමීමට යම් උත්සාහයක් දරන්නේද එසේ උත්සාහ දරමි ආදී වශයෙන් සිහිකළ යුතු බවය.

පුද්ගල ස්නානයෙහි ඉෂ්ට කරගත නොහැකි වූ බොහෝ බලාපොරොත්තු ඇත. ලෝකයේ ස්වභාවය නම් කිසි දිනක සියලු බලාපොරොත්තු ඉටුකර ගත නොහැකි වීමය. පුද්ගලයා තමන් විසින් ඇති කරගත් මෙම බලාපොරොත්තු සමුදායත් සමඟ ජීවත් වෙයි.ජීවත් වූ කාලය පුරාම එම ආශා ඉෂ්ට කර ගැනීමට වෙහෙසුණ ද එය සාර්ථක වන්නේ නැත. තම අසීමිත බලාපොරොත්තු ඉටු කරගැනීමට නොහැකි වූ විට පුද්ගලයා නොයෙක් අධාර්මික ක්‍රියාවලටද යොමු වෙයි. ඔහු තුළ හටගත් අසීමිත ආශා නිසා තමා මැරෙන බව අමතක වී යයි. අවසානයේ අසීමිත ආශා සමග ඔහු මෙලොවින් සමුගන්නේ ය. ඔහු රැගෙන ගියේ රාගයත්, ද්වේශයත් මුලාවත් පමණි. එහෙයින් ලොව ජන්ම ලාභය ලැබූ සියලු සත්ත්වයන්ටම පොදු වූ ධර්මතාවක් වන මරණය පිළිබඳ සිහිය යොමු කොට පාපයන්ගෙන් සිත නිදහස් කරමින් අප්‍රමාදි බව ප්‍රගුණ කිරීමට සියලු දෙනා උත්සුක විය යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.