Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බූස්සේ විජිත නා හිමියෝ අනු නායක පදවි ලබති

අමරපුර සිරිසුමන මහා නිකායේ පුරප්පාඩු වී පැවැති අනු නායක පදවිය සඳහා තත් නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පණ්ඩිත බූස්සේ විජිත නාහිමියන් පත්කරනු ලැබ සිටිති.

2007 දෙසැම්බර් 26 දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට රැස් වූ අමරපුර සිරි සුමන මහා නිකායේ මහා නායක මාතර විමලරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝ සභාව විසින් එම පත්වීම සිදුකර ඇත. උන්වහන්සේ අනුරාධපුර නිවන්තකචේතිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සහ නිවන්තකචේතිය පිරිවෙන්හි පරිවේණාධ්‍යක්‍ෂක ධූරයද දරති.

1951 වසරේ ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1960 දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී අනුරාධපුර නිවන්තක චේතිය රජමහා විහාරාධිපති වූද, අමරපුර සිරි සුමන මහා නිකායේ 6වන මහා නායක ධූර ප්‍රාප්ත “සිරි සද්ධාතිස්සවංශපාල ගණාචරිය” සද්ධර්ම කීර්ති ශ්‍රී වාදීභසිංහ අපවත් වී වදාළ බූස්සේ ධම්මරක්ඛිත මහා නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් වූහ.

1977 දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී උපසම්පදා වූ උන්වහන්සේ ගා/ විද්‍යාරාජ ජ්‍යෙෂ්ඨ පිරිවෙණේ ද, ගා/පුඤ්ඤසාර පිරිවෙණේ ද, ගම්පහ සාම විහාරස්ථ ජාත්‍යන්තර භික්‍ෂු පුහුණු ආයතනයේ ද ප්‍රාචීන භාෂාන්තර ඤාණය සහ පණ්ඩිතෝපාධිය දක්වාත් ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ද හැදෑරූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.