Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඵලදායක දහම් අධ්‍යාපනයකින් සුවපත් වූ සමාජයක් බිහි කිරීම

සුනාථ ධාරේථ, චරාථ ධම්මේ” යන බුදු වදනින් හොඳින් පැහැදිලි වන කරුණක් නම්, බෞද්ධ දර්ශනය මනාව අසා, ධාරණය කරගෙන ඒ අනුව හැසිරීම අත්‍යවශ්‍ය බවයි.

එහෙත් පාසලේ දී හෝ දහම් පාසලේ දී මෙම ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වේද දැයි සලකා බැලීම, වැදගත් වෙයි. විභාග හෝ විෂය කේන්ද්‍රය ස්වරූපයක් මත අධ්‍යාපනය තරගකාරී බවකින් යුක්ත වූ විට ඉහත සඳහන් පරමාර්ථය ඉටු කර ගැනීමට අපහසු වන බව, වර්තමාන විද්වත් හු පිළිගනිති. අධ්‍යාපන විෂය මගින් දැනුම, ආකල්ප හා කුසලතා හෝ ප්‍රජානන ආවේදන, මනෝචාලක වශයෙන් හෝ පුද්ගල සංවර්ධනයට ඉඩ ප්‍රස්ථාව ලැබුණ ද ඒවායින් චර්යාත්මක වෙනසක් හෝ ඒවාහි නිසි ඵල නොමැති බව සමාජ, අධ්‍යාපන විද්වත්හු පෙන්වා දී ඇත. ඒ අනුව ඒ අවබෝධයේ ප්‍රතිඵලයක් ලෙස, එයට පිළියමක් ලෙස පාසල් පන්තිකාමරය තුළ නිපුණතා පාදක කරගත් පොදු හෝ පෞද්ගලික ක්‍රියාකාරකම් වලට මුල් තැන දෙමින් නව අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයින් අදහස් කැරෙන්නේ දැනුම, ආකල්ප, කුසලතා සහා අන්තර් පුද්ගල යහපත් සම්බන්ධතා සහිත, යහපත් ජීවන පුරුදු සහිත සමාජයක් බිහිකිරීමයි. එහෙයින් විභාග කේන්ද්‍රීය වූ, විෂය දැනුම පමණක් පදනම් කරගත් ඉගැන්වීමේ ක්‍රමවේද අතහැර ක්‍රියාකාරකම් පදනම් කර ගෙන අවශ්‍ය නිපුණතා ඇති කිරීමේ ක්‍රියාවලියට, සිසුන් යොමු කළ යුතුව ඇත. ඒ අනුව බුද්ධාගම විෂයයේ දී අදාළ පාඩම් විය යුත්තේ සදාචාර සංවර්ධනය පාදක කරගත් ක්‍රියාකාරකම් ය.

එහෙත් දැනට පාඨශාලාවල සහ දහම් පාසල්වල භාවිතා පෙළ පොත් හි වැඩිපුර අවධානයක් යොමු වී ඇත්තේ, විෂය දැනුම ලබාදීමට බව පෙනෙයි.

නිදසුන් ලෙස, බුද්ධ ධර්මය, 8 ශ්‍රේණියේ, 6 වන පාඩමෙහි (මහාමංගල සූත්‍රය) දක්වා ඇති අභ්‍යාස මෙන්ම, දස අකුසල් (දහම් පාසලේ 7 ශ්‍රේණිය, 27 පාඩම අභ්‍යාස දැක්විය හැකි ය.

01. මංගල සූත්‍රය නිවැරැදි උච්චාරණයෙන් තනි තනිව හා සාමූහිකව සජ්ඣායනය කරන්න.

02. මෙයින් ඔබ කැමැති ගාථා දෙකක් නිවැරැදිව පිටපත් කරන්න.

03. බුදුරජාණන් වහන්සේ විසින් මංගල යැයි අනුමත කරන ලද කරුණු හැකිතාක් නම් කරන්න. ( 08 ශ්‍රේණිය, 06 වෙනි පාඩම)

01. මෙම පද්‍ය පන්තිය ඇසුරින් කයින්, වචනයෙන් හා සිතින් සිදු වන අකුසල් වෙන් වෙන් ව ලියන්න.

02. වචනයෙන් සිදුවන අකුසල් නම් වශයෙන් ලියා, එම අකුසල් සම්පූර්ණ කිරීමට අවශ්‍ය අංග කවරේ දැයි ලියන්න.

03. දස අකුසල් දැක්වෙන පද්‍ය තුන කටපාඩම් කොට පන්තිය ඉදිරියේ ගායනා කරන්න.

මීට අමතරව,

කාව්‍ය ශේඛරයේ එන මෙම පද්‍යයද උදව් කර ගනිමින් “දස අකුසලින් වළකිමු” යන මාතෘකාව යටතේ ශිෂ්‍ය සමිතියේ කථාවක් පවත්වන්න.

යනුවෙන් භාවිතයට ගැනීමට යැයි සඳහන් කර ඇත. (7 ශ්‍රේණිය, 27 පාඩම දස අකුසල්)

එහෙත් මෙම විෂය කරුණු දෙක යටතේ ම ප්‍රායෝගිකව මෙම කරුණු ජීවිතයට ලබා දීම පිළිබඳ ඇගැයීමේ ක්‍රියාවලිය සංවර්ධනය කළේ නම්, ඉතා අගනේ ය.

පුද්ගල දැනුම, ආකල්ප, කුසලතා සමාජ පුද්ගල සම්බන්ධතා ගොඩනැඟෙන අයුරින් මංගල සූත්‍රය ඇසුරින් පහත සඳහන් ආකාරයට ප්‍රශ්නාවලියක් සකසා ගැනීමට හැකි ය.

1. මංගල සූත්‍රයෙන් දැක්වෙන්නේ මෙලොව පරලොව සැපතට හේතු වන මාර්ගෝපදේශ රැසකි. ඒ අනුව “මෙලොව පරලොව සැපතට හේතුවන මාර්ගෝපදේශ සංග්‍රහය” යන මැය යටතේ පොත් පිංචක් සකසන්න. (මෙම ක්‍රියාවලිය සිසුන් කළ යුත්තේ කණ්ඩායම් කීපයකට බෙදී මංගල සූත්‍රයේ ඒ ඒ කරුණු ප්‍රමාණාත්මකව කණ්ඩායම් වලට බෙදාගෙන ය. එසේම ගුරුවරයාගේ ද උපදෙස් ලබා, එම මංගල කරුණු වලට සම්බන්ධ වෙනත් ධර්ම කරුණු ද සොයා බලමින් ය.)

2. පූට්ඨස්ස ලෝක ධම්මේහි... යන ගාථාවෙන් කියැවෙන, ජීවිතයට අවශ්‍ය ශක්තිමත් මනා පෞරුෂයක් ගොඩනඟා ගැනීමේ හැකියාව පුද්ගලයා තුළ පවතී. මෙම අදහස විවෘත ග්‍රන්ථ පරිශීලනයක් මගින් සනාථ කරමින් පන්තියට ඉදිරිපත් කරන්න.

(මෙහිදී සිසුහු ඉහත කියැවෙන අදහස සම්බන්ධව ආගමික ග්‍රන්ථ පරිශීලනයක යෙදෙන අතර, එම ගාථාවෙන් කියැවෙන අදහස සනාථ කිරීමට උත්සුක වෙති. මෙහිදී සිසුන් දැනුම පමණක් නොව, ආකල්ප මෙන්ම කුසලතා සංවර්ධනය කර ගැනීමට ද සමත්වනු ඇත)

එසේ වූව ද, නිපුණතා පාදක කර, ලියන ලද 11 වසර “අරුත්බර ජීවිතයකට භාවනාව“ (4 පාඩම) යටතේ ඇති ප්‍රශ්න අගය කළ හැකි බව පෙනෙයි.

1. භාවනාවෙන් තම ජීවිතයට ලැබෙන ප්‍රයෝජන 5 ක් ලියන්න.

2. විභාගය අසමත් වී කළකිරුණු ඔබේ හොඳම මිතුරා මිතුරියට සිත හදාගැනීම සඳහා ඔබ දෙන අවවාද 5 ක් ලියන්න.

3. සමථ, විපස්සනා භාවනා වෙන වෙනම හඳුන්වා දෙන්න.

පැවරුම

1. ඔබ අලාභ, අයස, නින්දා හා දුක ඇති වූ අවස්ථා වලදී සාර්ථව මුහුණදුන් හැටි පොත් පිංචක සඳහන් කරන්න.

2. දිනපතා භාවිතා කිරීමට සුදුසු වේලාවක් වෙන් කරගෙන කරනු භාවනාවකින් ගෙනදෙන ප්‍රතිඵල, අන් අය සමඟ සාකච්ඡා කරන්න.

මේ අනුව සිසුන් ඉගෙනගත් හැකිතාක් ප්‍රායෝගිකව අත්දැකීමට හැකිවන අයුරෙන් නැතහොත් එම දහම් කරුණු ඔවුන් තුළින් ප්‍රදර්ශනය වීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙනේ.

බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වන්නේ, පුද්ගලයා හා සමාජය සම්බන්ධ සදාතනික ගැටලුව විසඳා ගැනීමයි. සන්තාන ගත දුක හා සමාජගත දුකත් , එහි හටගැනීමත්, එම දුක් නැතිකිරීමෙන් ලැබෙන සුවයත්, එම සුවය ලබා ගැනීමේ මාර්ගයත් බුදු දහමෙහි මනාව පෙන්වා දෙයි. ඒ අනුව බෞද්ධ අධ්‍යාපනය මගින් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමේ ප්‍රායෝගික නැඹුරුව වඩාත් ශක්තිමත් කළ හැකි බව ඉතා පැහැදිලි කරුණකි.

එහෙත් බටහිර විවිධ බලපෑම් මත (ආර්ථික, දේශපාලන, සාමාජික හා අධ්‍යාපනික) බෞද්ධ අධ්‍යාපනය ප්‍රායෝගික බවෙන් වෙනස් වූ අතර, ආගම විෂය, ක්‍රමයෙන් දැනුම ලබාදීමේ හා ධාරණය කර ගැනීමේ (සුනාථ, ධාරේථ යන කරුණු දෙකට පමණක් සීමා වූ ක්‍රියාවලියකට පමණක් සීමා වූ බවක්, දක්නට ඇත.

ඒ අනුව බුදු දහම මගින් විභාග සඳහා පමණක් දැනුම බෙදාදීමේ තත්ත්වය පාසල් පෙළ පොතෙන් මෙන්ම දහම් පාසල් පෙළ පොතෙන් ද වෙනස් කොට, එම දැනුම ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කිරීමේ මහඟු කාර්යයට ඉඩකඩ ලබා දිය යුතු බව පෙනේ.

වර්තමානයේ උද්ගත වී ඇති තරගකාරී සමාජ වාතාවරණය තුළ, ආධ්‍යාත්මික සංවර්ධනයක් ගැන නිසි අවබෝධයක් නොමැතිවීම, මෙයට හේතුවකි. එහෙත් සමාජයේ ආගමික, සදාචාර පිරිහීමට පිළියම් වශයෙන් කෝටි ගණන් වියදම් කොට විවිධ සාම වැඩසටහන් සාරධර්ම අධ්‍යාපන වැඩසටහන් ආදිය සිදු කෙරේ. මෙයින් පෙනී යන කරුණක් නම්, අපගේ ආගමික අන්ධභාවයයි. පාසල්වල, මෙන් ම දහම් පාසල් වල ආගම ප්‍රායෝගික කරණයට ඇති තවත් බාධාවක් නම්, එම දහම ගැඹුරින් නොහැදෑරූ පිරිසක් හෝ ඒ පිළිබඳ මනා ආකල්ප නොමැති පුද්ගලයන් එම විෂය ඉගැන්වීමෙහි යෙදීමයි. ආගම පිළිබඳ ආකල්ප විරහිත පුද්ගලයන්ට එම විෂය ඉගැන්වීමට දීම මගින් සමාජයට අනිසි ප්‍රතිඵල ලබාදෙන අවස්ථා පිළිබඳ නිදසුන් බොහෝ ය. එයින් එකක් පමණක් මෙහි සඳහන් කෙරේ. එක්තරා පාසලක බුද්ධාගම උගන්වන ගුරුවරයා එදින සිසුන්ට ඉගැන්වීම කරන ලද්දේ කරණීය මෙත්ත සූත්‍රයයි හෙවත් මෛත්‍රී භාවනාවයි.

එම අවස්ථාවේදී එක් සිසුවෙකුගේ ක්‍රියාකලාපයක් නිසා කෝපයට පත් ගුරුවරයා එම සිසුවා දණ ගැස්වීය. එම සිසුවා එදින මෛත්‍රී භාවනාව ඉගෙන ගනු ලැබුයේ අන්සියලු සිසුන්ගේ අවඥාවට ලක්වෙමින් විද්‍යාල බිමෙහි දණ ගසාගෙන ය. මෙවැනි දරුවෙක්, මෙවැනි අත්දැකීමක් මත කෙසේ නම් සියලු සතුන්ට මෛත්‍රීය කරයිද? එම ගුරුවරයා තමා උගන්වන එම දහමේ ගැඹුර ගැන දැන සිටියේ නම්, එම දරුවාට එවැනි දඬුවමක් ලබාදීමට ඉක්මන් වන්නේ ද? එසේම මේ ක්‍රියාව නිසා, එම අවස්ථාවේ අනෙක් සිසුන් තුළ වූව ද මෛත්‍රී භාවනාව කෙරෙහි නිසි වැටහීමක් ඇති වූයේ යැයි සිතිය හැකි ද?.

වරදක් සිදු වූ විට, එම මොහොතේම එවැනි දඬුවමක් දීම සුදුසු යැයි අනෙක් සිසුන් තුළද දහමට පටහැනි ආකල්පයක් ඉන් ඇති නොවේද? ඔවුහු ද සමාජය සමඟ කටයුතු කිරීමේ දී ගුරුවරයා පෙන්වා දුන් ඒ ආදර්ශය පිළිනොපදිත් ද?

එහෙයින් බුදු දහම විභාග වලින් සමත්වීම සඳහා (අධ්‍යාපන සහතිකයට පමණක්) යොමුකිරීම මගින් සමාජය අපේක්‍ෂා කරන නිසි ප්‍රතිඵල සමාජයට නොලැබෙනු ඇත. එවිට,

1. මවුපිය සම්භාවනා වැඩසටහන් ඇතුළත් දින (දැනට ඇත)
2. මවුපියන් හමුවීමට යන දිනය.
3. මව්පියන්ට උපස්ථානය කරන දිනය.
4. වැඩිහිටි දිනය (දැනට ඇත)
5. දහමට අනුව හැසිරීමේ දිනය
6. බුදුන්, දහම්, සඟුන් සිහිකිරීමේ දිනය.
7. ගුරුවරුන් නැමදීමේ දිනය

ආදී වැඩසටහන් වලට සහභාගී වීමේ දින ඇතුළත් වාර්ෂික වැඩසටහන් සම්පාදනය කිරීමට සිදුවේ. ඒවායින් අදහස් වන්නේ වර්තමාන සමාජයේ සාරධර්ම පිරිහී ඇති බවයි.

පාසල් අධ්‍යාපනයේ දී හැර එදිනෙදා, තම ජීවිතයේ දී බුදුදහම ප්‍රායෝගිකව භාවිතා කරමින් එහි ප්‍රතිඵල අත් විඳින පිරිසක් ද සිටිති. බුදුදහම ප්‍රායෝගිකව අත්දැකිය හැකි අවස්ථා කීපයකි මේ,

1. උදයේ පිබිදෙන අවස්ථාවේම බුදු ගුණ සිහි කර මෛත්‍රී භාවනාවේ යෙදීම.

2. රාජකාරී අවස්ථාවේ දී අන් අයට කරුණාවෙන් සැලකීම. රාජකාරිය අවංකව කිරීම.

3. සමාජ සම්බන්ධතා වලදී ඉවසීම, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව ප්‍රගුණ කිරීම.

4. නිවසේ දී දූ දරුවන් සමඟ සතුටින් (සන්තුට්ඨී පරමං ධනං) ජීවත් වීමට උත්සුක වීම.

5. සුරාවෙන්, සූදුවෙන් තොරව ජීවත් වීම.

6. දවස අවසන ආගමික වතාවත් හි යෙදීම හෝ විශේෂ ස්ථානයක් නොමැති වූව ද පෞද්ගලිකව හෝ තම දෛනික කටයුතු අවසානයේ නින්දට පෙර තෙරුවන් ගුණ සිහිකර, මෛත්‍රී භාවනාවේ යෙදීම. මේ අනුව අප වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ ඉගෙනගත් දහම ප්‍රායෝගිකව මෙලෙස අත්දැකීමට පුද්ගලයා යොමු කිරීමට ය. “යො ධම්මං පස්සති, සොමං පස්සති” යන බුද්ධ දේශනාව අනුව, ධර්මය ප්‍රායෝගිකව අත්විඳීමේ වැදගත්කම පාසලේ හා දහම් පාසලේ ගුරුවරුන් මෙන්ම සිසුන් ද අවධාරණය කරගත යුතු ය.

එසේ නොමැති වූ විට අපට සිදුවනුයේ “සුනාථ ධාරේථ” යන කරුණු දෙකට පමණක් සීමා වී සිටීමයි. එය අප ධර්මය ඉගෙනීමෙන් ලබන වැදගත්ම ඵලය වූ “චරාථ” නම් වූ ක්‍රියාකාරී බව නොසලකා හැරීමකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.