Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතක සාහිත්‍යයේ විමුක්ති දැක්ම

ශත වර්ෂ විසි පහකට ආසන්න කාලයක් ජාතක සාහිත්‍යය අප රටෙහි පොදු ජනතාව ගේ හදවත් ඇද බැඳ තබාගෙන පවතියි. බෞද්ධ උපාසක උපාසිකාවන් ජාතක පොතට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ඒ නිසාම ‘ජාතක පොත් වහන්සේ’ කියන විශේෂණ පදයෙන් හැඳින්වීමට ද ඔව්හු වගබලා ගත්හ. පොදු මහ ජනතාවගේ සිතුම් පැතුම් සහ ජීවන දර්ශනයත්, පුළුල් අන්දමින් ගොඩනංවා ජනතා හදවත් තුළ ඔවුනොවුන්ගේ් අවබෝධය ජනිත කැරවීමෙහිලා ජාතක පොත් වහන්සේ මගින් ගොඩනංවන ලද බලය අසීමිතය. ජාතක කථා මගින් මුළු මහත් ජීවිතයෙහිම කොටස්කරුවන් වශයෙන් විවිධ චරිත ඉස්මතු කැර ඇත. එම චරිත සජීවි චරිත වශයෙන් දැක්විය හැකිය. මනුෂ්‍ය චරිත වලට පරිබාහිරව, යකුන් රකුසන් තිරිසන් සතුන් ආදිකොට ඇති මෙම ජාතක කථාවන් මගින් පිළිබිඹු කැරෙන චරිත වලින් මනුෂ්‍ය හදවත් තුළ පවතින විවිධ මානුෂික ගුණාංග විග්‍රහ කැරෙයි.

සමකාලීන ව්‍යවහාරයෙහි පවතින සිත් ඇදබැඳ ගන්නා වූ වාග් ශෛලියකින්, සංවාද ස්වරූපයද උපයෝගි කැර ගෙන නූතන විද්‍යාත්මක, තාක්ෂණික අත්දැකීම් වලට නැඹුරු වූ මනසට ගෝචර වන පරිදි ඉදිරිපත් කිරීම යුගයේ අවශ්‍යතාවයන් බව පෙනෙයි. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලෙහි අගය කිරීමට පුරුදු වූ සාරධර්ම, විද්‍යා තාක්ෂණික සංවර්ධනයෙන් ලෝකය ඉදිරියට යන විට ඉවත දමනවාද? නැතහොත් ජීව රිද්මය සමතුලිතවැ තබා ගැනීමට ඒවා උපයෝගි කැර ගන්නේ කෙසේද? වඩාත් බුද්ධි ගෝචර ක්‍රියා දාමය වන්නේ අපේ පැරණි සංස්කෘත හර පද්ධතින් මගින් රක්ෂණය, පෝෂණය වූ ජනතාව වෙතැ ඒ මගින් ප්‍රවේශ වීමය. ජාතක කථා පහළ වූ සමාජ සංදර්භයෙන් සියවස් ගණනක් පසුකළ මෑත යුගයක අප ජීවත් වුවද අපේක්ෂිත සමාජයීය අවශ්‍යතාව ඉටු කිරීමට ජාතක කථා වලට ඇති හැකියාව ඉතා වැදගත් ය.

ජාතක කථාවල එන විවිධ චරිත සහ ඒවායෙහි හැසිරීම් එදා පැවති සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පසුබිම මත මූලික වශයෙන් පිහිටා ඇත. රජවරු, ඇමතිවරු, පුරෝහිතවරු, සෙනවියන්, සෙබලුන්, සිටුවරු, ගොවියන්, විවිධ ශිල්පීන් ගණිකාවන්, ආදීන් මෙන්ම යකුන්, රකුසන් වැනි අද්භූ®ත චරිත මගින්ද එදා පැවති සමාජය දියුණු ලෙස විමර්ශනයට හසු කැර ඇත.

සමාජයේ දුබල තැන්වලට නිර්දය ලෙස පහර දෙමින්ද, සමාජ ප්‍රගතියට අවශ්‍ය උසස් ගුණාංග අගය කැරෙමින්ද, ජාතක කථා ලියැවී ඇති බව පෙනෙයි. ජාතක පොත් වහන්සේ තුළ කථා පන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවක් ඇත. මෙම කථා සියල්ලෙන්ම මනෝ භාවයන් සියුම් ලෙස ඉස්මතු කැර දක්වන්නට උත්සාහ කැර ඇත.

කාන්තාරයට අධිපති යක්ෂ නායකයාගේ උපදෙස් පිළිගෙන තමන්ගේ ඉදිරි ප්‍රයෝජනයට තිබූ පැන් බඳුන් හිස් කැර, යක්ෂ උපායන්ට රැවටී තමනුත් තම පිරිවර ජනතාවත් ගවයන් ඇතුළු සම්පත් සියල්ල විනාශ කැර ගත් අදූරදර්ශි නායකයා වැනි නායකයන් වත්මන් ලෝකයේද සිටිති. යම්කිසි කාර්යයක් කැරෙන විට හොඳින් සොයා බලා, අභ්‍යන්තර තත්ත්වය සියුම්ව විමර්ශනය කැර කළ යුතුය. රාජ්‍යයන් මෙන්මැ, ඒවාට අයත් සම්පත්ද ඩැහැ ගැනීමට විවිධ ස්වරූපයෙන් මාන බලන බලවේගයන් ඇත. ඔවුන් ඇතැම්විට ස්වේච්ඡා සංවිධාන වශයෙන් පැමිණෙති. ඇතැම් විට අවබෝධතා ගිවිසුම් සාම ගිවිසුම්, සටන්විරාම ගිවිසුම් වැනි ගිවිසුම් වේශයෙන් පැමිණෙති. එවැනි වැරදි ගිවිසුම් වලට මුලාවී කටයුතු කළ ඇතැම් නායකයන් නිසා අපහසුතාවයන්ට පත් වූ රාජ්‍යයන් පිළිබඳ දැන ගැනීමට වැඩිදුර යායුතු නොවේ. එබැවින් එවැනි යක්ෂ උවදුරු හඳුනා ගැනීමට තරම් නායකයන් තුළ පරිණතභාවක් පැවතිය යුතුය.

අපරීක්ෂාකාරීවැ කටයුතු කිරීමෙන් ජීවිත පවා අනතුරට ලක් කැර ගන්නා දරුවන් මෙන්ම වැඩිහිටියන් ගැනද නිරතුරුවම අසන්නට ලැබේ. මරු කතරේදී මුණගැසෙන යක්ෂ නායකයා පෙනී සිටින්නේ ඉතා වැදගත් අයකු ලෙසය. අති සම්භාවනීය පින්වතුන් දානපතියකු, සමාජ සේවකයකු කොටින්ම ගැලවුම්කරුවකු වශයෙනි.

ඔහුගේ අමනුෂ්‍ය ගති මතුපිට සාන්තුවර ගතියෙන් වැසී ගොසිනි.

ජාතක කථාකරුවා, අපණ්ණක ජාතකය’ මගින් පෙන්වා දෙන්නේ එවැනි සාන්තුවරයන්ගේ යථා තත්ත්වයයි. එසේම නායකයකු සතුව තිබිය යුතු තීක්ෂණ බුද්ධිය රටට, ජනතාවට විරුද්ධව එල්ල වන අදෘෂ්‍යමාන බලවේගවලදී ක්‍රියාකළ යුතු අයුරු මැනවින් පැහැදිලි කරන්නේ බුද්ධිමත් වෙළෙඳ නායකයාගේ භූ®මිකාව මගිනි.

මිනිසුන් දුකින් එතෙර කරන්නවුන් තුළ තිබිය යුතු නොපසුබස්නා උත්සාහයක්, පැන නැගෙන ගැටළු වලදී තමන් චංචල නොවී ක්‍රියා කළයුතු අයුරුත්, පෙන්වා දෙන ජාතක කථාවකි ‘මහා කපි ජාතකය’.

පස්කම් සැපතට ගොදුරු නොවී තම අරමුණ ඉටුකැර ගත් කුමාරයකු ගැන කියැවෙන කථාවකි තේලපත්ත ජාතකය.

එක්තරා බලසම්පන්න රජෙකුට පුත් කුමරුවෝ සියයක් සිටිති. ඔවුන් අතුරෙන් බාලම කුමාරයා බුද්ධිමත්ය. එඩිතරය. මනා සංයමයෙන් යුක්තයැ. ඔහුට මෙවැනි සිතුවිල්ලක් පහළ වියැ. මම පවුලේ බාලයා වෙමි.

එබැවින් මට කිසි දිනක රාජ්‍ය ලබා ගත නොහැකි වෙයි. එසේ හෙයින් වෙනත් රාජ්‍යයක හෝ රජකම ලබාගත යුතු වෙමි. මෙසේ සිතූ® කුමරු තම ගුරුවරයකු වන තාපසයකු වෙත ගොස් ගැටලුව ඉදිරිපත් කළේය. තාපසතුමා ඔහුට මෙවැනි අවවාදයක් දුන්නේය. එනම්,

කුමරුනි, මේ නුවර සිට යොදුන් එකසිය විස්සක් ගියතැන වෙනත් නුවරක් වෙයි. එයට යාමට බොහෝ දුෂ්කරතා විඳීමට සිදුවේ. අතරමඟ මහා වනාන්තරයක් ඇත. එහි භයානක වග වළසුන් සිටිති. උන්ගෙන් ගැලවී ගිය පසු සුන්දර ගම්මානයක් හමුවේ. එහි බියකරු මායාකාරී යක්ෂනියෝ වෙසෙති. ඔවුහු මග යන්නවුන් මරාගෙන කති.

මිනිසුන් පොළඹවා ගැනීමට විවිධ මායා පෙන්වතී. බැලූ බැල්මට ඔවුන් යක්ෂණියන් සේ නොපෙනෙති. ඇතමුන් රූප සුන්දරියන්යැ. ඇතැමුන් ගායිකාවන්යැ. ඇතැමුන් සිත් වශී කරවන සුවඳ විලවුන් ගල්වාගෙන සිටිති.

තවත් පිරිසක් මිහිරි රස බොජුන් සහිත ආපනශාලා වල ගැවසෙති. තවත් සමහරෙක් අඩ නිරුවතින් නටමින් පිරිමින් පොළඹවා ගැනීමට යත්න දරති. එහෙයින් කුමරුනි, ඔබට එම යක්ෂණියන් පසුපස නොගොස් ඔබේ ඉඳුරන් දමනය කැරගෙන, මායාවන්ට නොරැවටී යාමට හැකිනම් එකී සරුසාර රාජ්‍ය ලබා ගත හැකිවේ.

තාපස්වරයා දුන් මෙම උපදේශය පිළිගත් කුමරු තම හිතවත් මිතුරන් පස් දෙනකු සමඟ එම නගරය සොයා යනවිට වග වළසුන් සහිත මහා වනාන්තරය හමු විය. කල් ඇතිවැ සූදානම්ව පැමිණි බැවින් දරුණු සතුන් පහසුවෙන් පලවා හැරීමට හැකිවිය. වනාන්තරය පසු කැර, ඉහත සඳහන් යක්ෂණියන් සහිත සුන්දර ගම්මානයට අවතීර්ණ වූහ. තාපසයා පැවසූ පරිදි යක්ෂණියන් වෙසෙන සුන්දර ගම්මානයට අවතීර්ණ වූහ. යක්ෂණියන්ගේ රූපයට, මිහිරි ගායනාවලට, සුවඳට රසයට, ස්පර්ශයට ලොල් කළ කුමාරයාගේ මිතුරන් පස් දෙන යක්ෂණියන්ට ගොදුරු වූ අයුරුත්, ආත්ම දමනයෙන් යුත් කුමාරයා දිව ගලවා ගෙන තම අරමුණ ද ජයගත් අයුරුත් මෙම කථාව මගින් මැනවින් විග්‍රහ කැරෙයි. ආත්ම දමනයෙන් තොර, කාමභෝගී පුද්ගලයන්ට අරමුණු ජය නොගත හැකි බවත්, ඔවුන් ජීවිත පවා විනාශයට පත්කැර ගන්නා බවත් මෙම කථාව මගින් පෙන්වා දෙයි. කුමාරයාගේ යහළුවන් පස් දෙනාම වග වළසුන්ගෙන් ගැලවුනත් පංච කාම සම්පත් ඉදිරියේ ඔව්හු පරාජයට පත්වූහ. යටපත් වූහ. ආත්ම දමනයෙන් තොර වූහ. සැබවින්මැ ඔවුහු පස්කම් සැප කෙරෙහි ඇලී ගැලී තම ජීවිත වනසා ගනිති. එහෙත් බුද්ධිමත්ව සුපරික්ෂාකාරීව කටයුතු කරන පුද්ගලයන් ජාතක කථාවේ එන කුමාරයා මෙන් එවැනි ලාමක දෙයට ගොදුරු නොවී, ජීවිත ජයග්‍රහණය කරා යොමු කැර ගනිති.

බුද්ධිය මෙහෙයවා නිසි අයුරින් කටයුතු කළ හැකිනම් ඕනෑම ශක්ති වන්තයකු පරාජය කළ හැකිය. ජාතක පොතෙහි එන ‘ලටුකික’ ජාතිකය නිදසුනක් වශයෙන් ගත හැකිය.

දිනක් කොසොල් රජතුමා සිහින දහසයක් දකියි. එතුමා දුටු එම සිහිනවල අර්ථය බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම අවස්ථාවේ උන්වහන්සේ රජතුමාට ‘මහා සුපින’ ජාතකය දේශනා කළසේක. එමගින් පෙන්වා දීමට උත්සාහ කැර ඇත්තේ සමාජ යථාර්ථයයි.

මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ ජාතක කථා යනු කියැවීමෙන් හෝ ඇසීමෙන් ශ්‍රද්ධා භක්තිය දැනවීමට ලියන ලද කථා මාලාවක් නොව, සජීවි ජීවන දර්ශනයක් ඉදිරිපත් කැරෙන, විමුක්ති දර්ශනයක් බවයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.