Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් මඟ හැසිරෙන සිවුවනක් පිරිසට රැකවරණය සැලසෙනවා

බුදුසරණ පුවත්පත මඟින් ඉකුත් පුන් පෝදා ආටානාටිය සූත්‍ර දේශනය තුළින් කියවෙන්නේ යකුන් එළවීමක් පිළිබඳව ද යන්න යම් විමසුමකට ලක් කැරිණි. එහිදී විවිධ මත ප්‍රකාශ කර තිබුණි. ආටානාටිය සූත්‍රය පිළිබඳ ඔබවහන්සේ දරන අදහස කුමක්ද?

ආටානාටිය සූත්‍රය දෙස බලද්දී බුදුරජාණන් වහන්සේගේ ඤාණය ගැන අපට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනෑ. ලෞකික සම්මා දිට්ඨිය විස්තර කරද්දී මෙලොව පරලොව පිළිබඳ විශ්වාසය, කර්ම කර්ම ඵල ගැන විශ්වාසය දෙමව්පියන්ට සැලකීම ගැන විශ්වාසය වාගේම ඕපපාතිකව උපදින සත්ත්වයින් මේ ලෝකයේ සිටිනවා කියන විශ්වාසයත්, තමන්ගේම නුවණින් ජීවිතය අවබෝධ කරගත් බුදු, පසේ බුදු මහරහතන් වහන්සේ වැනි උතුමන් ලෝකයේ වැඩ සිටිනවා කියන විශ්වාසයත් තිබිය යුතුයි කියලා බුද්ධ දේශනා තුළ සඳහන් වනවා. ඕපපාතික සත්ත්වයින් පිළිබඳ විශ්වාසය බැහැර කරන්නේ එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අබබෝධය ගැන බුද්ධ දේශනාවල සඳහන් කරුණු ගැන සැක කරන්නේ ලෞකික සම්මා දිට්ඨියවත් නැති නියම මිත්‍යා දෘෂ්ඨික කෙනකු තමයි. ඕපපාතිකව තමයි දෙවියන් උපදින්නේ. බ්‍රහ්මයන් උපදින්නේ නිරයේ තිරිසන් සත්වයන් උපදින්නේ, ප්‍රේත ලෝකයේ ප්‍රේතයන් මෙන්ම යක්‍ෂයන් නාගලෝකයේ නාගයන් කුම්භාණ්ඩ නමැති අමනුෂ්‍යයින්. ගාන්ධර්ව නමැති අමනුෂ්‍ය කොටස් කර්මානුරූපව පහළවෙන ඕපපාතික සත්ත්වයන් හැටියට අප බුද්ධ දේශනා ඔස්සේ තේරුම් ගත යුතුයි.

ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්‍ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්‍ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්‍ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්‍ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.

“බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්‍ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්‍ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්‍ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්‍ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්‍ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්‍ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්‍ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්‍ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනාව සිහි කරන්න” කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා.

බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නට පසුසේ වෛශ්‍රණ දෙවියන් මුලින්ම සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරමින් සත්බුදුවරුන්ට වන්දනා කළා. ඊළඟට බටහිර දිශාවේ නාගයින්ට අධිපති විරූපාක්ඛ දෙවියන්ගේ දේවානුභාවය බලපරාක්‍රමය ගැන විස්තර කළා. දකුණු දිශාව පාලනය කරන ගාන්ධර්වයන්ට අධිපති ධෘතරාෂ්ට්‍ර දෙවියන්ගේ දේවානුභාවය බලපරාක්‍රමය ගැන විස්තර කළා. ඊළඟට උතුරු දිසාව පාලනය කරන යක්‍ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්ගේ බලපරාක්‍රමය ගැනත් විස්තර කරලා ඒ ඒ දෙවියන්ට සිව්දිශාවන්හි අමනුෂ්‍ය කොටස් පාලනය කිරීම පිණිස ඉන්ද්‍ර නමින් දෙවි පුතුන් 91 දෙනා බැගින් සිටින බවත් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී ඒ ඒ දිසාවන්හි සිට බුදුරදුන්ට වන්දනාමාන කරන බවත් පැවසුවා.

අනතුරුව කියා සිටියා යම් කිසි යක්‍ෂයෙක්, යක්‍ෂණියක්, යක්‍ෂ පැටවෙක් හෝ යක් පැටවියක්, යක්‍ෂ අමාත්‍යවරයෙක්, යක්‍ෂ මෙහෙකරුවෙක් හෝ යක්‍ෂ පිරිසෙහි කවුරුන් හෝ කෙනෙක් හෝ, යනාදී ලෙස මේ ආකාරයට පිරිස් හතක් ගැන පැවසුවා

.නාග කුම්භාණ්ඩ ගාන්ධර්ව යන අමනුෂ්‍ය කොටස් පිළිබඳව විස්තර කරලා ඒ අයගෙන් කවුරුන් හෝ අමනුෂ්‍යයෙක් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස ගමන් කරන විට ඒ අනුව අමනුෂ්‍යයාත් ගමන් කරනවා නම්, හිටගෙන සිටින විට අමනුෂ්‍යයාත් ඒ අනුව හිටගෙන සිටිනවානම් ඉඳගන්නකොට අමනුෂ්‍යයාත් ඒ අනුව ඉඳගන්නවා නම් නිදාගන්න කොට ඒ අනුවම නිදාගන්නවානම් සතරවරම් දෙවියන්ට කථා කරලා කියන්න කිව්වා. මේ හිංසාපීඩා කරන අමනුෂ්‍යයින්ගෙන් මාව බේරලා ධර්ම මාර්ගයේ යන්න මට උදව් කරන්න කියලා.

මේ සූත්‍රයේ තවත් වැදගත් කොටසක් ඇතුළත් වෙලා තියෙනවා. වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා සිටියා. සමහර හිතුවක්කාර යක්‍ෂයන් වෛශ්‍රවණ දෙවියන්ගේ අණසකට පවා යටත් නොවී හිතුවක්කාර අයුරින් සිව්වනක් ශ්‍රාවකයන්ට දිගින් දිගටම හිංසා පීඩා කළොත් ඒ අවනඩුව විසඳීමට යක්‍ෂයන් අතරම බල සම්පන්නව මහා යක්‍ෂයන්ට, යක්‍ෂ සේනාපතිවරුන්ට හඬනඟා මේ විදිහට කියන්න කියලා.

“අයං යක්ඛො ගණ්හාති” මේ යක්‍ෂයා මාව අල්ලාගෙන ඉන්නවා, “අයං යක්ඛො ආවිසති මේ යක්‍ෂයා මට ආවේශ වනවා, “අයං යක්ඛො හෙඨෙති” මේ යක්‍ෂයා මට පීඩා කරනවා “අයං යක්ඛො විහෙඨෙති” මෙ යක්‍ෂයා මට බලවත්ව පීඩා කරනවා, “අයං යක්ඛො හිංසති” මේ යක්‍ෂයා මට හිංසා කරනවා, “අයං යක්ඛො විහිංසති” මේ යක්‍ෂයා මට බලවත්ව හිංසා කරනවා, “අයං යක්ඛො නමුඤ්චති, ති” මේ යක්‍ෂයා මාව අතහරින්නෙ නෑ කියලා හඬනඟා යක්‍ෂ සේනාධිපතිවරුන්ට මහහඬින් කියන්න කියලා කියනවා.

ඒ යක්‍ෂ සේනාපතිවරුන්ගේ නම් පවා ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තියෙනවා. ඉන්ද, සෝම, වරුණ, භාරද්වාජ, ප්‍රජාපතී, චන්දන, කාමසෙට්ඨ, කින්නුගණ්ඩු, චිත්ත සේන ආදී ආකාරයෙන් බොහෝ දෙනකුගේ නම් සඳහන් වී තියෙනවා. එවිට දෙවියන්ගේ අණට කීකරු නැති හිතුවක්කාර අමනුෂ්‍යයන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට හිංසා පීඩා කළොත් යක්‍ෂ සේනාපතිවරුන් හරහා එවැනි හිතුවක්කාර යක්‍ෂයන්ට දඬුවම් දීලා ධර්ම මාර්ගයේ හැසිරෙන සිව්වනක් ශ්‍රාවකයින්ගේ ආරක්‍ෂාව, රැකවරණය සලසන බව ආටානාටිය සූත්‍රයේ සඳහන් වී තියෙනවා.

වෛශ්‍රණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනය පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ රැස් කරලා බුදුමුවින් ඒ ආකාරයටම දේශනා කළා. අන්න එය තමයි ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙලා තියෙන විස්තරය.

සත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වන්නේ කුමන හේතුවක් නිසාද?

බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සූත්‍ර දේශනාවල කල්ප සියයක් තුළ ලොව පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලා ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සත්බුදුරජාණන් වහන්සේලාම දුටු දෙවියන් බ්‍රහ්මයන් දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය බ්‍රහ්ම ලෝකවල තවමත් වැඩ සිටිනවා. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවක මීට කලින් පහළ වූ කකුසඳ කෝණාගම ආදී බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කොට ධර්මාවබෝධය ලබා ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ආදී සිටි බ්‍රහ්මයන් ඒ ඒ බුදුවරුන්ගේ විස්තර ප්‍රකාශ කළ අවස්ථාවක් සූත්‍ර පිටකයේ තිබෙනවා. දීඝනිකායේ මහාපදාන සූත්‍රය තුළ පවා සත් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ විස්තර බොහොමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

සංයුක්ත නිකායේ පවා විපස්සී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය නුවණින් විමසූ ආකාරය සිඛී වෙස්සභූ කකුසඳ, කෝණාගම කාශ්‍යප ගෞතම යන සත්බුදුරජාණන් වහන්සේලාම පටිච්ච සමුප්පාදය ආදී ධර්මයන් මෙනෙහි කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය සඳහන් වී තිබෙනවා.

ඒ නිසා දිව්‍ය ලෝකවල දෙවිවරු පවා නිරන්තරයෙන් සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා මාන කරන බව ආටානාටිය සූත්‍රයෙන් අපට දැන ගත හැකියි.

ආටානාටිය සූත්‍රය තුළ සඳහන් පරිදි මිනිසුන් හා සතුන් භාවිතා කරගෙන ගමන් කිරීමක් පිළිබඳ නොයෙක් මතිමතාන්තර ඇතැම් විද්වතුන් අතර පවතිනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන අදහස කුමක්ද?

නොයෙක් අදහස් යම් යම් පිරිස් ඉදිරිපත් කර තිබෙනවා. යක්‍ෂයන් කියලා අමනුෂ්‍යයන් පිරිසක් ගැන නොවේ මේ කියවෙන්නේ. යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් ගැනයි ආටානාටිය සූත්‍රයේ සඳහන් වී තිබෙන්නේ.

කුම්භාණ්ඩ කියන්නේ ඉන්දියාවේ ගමක ජීවත් වූ ග්‍රෝත්‍රික කණ්ඩායමක්, නාග, ගාන්ධර්ව කියන්නේ යම් යම් ගෝත්‍රික කණ්ඩායම්. වෛශ්‍රවණ කියන්නේ දෙවි කෙනෙක් නොවේ අග්‍රාණ්ඩුකාරවරයක් ආදී නොයෙක් අදහස් දක්වන පිරිස් ඉන්නවා.

නමුත් බුද්ධ දේශනාවන්හි යක්‍ෂයන් ගැන බොහෝ තැන්වල සඳහන්වනවා. සංයුක්ත නිකායේ යක්‍ෂ සංයුක්තය කියලා සූත්‍රදේශනා බොහෝ ප්‍රමාණයක යක්‍ෂයන් ගැන සඳහන් වී තිබෙනවා. යක්‍ෂයෙක් ආවේශ වූ භික්‍ෂුවක් අමුවෙන් ඌරුමස් හා ලේ කාපු පුවතක් විනය පිටකයේ සඳහන් වී තිබෙනවා. මිනිසුන් දුස්සීල වන විට සැඩ යක්‍ෂයින් මිනිසුන් අතරට පැමිණ ගම් නියම්ගම් නගරවල යක්‍ෂයන් අරක්ගන්නා බවත් ඒ හේතුවෙන් බොහෝ මිනිසුන් යක්‍ෂ උවදුරු නිසා, මරණයට පත්වන බවත් අංගුත්තර නිකායේ මහාසාල සූත්‍රයේ සඳහන් වී තිබෙනවා. රතන සූත්‍රය දේශනා කිරීමට පවා හේතු වූයේ විශාලා මහනුවර ඇති වූ තුන්බියයි. අමනුෂ්‍යයන් නිසා මිනිසුන්ට හිරිහැර පීඩා සිදුවන බව බුද්ධ දේශනා නුවණින් විමසා බලන ඕනෑම කෙනෙකුට පේනවා.

ඊළඟට ආටානාටිය සූත්‍රයේ සඳහන් වී තිබෙනවා වෛශ්‍රවණ දෙවියන්ගේ අණසක යටතේ සිටින යක්‍ෂයින්, ගවයින් ඇසුරු කරගෙන යානාවක මෙන් නැගී දිසාවෙත් දිසාවට ගමන් කරනවා. නොයෙක් සිවුපා සතුන් පිට අමනුෂ්‍යයන් නැගී දිශාවෙත් දිශාවට ගමන් කරනවා කියලා. ඒ පමණක් නොවෙයි යක්‍ෂයන් ආදී අමනුෂ්‍යයන් ස්ත්‍රීන් ඇසුරු කරගෙනත් යානාවක මෙන් නැගී දිසාවෙන් දිසාවකට ගමන් කරනවා. පුරුෂයින් ඇසුරු කරගෙන තරුණ කුමර කුමරියන් ඇසුරු කරගෙන යානාවක මෙන් නැගී දිසාවෙන් දිසාවට ගමන් කරනවා කියලා. ඒ කියන්නේ යක්‍ෂයන් ආදී අමනුෂ්‍ය කොටස් නොයෙක් සිවුපා සතුන් ද මිනිසුන්ද ඇසුරු කරගෙන තමන්ගේ වුවමනා එපාකම් අනුව දිසාවෙන් දිසාවට ගමන් කරනවා. මිනිසුන් වාහන කරගෙන අමනුෂ්‍යයන් ජීවත්වෙනවා කියන කාරණයයි එයින් කියැවෙන්නේ.

අමනුෂ්‍යයන් ශරීරවලට ඇතුල් වෙලා ආවේශ වූවාට පසු අමනුෂ්‍යයන්ගේ වුවමනා එපාකම් වලට අනුව ඒ මිනිසුන් කටයුතු කරනවා. සිවුපා සතුන් පවා ඇසුරු කරගෙන අමනුෂ්‍යයන් කටයුතු කරනවා. භාහියදාරුචීරිය කෙරෙහි වෛර බැඳගත් යක්‍ෂණියක්, එළදෙනකට ආවේශ වී ඇණපු සිදුවීමක් ධර්මයේ සඳහන් වී තිබෙනවා. මේ ආකාරයට නොයෙක් සිව්පා සතුන් ඇසුරු කරගෙන අමනුෂ්‍යයන් මිනිසුනට හිංසා පීඩා කරන අවස්ථා තිබෙන බව බුද්ධිමත්ව විමසා බලන කෙනෙකුට ඉතා හොඳින් පැහැදිලිවනවා යැයිද ඤාණදීප හිමියෝ පැවැසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.