Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විවිධත්වයෙන් යුතු සමාජය ඇසුරු කළ යුතු පිළිවෙත

විවිධ මතිමතාන්තර, ආකල්ප, ක්‍රියාකාරකම් වලින් යුත් පුද්ගලයන්ගෙන් සමාජය සමන්විත ය. පුද්ගලයාගෙන් පුද්ගලයාට ද පුද්ගල ස්වභාව වෙනස් ය. ‘පුද්ගල වේමත්තතාව‘ යනුවෙන් බුදුදහම හඳුන්වන්නේ, එයයි. පුද්ගල නානත්වය අවබෝධ කර ගැනීම සමාජය තුළ සුහදශීලීව මිත්‍රව වාසය කිරීමට මෙන්ව, ආරක්‍ෂිතව වාසය කිරිමට ද ඉතා උපකාරී වේ. බොහෝ දෙනා හැමෝම එකසේ විය යුතු යැයි සිතුවද අඩුම තරමින් එය සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ ද නොදැකිය හැකි දෙයකි. සංකීර්ණ පවුල අතහැර ස්වාමිපුරුෂයා සහ බිරිය පමණක් සීමා කර බැලූවද ඒ දෙදෙනාගේ සිතුම් පැතුම් ද බොහෝ දුරට එක හා සමාන නැත. එකිනෙකට වෙනස් ය. දෙදෙනා දෙදෙනෙකු මිස එක් අයකු නොවීම ඊට හේතුවයි. එහෙත් එසේ නොසිතීම නිසා ඔවුනොවුන් අතර අමනාපකම් හා ගැටුම් වරින් වර ඉස්මතු වෙයි. එබැවින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් වාසය කිරීම, ඉතා අවශ්‍ය ය. එසේ නොවුණහොත් බිරිය එක් ආකාරයකට ද ස්වාමියා ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයකට ද ක්‍රියා කිරීමට යෑමෙන් පවුල් ජීවිතය අසතුටින් අමනාපයෙන් ගැටුම් මැද ගත කරන්නට සිදුවේ.එයින් පවුල් ජීවිතය අසාර්ථක වෙයි. එය දූ දරුවන් කෙරෙහි ද අහිත ලෙස බලපායි. එකම පවුලක් තුළ දෙදෙනකු අතර එසේ නම් සමාජය පිළිබඳ තත්ත්වය ඊටත් වඩා බලවත් ය. සමාජ සම්මත නීතිරීති වලින් සියල්ලන් තුළ පොදු බවක් ඇතිකරගෙන තිබුණද මානසික වේමත්තතාවට එසේ නීති රීති පැනවීමට නොහැකි ය. පුද්ගලයාගෙන් පුද්ගලයාට සිතුම් පැතුම් ආකල්ප වෙනස් ව ක්‍රියාත්මක වන නිසා ඔවුනොවුන් හඳුනාගෙන වාසය කිරීම සාර්ථක ජීවිතයකට මඟ පාදා ගැනීමක් වන්නේ ය. පුද්ගලයන් වටහා ගැනීම ඉතා අපහසු කරුණකි. ඒ නිසාම සමාජයක එකිනෙකාට විවිධ ගැටලුවලට මුහුණපාන්නට සිදු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ යමකු වර්ණයෙන් හා රූපයෙන් තේරුම් ගත නොහැකි බවයි. එසේ ම කෙනකු දුටු පමණින් ඔහු කෙරෙහි විශ්වාසය ද නොතැබිය යුතු බව උන්වහන්සේ දේශනා කළහ. ඊට හේතුව ඇතැම් නරක අය හොඳ අයගේ වෙස් ගෙන සමාජය තුළ ජීවත් වන නිසා ය.

න වණ්ණ රූපෙන නරො සුජානො
න විස්සසෙ ඉත්තර දස්සනෙන
සුසඤ්ඤතා නංහි වියඤ්ජනෙන
අසඤ්ඤතා ලොකමිමං චරත්ති

යන්නෙන් සප්ත ජටිල සූත්‍රයේ දී කොසොල් මහ රජතුමාට එය දේශනා කර ඇත. නරක මිනිසුන්ට නරක වේශයෙන් ලෝකයෙහි ප්‍රකාශයට පත්වීම අපහසු නිසා ඔවුන් නරක වසා ගැනීම පිණිස සාධු චරිත වෙස්වලා ගනිති. එවිට සමාජය මුළා කිරීම පහසු ය. ඒ නිසාය, කෙනකු අවබෝධකර ගැනීම ඉතා අපහසු වන්නේ. මැටියෙන් තනා රන් ආලේප කළ ආභරණය දුටු පමණින් පෙනෙන්නේ රන් ආභරණයක් ලෙසම ය. එය උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ එසේ ම ඇතුළත අශුද්ධ බාහිරින් ශෝභමානව හැසිරෙන පුද්ගලයන් සිටින බව පෙන්වා දෙති. එබැවින් මනා අවබෝධයෙන් නොසිටියහොත් ඒ අයට රැවටී අමාරුවෙහි වැටීමට ඉඩ තිබේ. යමකුගේ චරිතය සිල්වත් චරිතයක් ද දුසිල් චරිතයක්ද, අදහස් සිතුම් පැතුම් පිරිසුදු ද අපිරිසුදු ද ආත්ම ශක්තිය ඇති අයකු ද, නැති අයකු ද ප්‍රඥාවෙන් යුක්ත ද, නැද්ද ආදී වශයෙන් දැනගෙන ඇසුරු කිරීම අවශ්‍ය ය. කෙනකු චරිතවත් ද නැද්ද යන්න වටහා ගැනීම සඳහා එක දවසක් දෙකක් ඇසුරෙන් තේරුම් ගත නොහැකි ය. ඒ සඳහා දිගු කලක් ඇසුරු කළ යුතු ය. දිගු කලක් ඇසුරු කළත් සිහි කල්පනාවෙන් ඇසුරු කර නොමැති නම් එසේ ද දැනගත නොහැකි ය. ප්‍රඥාවන්තයකුටම මිස දුෂ්ප්‍රාඥයකුට ද හඳුනාගත නොහැකි ය. කෙනකුගේ අදහස් සිතුම් පැතුම් පිරිසුදු අපිරිසුදු ද යන්න ද බොහෝ කලක් තුළ ඔහු කරන කතා ව්‍යවහාරයෙන් දැනගත හැකි ය. එය ද කළ හැකි වන්නේ, සිහිකල්පනාවෙන් සිටින ප්‍රඥාවන්තයකුට පමණි. ආපදාවක් පැමිණි විට, කෙනකුගේ ආත්ම ශක්තිය වීර්යය දැනගත හැකි ය. එය ද නිසි ලෙස වටහා ගැනීමට කලක් ගතවෙයි. එය ද කළ හැකි වන්නේ සිහියෙන් සිටින ප්‍රඥාවන්තයකුට ය. නැණවතකු ද නැද්ද යන්න තේරුම් ගැනීමට පිණිස පුද්ගලයකු සමග බොහෝ කල් සාකච්ඡා කළ යුතු ය. එය ද සිහියෙන් මිස අසිහියෙන් නොවේ. ප්‍රඥාවන්තයකු විසින් ම මිස දුෂ්ප්‍රාඥයකු විසින් නොවේ.

සප්ත ජටිල සූත්‍රයෙහි එන පුද්ගලයකු හඳුනාගැනීම පිළිබඳ සඳහන් වන මෙම ඉගැන්වීම, ඉතා වැදගත් ය. කෙනකු කවරකුදැයි දැන ගැනීම සිහි නුවණින්, ප්‍රඥාවෙන්, දිගු කලක් ආශ්‍රයෙන්ම සිදුකළ යුතු බව, එයින් පැහැදිලි වෙයි. ඇතැම්හු කොතරම් දිගු කලක් ඇතැමුන් ආශ්‍රය කළ ද ඒ අය හඳුනා ගන්නේ නැත. ඊට හේතුව සිහි කල්පනාවෙන්, ප්‍රඥාවෙන් ආශ්‍රය නොකිරීම යි.

ඇතැම්හු වෙස් වලාගත් මිත්‍රත්වයකින් කලක් ඇසුරු කර දුබල තැනක්, සිදුරක් සොයා විශාල හානි සිදුකරති. අනවබෝධයෙන් විශ්වාස කිරීම හේතු කොට ගෙන විශාල අන්තරා සිදුකරගත් අවස්ථා දක්නට තිබේ. එබැවින් ඇතැම්හු ස්වකීය පටු පරමාර්ථ සාධනය කර ගැනීම පිණිස ඇතැමුන් හා හාදකම් පවත්වති. එබැවින් සිහි කල්පනාවෙන් පුද්ගලයන් ඇසුරු කළ යුතු ය. එසේ නොවුණහොත් තමන්ට මේ අනතුරත් ආධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ ය. ඇතැම් යහපත් චරිත දුශ්චරිත බවට පත්වීමට පුද්ගලආශ්‍රය හේතුවෙයි. තමා ඇසුරු කරන්නේ තමාට වඩා චරිතයෙන් පිරිහීගිය තැනැත්තකු නම් ඔහු ඇසුරු කළ යුත්තේ තමා ඔහුගේ තත්ත්වයට පත් වීමට නොවේ. තමන්ගේ තත්ත්වයට ඔවුන් පත්කර ගැනීමේ අදහසින් එවැනි අය ආශ්‍රය කළ යුතු ය. එසේ කළ නොහැකි නම් ඒ දුසිරිත් තමන් අනුගමනය නොකර එවැනි අයගෙන් ඈත්ව විසීමට උත්සාහ දැරිය යුතු ය. ඇසුරු කරනව නම් තමන්ට වඩා ගුණ දහමින් උතුම් අය තෝරා ගත යුතු ය. නැත්නම් තමන් හා සමාන අය තෝරාගත යුතු ය. තමන්ගේ ජීවිතයට යහපතක් සිදුකරගත නොහැකි පහත් ගති, ඇති පුද්ගලයන් සමග ආශ්‍රයට පිවිසෙනවාට වඩා, හුදෙකලාව වාසය කිරීම, ඉතා මැනවි.

පැමිණෙන්නේ සතුරකු බව දන්නේ නම්, බේරීම පහසු ය. එහෙත් සතුරා මිතුරාගේ වෙස්ගෙන පැමිණෙන විට, බේරීම ඊට වඩා අපහසු ය. ඒ නිසයි, සිහි කල්පනාවෙන් පසුවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණේ ඇතැම්හු කෙනකුගේ සීලය, ගුණය, ධනය, අධ්‍යාපනය ආදී නොයෙක් දියුණුව ඉවසා විඳ දරාගත නොහැකිව ඒවායින් ඔහු පිරිහෙළීමට නොයෙක් උපක්‍රම යොදති. ඒවා උපක්‍රම බව හොඳින් අවබෝධ කර ගන්න. අනවබෝධයෙන් සිටියහොත් ඒවායින් පිරිහී යෑමට ඉඩ තිබේ. එහෙයින් පුද්ගලයන් හොඳින් දැන හැඳින ඇසුරු කරන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.