Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බක් මහ මහිමය

බක්මහ යන්න හැදී ඇත්තේ භග්න වූ අර්ථය දෙන භග්ග යන අතීත කෘදන්තය දීර්ඝ කාලයක් තුළ වාචිකව භාවිතයේ දී ලිහිල් වීමෙන් භග්ග යන්න බග් වී පසුව බක් වීමෙන් යයි සිතාගත හැක. බුදු හිමියන් හැඳින්වීම සඳහා භගවා යන නාමය යෙදෙන්නේ උන් වහන්සේ සියලුම ලෞකික බන්ධනයන් භග්න කළ උත්තමයකු නිසා විය හැකියි. බුදු පසේ බුදු මහරහත් වීමේ දී භග්නව බිඳ වැටෙන ලෞකික බන්ධනයන් හැඳින්වෙන්නේ දස සංයෝජන නමිනි. ඒ සංයෝජන නමැති බන්ධන සියල්ලම භග්න වී අත් දකින්නට ලැබෙන භග්න වීමේ මහා මහිමය නමැති මහා භාග්‍යය නොහොත් බක් මහ මහිමය බුදු පසේ බුදු මහරහත් බවට මුල්වන අරහත් ඵලයයි.

ආරියයන් වහන්සේලා නමින් හැඳින්වෙන්නේ සියලුම ලෞකික බන්ධනයන් බිඳහළ, බිඳහරින උත්තමයන්වයි. පෘථග්ජන යයි කියනු ලබන්නේ ලෞකික බන්ධනයන්ගෙන් බැඳී ඉන්න අයටයි. පෘථග්ජනයන් මූලිකවම බැඳී ඉන්නේ තම තමන්ගේ ජීවිතවලටයි. ඒ අය දුක් මහන්සි වී හරිහම්බ කරන්නේ ඒ ජීවිත සැපවත්ව පවත්වාගෙන යන්නටයි.

ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධයන් තම තමන්ගේ ජීවිත පවත්වාගන යාම සඳහා ඉතා තදින් බැඳී සිටියේ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන බත් ලබා දෙන වී ගොවිතැනටයි. වැඩිපුරම වී අස්වැන්නක් ලැබී අටුකොටු පුරවා ගන්නට හැකි වන්නේ මහ කන්නයේ අස්වැන්න නෙළන මැදින් මාසයේ දීයි. ඉන් පසු ඔවුන් යල කන්නය වපුරන්නේ බක් මහ ආරම්භයත් සමඟ ලංකාවේ සතර දිග් භාගයටම ලැබෙන සන්ධ්‍යා අශනි වර්ෂා නමැති ගොඩ වැස්සෙන් යල කන්නයේ ගොයම් පැළ සරුවට වැඩී යන පරිදියි. එසේ ගොයම් වැපිරීමෙන් පසු ඔවුන් කරන්නේ බක්මහ ගොඩ වැස්සෙන් සරුවට වැඩී යන පරිදි කුඹුරු වල කමත් වලත්, තම තමන්ගේ ගෙවතුවලත් එළවළු වගා කිරීමයි.

මහ කන්නයේ අස්වැන්නෙන් අටුකොටු පුරවාගෙන ගොඩ මඩ දෙකම වගා කරගත් පසු සිංහල ගොවියන්ගේ සිතටත් ගතටත් ලැබෙන්නේ ලොකු විවේකයකි. බක්මහ උළෙල නමින් හැඳින්වෙන නැකත් කෙළිය නොහොත් සිංහල අලුත් අවුරුදු උත්සවය ජයටම පැවැත්විය හැකිකම ඔවුනට ලැබෙන්නේ අටුකොටු පිරී ඉතිරීයාමත් ගොඩමඩ දෙකම සරුවට වගා වීමත් නිසා ලැබෙන කායික හා මානසික විවේකය නිසයි.

බක්මහේ දී වාර්ෂිකව ලැබෙන චිත්ත කායික විවේකයට මුල් වන්නේ ගොවිතැනට තිබෙන බන්ධන තාවකාලිකව ලිහිල් වී ගැලවී යාමයි. මෙසේ සිංහල ගොවියන්ගේ මූලික චිත්තකායික බන්ධන බිඳි යන මාසය හැඳින්වෙන්නේ භග් මාසය නොහොත් බක්මහ නමිනි.භග් නොහොත් බක් යන්නෙහි භාග්‍යවන්ත යන තේරුමකුත් ඇති නිසා මහ කන්නයේ අස්වැන්නෙන් අටුකොටු පිරී, යල ගොවිතැනද හමාර වී ගොඩමඩ දෙකම වගාවී චිත්ත කායික විවේකයක් ඇති වී සිතට සතුටක් ලැබෙන බක් මහ සිංහල බෞද්ධයන්ට භාග්‍යවන්ත මාසයක් බණ භාවනාවේ දී ප්‍රථම ධ්‍යානයෙන් ලැබෙන භාග්‍යයක් චිත්ත විවේකයෙන් ජනිත පී‍්‍රතියේ සුවය බවයි. “විවේකජං පීතිසුඛං” යන ධර්ම පාඨයේ අදහස වන්නේ, සිංහල බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට භාජනය වන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අත්විඳින ඉමහත් භාග්‍යයක් සියලුම ලෞකික බන්ධනයන් භග්න වී සාක්‍ෂාත් වෙන රහත් පලයෙන් ලැබෙන චිත්ත විවේකයයි. “කතකිච්චො” නමින් උන්වහන්සේලාට හඳුන්වනු ලබන්නේ කළ යුතු සියල්ල කර අවසන් කොට උපරිම චිත්ත විවේකයක් ලබන උතුමන්ය යන අරුතිනුයි. “කතං කරණීයං නාපරං ඉත්තත්ථායති” යනුවෙන් උන්වහන්සේලා ගැන කියවෙන්නේ කළයුතු සියල්ල කර අවසන් වී ඇති අතර වෙනත් කළ යුතු කිසිවක් නැති නිසා පරිපූර්ණ විවේකයකින් ජීවත් වෙන උතුමන් ය යන අරුතිනි.

සිතකට විවේකයක් ලැබෙන්නේ සිතක ඇති මානසික බන්ධන බිඳී ගිය තරමටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් හැඳින්වෙන්නේ අපේ සිතේ ඇති මානසික බන්ධන ක්‍රම ක්‍රමයෙන් බිඳී යන බෞද්ධ ප්‍රතිපදාවයි. මෙම ප්‍රතිපදාවෙන් බිඳී යන මානසික බන්ධන හඳුන්වනු ලබන්නේ දස සංයෝජන නමිනුයි.

සෝවාන් මාර්ගයෙන් සෝවාන් ඵලයට පත්වන විට මුළුමනින් බිඳී යන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාස යයි කියනු ලබන මානසික බන්ධන නමැති සංයෝජන තුනයි. සක්කාය දිට්ඨිය යනු මමය මාගේය කියන මමත්වයට පදනම් වන මතය නොහොත් නිගමනයයි. විචිකිච්ඡාව යනු යමක ඇත්ත නැත්ත හෝ හරිවැරැද්ද තෝරා බේරාගැනීමට බැරි නිසා ඇතිවන සැකයයි. සීලබ්බත පරාමාස යනු යම් යම් ප්‍රතිපත්තිවලට සිත ඇබ්බැහි වී එහි තදින් බැඳී සිටීමයි..

ඒ නිසා බුදුහිමියන් අලගද්දූපම සූත්‍රයෙන් දේශනා කළේ උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පවා සංසාර සාගරය තරණය කොට නිවන් දැකීම සඳහා තාවකාලිකව යොදාගත යුතු පහුරක් ලෙස භාවිතා කරනු විනා සසර තරණයෙන් පසුත් ආසාවෙන් බදාගෙන කරගහගෙන යා යුත්තක් නොවන බවයි. “සබ්බ දානං ධම්මදානං ජිනාති” යන බුද්ධ පාඨයෙන් අදහස් වන්නේ නිර්වාණ ධර්මයට ඇති ඇල්ම නමැති බැඳීම අතහැරීම නමැති දානය උතුම්ම දානය නොහොත් පරම පරිත්‍යාගය බවයි.

කාමච්ඡන්දය හා පටිඝය යන සංයෝජන නොහොත් චෛතසික බන්ධන දෙක සකදාගාමි ඵලයේ දී ලිහිල් වී යන අතර අනාගාමී ඵලයේ දී මුළුමනින්ම බිඳී ගැලවී යයි. කාම යනු කැමැත්තයි. ඡන්ද යනු තෝරා ගැනීමයි.

ඒ නිසා කාමච්ඡන්ද සංයෝජනය යනු යම් යම් දේ හොඳයයි නිගමනය කොට තෝරාගෙන ඒවාට සිතෙන් බැඳී සිටීමයි.

පටිඝය යනු යම් යම් දේ නරකයයි නිගමනය කොට ඒවා සමග ගැටීමයි. කාමච්ඡන්දයයි කියන කැමැත්ත වගේම පටිඝයයි කියන අකමැත්තත් සිත බැඳ තබන නිගමනයක් නොහොත් මතයක්.

රූප රාග යනු රූපාවචර ධ්‍යානවලදී අත් දකින්නට ලැබෙන මානසික සුවයට ඇලුම් කරමින් ඒ හා සිතින් බැඳී සිටීමයි.

අරුපරාග යනු අරූපාවචර ධ්‍යානවලදී අත්දකින්නට ලැබෙන මානසික සුවයට ඇලුම් කරමින් ඒ හා සිතින් බැඳී සිටීමයි.

මාන යනු යම් යම් දේ උසස්ය පහත් ය සමානය යනාදී වශයෙන් සිතෙන් මැනගෙන එළඹගත් නිගමනවලට සිතෙන් බැඳී සිටීමයි.

අවිජ්ජා යනු දුකත්, ඊට හේතුවත්, එහි නිරෝධයත්, එසේ දුක නිරුද්ධවන ක්‍රමයත් යන චතුරාර්ය සත්‍යය හරිහැටි අවබෝධ නොවීමෙන් ලෞකික සුවයට සිතෙන් ඇති කරගත් බැඳීමයි. රූපාවචර හා අරූපාවචර ධ්‍යාන වලින් අත් දකින්නට ලැබෙන ලෞකික සුවයට සිතෙන් බැඳෙන්නේත් මේ අවිද්‍යාව නිසයි.

චතුරාර්ය සත්‍යය සර්වප්‍රකාරයෙන්ම අවබෝධ වී අවිද්‍යාව මුළුමනින්ම දුරු වන්නේ රහත් ඵලයේදීයි.

සංයෝජනනමැති මානසික බන්ධන මුළුමනින්ම භග්න වී තමා තුළින් මතුවන බන්ධන භග්න වීමේ මහා භාග්‍ය නමැති මහා මහිමය නොහොත් බක්මහ මහිමය අරහත් ඵලයයි. බුද්ධත්වයෙන් පසු බුදු හිමියන් නැඟූ ප්‍රථම උදානයේ දී සබ්බාතෙ ඵාසුකා භග්ගා යනුවෙන් කියවෙන්නේ සියලුම මානසික බන්ධනයන් නමැති සංයෝජනයන් භග්න වූ බවයි.

පසු කලක භග් වී ඉන්පසුව බක් බවට පත් වූ භග්ගා යන වචනයෙන් කියවෙන්නේ එසේ බන්ධන භග්න වූ බවයි.

නිතර දෙවේලේ නොයෙක් දේ ගැන සිතීම නමැති අඛණ්ඩ කාර්යයෙන් වෙහෙසට පත්වන පෘථග්ජන සිතට “චෙතො විමුක්ති” නමින් හැඳින්වෙන සිතීමෙන් මිදීම නමැති පරිපූර්ණ චිත්ත විවේකය ලැබෙන්නේ අරහත් ඵලයේදීයි. කර්ම ශක්තිය නිපදවන චේතනා පදනම් කර ගත් සිතුවිලි නතරවන රහත් සිතෙහි ඉතිරි වන්නේ ඉන්ද්‍රිය ගෝචර නිමිති දැනෙන සඤ්ඤා වේදයිතයයි, සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියේ දී මේ සඤ්ඤා වෙදයිත තාවකාලිකව නිරුද්ධ වේ. පරිනිර්වාණයේ දී සඤ්ඤා වේදයික සදහටම නිරුද්ධ වේ.

දැනෙන දේ දැනෙන මට්ටමට පමණක් සිතේ ක්‍රියාවලිය සීමාකොටගෙන, ඒවා ගැන නොසිතා, දැනෙන දේ දනිමින් පමණක් සිටිය හැකි චිත්ත විවේකය ආරම්භ වන්නේ ප්‍රථම ධ්‍යානයේදීයි. ඒ ප්‍රථම ධ්‍යානය මහා සතිපට්ඨාන සූත්‍රයෙන් හැඳින්වෙන්නේ “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති”යනුවෙනි. ඉවිවෙකජං” යනු විවේකයෙන් ජනිත වූ යන්නයි. “පීති” යනු චිත්ත විවේකයෙන් ලැබෙන චිත්ත පී‍්‍රතියයි.

“සුඛ” යනු ඒ පී‍්‍රතිමත් චිත්ත ස්වරූපය දිගින් දිගට පැවතීමේ සුවයයි. ප්‍රථම ධ්‍යානයේ දී මේ සුවය ලැබෙන්නේ ෂඩේන්ද්‍රියයන්ම ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතිද්දී ය.

ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක ස්වරූපයෙන් පැවතීම යනු ඉන්ද්‍රියයන් මගින් විවිධ නිමිති ස්පර්ශ කොට ඒවා දැනගත හැකි වීමයි. ඉන්ද්‍රියයන්ට ස්පර්ශවන නිමිති නිරායාසයෙන් දැනෙන්නේ ස්වභාවිකවයි. ස්වභාවිකව නිරායාසයෙන් හිතට දැනෙන සංඥා නිසා චිත්ත විවේකය නැතිවෙන්නේ සංස්කාර නමැති කුශලාකුශල කර්මයන් සකස් කරමින් ඒවා ගැන සිතුවිලි පහළ කරගන්නට යාම නිසා ය. සංඛාරා යනු මෙසේ සිතුවිලි පහළ කිරීම නොහොත් සිතීමයි. ප්‍රථම බුද්ධ උදානයේ දී “විසංඛාරගතං චිත්තං” යයි කියවෙන්නේ සිතීම නතර වූ බවයි. සිතට අයත් ප්‍රධාන කාර්ය දෙක වන්නේ ඉන්ද්‍රියන්ට ගෝචරවන දේ දැකීම සහ ඒවා ගැන සිතීමයි. සිතට යමක් දැනෙන්නේ නිරායාසයෙනුයි. ස්වභාවිකවයි.

සිතේ විවේකය නැති වෙන්නේ ස්වභාවිකව සිතට දැනෙන දේ ගැන රාගයෙන් ද්වේෂයෙන් හෝ මෝහයෙන් සිතන්නට යාම නිසයි. රාගයෙන් සිතීම යනු දැනෙන දේට කැමැතක් නොහොත් ඇල්මක් ඇති වී ඒ ගැන සිතුවිලි පහළ කිරීමයි. ද්වේෂයෙන් සිතීම යනු දැනෙන දේට අකමැත්තක් ඇති වී ඒ ගැන සිතුවිලි පහළ කිරීමයි.

මෝහයෙන් සිතීම යනු දැනෙන දේ හරිහැටි නොතේරී සිත මංමුලාවී ඒ ගැන සිතුවිලි පහළ කිරීමයි.

ප්‍රථම ධ්‍යානය “සවිතක්කං” යයි කියනු ලබන්නේ එය ඉන්ද්‍රියන්ට ගොදුරු වන නිමිති දැනෙන සිතක් බවයි. “සවිචාරං” යයි කියනු ලබන්නේ දැනෙන දේ දනිමින් සිටින බවයි.

දැනෙන දේ දනිමින් සිටින සිතක් යයි කියනු ලබන්නේ දැනෙන දේ පිළිබඳව පූර්ණ අවධානයකින් යුක්ත සංවේදී සිතකටයි.

සංවේදී සිතක් යයි කියනු ලබන්නේ මෛත්‍රීයෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක්‍ෂාවෙන් පිරී ඉතිරී යන සිතකටයි.

ඇලීමෙන් හා ගැටීමෙන් තොරව දැනෙන දේ ගැන මධ්‍යස්ථව සිටින සිතකටයි.

ප්‍රථම ධ්‍යානයේ පවතින සිත “විවිච්චෙව කාමෙහි” යයි කියනු ලබන්නේ එම සිත ඊට දැනෙන දේ ගැන කැමැත්තක් හෝ අකමැත්තක් පහළ කරන කාම නමැති චිත්ත කාන්දම් ශක්තියෙන් විනිර්මුක්ත බවයි. “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යයි කියනු ලබන්නේ චිත්ත කාන්දම් ශක්තියෙන් මතුවන අකුශල මූලයන් වන ලෝභය නමැති ආකර්ෂණය නමැති ඇදීමෙනුත්, ද්වේෂය නමැති විකර්ෂණය නොහොත් තල්ලු කිරීමෙනුත්, මෝහය නමැති වික්ෂිප්ත භාවයෙනුත් විනිර්මුක්ත බවයි. චිත්ත කාන්දම් ක්‍රියාවලියෙන් තොර බවයි.

ප්‍රථම ධ්‍යානයේ දී “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කය” කියනු ලබන්නේ ඉන්ද්‍රියන්ට ගොදුරු වන නිමිත ලෝභයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් තොරව දැනෙන බවයි. “සවිචාරය” යයි කියනු ලබන්නේ එසේ දැනෙන බව දිගට පවතින බවයි. “විවෙකජ” යයි කියනු ලබන්නේ ඉන්ද්‍රියන්ට ගෝචරවන නිමිති කොතරම් වෙලා දැනෙමින් තිබුණත් ඒ නිමිති සිතෙන් අල්ලා අදින ලෝභය නිසා දැනෙන වෙහෙසෙනුත්, සිතින් අල්ලා තල්ලු කරන ද්වේෂය නිසා දැනෙන වෙහෙසෙනුත්, ඒ නිමිති හරිහැටි නොතේරීම නිසා ඇතිවන මෝහය නමැති වික්‍ෂිප්තභාවයෙන් දැනෙන වෙහෙසෙනුත් තොරවීම නිසා සිතට විවේක සුවයක් දැනෙන බවයි.

ප්‍රථම ධ්‍යානයේදී අත් දකින පී‍්‍රතිය යනු චිත්ත විවේකයෙන් ඇතිවන චිත්තපී‍්‍රතිය නමැති ප්‍රමෝදයයි. සුඛං යනු ඒ චිත්ත ප්‍රමෝදය දිගින් දිගට පැවතීමයි.

ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මූලයන් තාවකාලිකව හෝ භග්න කොට යටපත් කිරීමෙන් ධ්‍යාන සිතක මතුවන බන්ධන භග්න කිරීමේ මහා මහිමය, නමැති බක්මහ මහිමය මේ චිත්ත ප්‍රමෝදයයි.

ගම්බද කෘෂිකාර්මික සිංහල බෞද්ධයන් චිරාත් කාලයක තිස්සේ අලුත් අවුරුදු උත්සවය නමින් හැඳින්වෙන බක් මහා උළෙල නම් නැකැත් කෙළිය පවත්වන්නේ ගොවිතැන හා බැඳුණු සිත තාවකාලිකව හෝ ඒ බන්ධනයන්ගෙන් මිදී ඇතිවන චිත්ත පී‍්‍රතිය පළ කරන්නයි.

මැදින් මහේ කැපෙන මහ කන්නයේ අස්වැන්නෙන් අටුකොටු පිරීයාමත්, ඉන් පසුව යල කන්නයට වපුරන ගොයම බක්මහ වැසි දියෙන් සරුවට වැඩෙන්නට වීමත්, මහ කන්නයේ ගොයම් පාගා ගැනීමට යොදාගත් කමත් ඒ කාර්යයෙන් නිදහස් වූ පසු වගා කරන එළවළුත් ගෙවතුවල වගා කරන එළවළුත් බක් මහ වැසි දියෙන් සරුවට වැඩීමත් නිසා සිතේ ඇතිවන චිත්ත පී‍්‍රතිය සිංහල අලුත් අවුරුදු උත්සවයට පාදක වේ.

ලෞකික ගෘහස්ථ ජීවිතයක් ගත කරන සිංහල ගොවියන්ගේ ගත සිත දෙකටම බක්මහ තුළ දී දැනෙන විවේකයේ පී‍්‍රතිය පළවෙන්නේ බක්මහ උළෙලේ දී රැකෙන චාරිත්‍ර වාරිත්‍ර හා ජාතික කෙළි සෙල්ලම් මගිනි. ඔවුනොවුන් අතර පැවති පරණ තරහ මරහ කෝන්තර ආදිය බුලත් හුරුලු දෙමින් ඉවත් කරගෙන, ඒ වෙනුවට සුහද සම්බන්ධතා අලුත් කරගෙන ගමත් එකමුතු වී රටත් එකමුතු වී සමගියෙන් හා සාමයෙන් පවත්වන බක් මහ උළෙල ලෞකික හා ලෝකෝත්තර අභිමතාර්ථයන් අවුරුදු පතා ඉටු කෙරෙන අනගි සංස්තෘතික උපක්‍රමයකි. ඔවුනොවුන් අතර මෛත්‍රීය නමැති මිත්‍රත්වය වැඩි දියුණු වීම රටේත් ජාතියේත් සාමයට සමගියට හා සෞභාග්‍යයට හේතු වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.