Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිලක පිළිම කලාව

බුද්ධ ප්‍රතිමාවක් සකස් කරන්නේ, ශාස්තෘන් වහන්සේ, මේ “ යැයි සිතා “ පූජාවිධි” පවත්වා, සිත සකස්කර ගැනීමටත්, සසර දුකින් නිදහස්වීමට අවශ්‍ය කරන ශක්තිය පිළිම වහන්සේ තුලින්, සිතට ගෙන, සිතේ ඇති, කෙලෙස් නමැති මලකඩ ඉවත් කොට , දමා, සැනසීම උදාකර ගැනීමටත්ය.

ලෝකයේ විවිධ බෞද්ධ රටවල, ඒ රටවල වෙසෙන කලාකාමිහු , බුදුරජාණන් වහන්සේ, මනසින් ග්‍රහණය කොටගෙන, පිළිම නෙළති. බුදුරජාණන් වහන්සේ , දීර්ඝ කාලයක් ධර්ම දේශනා කළ , දීර්ඝ කාලයක් වැඩ සිටි භාරතයේද , කලාකාමින් පිළිම නෙළා තිබේ. බුදුරජාණන් වහන්සේ, තම රටටද වැඩියා යැයි විශ්වාස කරන මියෙන්මාර් , හා තායිලන්ත වාසී කලාකාමීන් ද විවිධ මාදිලියේ පිළිම නෙළා තිබේ. බොහෝ කලාකාමින් මනසින් ග්‍රහණය කරගෙන ප්‍රතිමා නෙළා ඇත. ‘මහායානය ‘ පිළිගත් රටවල පිළිම වහන්සේලාද, විවිධ හැඩතල වලින් , නිර්මාණය වී තිබේ.

පිළිම වහන්සේලා, නෙළීමේ කලාව භාරතයේ අපට උරුම වී ඇතැයි , ඇතමෙකු සිතන නමුත්, භාරතයේ ඇති පිළිම වහන්සේලා , හා ලංකාවේ දක්නට ලැබෙන අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සුවිශේෂී ප්‍රයත්නයක ප්‍රතිඵල ලෙස දකිමි. බුදුරජාණන් වහන්සේගේ, “ අරහං “ ආදී ‘නව අරහාදි ‘ බුදුගුණ සිතට ගෙන,අජීවි කළුගල් වලට ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ යැයි සිතාගැනීමට හැකිවන අයුරින්, නිර්මාණය වී තිබීම ආශ්චර්ය ජනකය, අද්භූතය. සැතපෙන හා හිටි පිළිම වහන්සේලා ගැන නිරීක්ෂණය කළත් විවිධ රටවල දක්නට ලැබෙන පිළිම වහන්සේ වඩා ‘බුදුගුණ ‘ කැපී පෙනෙන ආකාරයෙන්, අපේ කලාකරුවා මූර්තිමත් කර ඇති ආකාරය අතිවිශිෂ්ඨය. අපේ පැරණි කලාකරුවන් බුදුරජාණන් වහන්සේ, මෙවැනි ගුණ සමුදායකින්, යුක්ත උත්තමයන් වහන්සේ නමක යැයි” මනසින් දැක නෙළා ඇති , පිළිම වහන්සේලාට වඩා ලංකාවේ ඇතැම් දෙනෙකු අගය කරන්නේ , වෙනත් රටවල නෙලා ඇති , පිළිමවහන්සේලාටය. බෞද්ධ රටවලින් පරිත්‍යාග වශයෙන් , ලබාදෙන පිළිම වහන්සේලා, පිළිගෙන දායක කාරකාදීන්ගේ පූජෝපහාර මධ්‍යයේ, තම විහාරස්ථානයේ ගෞරවාන්විතව තැන්පත් කොට, පුද පූජා, පැවැත්වීමට පෙළඹී තිබේ. මියෙන්මාර් , තායිලන්ත ආදි රටවල් ථෙරවාදී බෞද්ධ රටවල් ලෙස ගැනෙන නමුත්, මහායානයේ බලපෑම නිසා පිළිම වහන්සේලාටද, ඒ ලක්ෂණ ඇතුල් වී ඇති බව පෙනේ. මියෙන්මාරයේ “ රැන්ගුන් “ නගරය හා තායිලන්තයේ “ බැංකොක් “ නගරය අවට ඇති, පිළිමවහන්සේලා, පිළිබඳව අධ්‍යායනයක යෙදෙන ඕනෑම කලාකාමියෙකුට පිළිම වහන්සේ , නිරීක්ෂණය කිරීමෙන්, ඒ බව වටහා ගැනීම අපහසු නොවේ.

“ රැන්ගුන් නුවර “ පිහිටි “ස්වේද ගොන්” චෛත්‍යය සමීපයේ අති විශාල සංඛ්‍යාවක් බුද්ධ ප්‍රතිමා වහන්සේ දක්නට ඇත.

“ පිළිම නෑවීම “ , සිවුරු පෙරවීම “ , කරමින් පුද පූජා දක්වන පිරිසක්ද, ඒ අතර වේ. ලංකාවේ අපේ සමහර ස්වාමින් වහන්සේ ද ඒ පූජා ක්‍රම දැක අනවබෝධයෙන් ක්‍රියා කරන ආකාරය ඇතැම් “ රූපවාහිනි” නාලිකාවලින් ඇතැම් අවස්ථාවල දැකගත හැකිය.

බුදුරජාණන් වහන්සේට දක්වන නියම ගෞරවය වන්නේ, ධර්මය අසා කියවා, අවබෝධ කොටගෙන එම උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් පමණකි.

“යො ධම්මං පස්සති සෝ මං පස්සති” යන දේශනා තුළින් ඒ බව මැනවින් තහවුරු වේ. නමුත් යම් යම් අය අනුකරණ වලට මුලාවී කරන බුද්ධිගෝචර නොවන ක්‍රියා නිසා, අනාගතයේදී නොසිතූ, නොපැතූ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සැක සිතේ.

ශ්‍රී ලංකාවේ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේ මෙරටට පැමිණි , මහා භාරතයේ අග්‍රමාත්‍යයතුමා වූ, නේරුතුමා අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ දුටු විගස පිළිම වහන්සේ,දෙස සෑහෙන වේලාවක් බලා සිට මෙහි අනුරුවක් සකස් කර මට ලැබෙන්න සලස්වන්න යැයි බණ්ඩාරනායක අගමැතිතුමාට දන්වා සිටියේ, භාරතයේ පිළිම වහන්සේ නැති නිසා දැයි” කල්පනාකර බැලීම කාලෝචිතය.

මහා භාරතයේ, බුද්ධගයා විහාරයේ, ඇතුළත තැන්පත්ව ඇති, සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේත්, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, වැඩ සිටින , මළුවේ ඇති, පැරණි මහා විහාරයේ, පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේත්, එක්තරා මට්ටමකට සමාන කම් දැකිය හැකි නමුත් , අනුරාධපුර මහා විහාරයේ ඇතුළත වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමාව තුළින් අපේ කලාකාමියා

“ අනේක ජාති සංසාරං -
සාන්‍ධාවිස්සං අනිබ්බිසං “
ගහකාරකං ගවේසන්තෝ -
දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිටෙඨාසි -
පුනගේහංන කාහසි
සබ්බාතේ ඵාසුකා භග්ගා -
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං -
තණ්හානං ඛයමජ්ඣගා “

යන ප්‍රථම උදානය මනසින් ග්‍රහණය කොට පිළිම වහන්සේ තුළින්, ඒ අදහස් ඉස්මතු වන අයුරින් මූර්තිමත් කර ඇති ආකාරය ආශ්චර්ය ජනකය. ථෙරවාදි කවර රටකවත්, බුදුගුණ නිසි පරිදි ඉස්මතුවන පරිදි පිළිමවහන්සේ නිර්මාණය වී නැතැයි සඳහන් කරන්නේ ඒ රටවලට අගෞරවයක් කිරීමට නොව,අපේ කලාකාමින්ගේ ශ්‍රේෂ්ඨත්වය අපගේ ඇතැම් නොමග ගිය පින්වතුන්ට නැවත වරක් සිතා බැලීමට මග පෙන්වීමක් වශයෙනි.

ථෙරවාදි බෞද්ධ රටවල ප්‍රසිද්ධ ස්ථානවලදී අපේ කලා සම්ප්‍රදායට අයත් පිළිම වහන්සේ දැකිය නොහැකිය. ඇතැම් විට යම් යම් විහාරස්ථාන වල අප්‍රසිද්ධව තිබිය හැකි නමුත්, මහජනයා නිතර සැරිසරන , එකම ස්ථානයකදීවත්, අපේ සම්ප්‍රදායේ පිළිම වහන්සේට ප්‍රමුඛත්වයක් ලැබී නැත. අතිවිශිෂ්ඨ කලා සම්ප්‍රදායක් තිබූ බව අද ද දැක ගැනීමට හැකිව තිබියදී වෙනත් රටවල සම්ප්‍රදායවලින්, නෙලන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ අපේ රටේ ඓතිහාසික ස්ථානවලදී වැදීම, පිදීම සඳහා තැන්පත් කර ඇති ආකාරය, දකින විට ඇතිවන්නේ කණගාටුවකි.

අපේ රටේද යම් යම් වකවනුවලදී පිළිම වහන්සේ දේව ආකල්ප ආදී ලක්‍ෂණ ඇතුළත් වී ඇති බව, පොළොන්නරුවේ සකස් කරන ලද පිළිම වහන්සේ තුලින්, ඉස්මතුව පෙනේ. එක එල්ලේම නොපෙනෙන නමුත්, අනුරාධපුර සම්ප්‍රදායෙන් තරමක් වෙනස් වී ඇති බව පෙනේ. මහනුවර යුගයේදී අපේ ඇතැම් පෞරාණික සම්ප්‍රදායෙන් බොහෝ සෙයින් ඈත් වී ඇති බව පැහැදිලිව දැකිය හැක. අපේ පෞරාණික කලාකරුවෝ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “ අරහං “ ආදී අති ශ්‍රේෂ්ඨ ගුණ වලින් පරිපූර්ණ වූ අසහාය “ ශාස්තෘන් වහන්සේ ‘ නමක් යැයි පෙන්වා, අපේ මනස පවිත්‍රකොට , බුදු බැතිය සිතෙහි ධාරණය වන ආකාරයට උතුම් වූ කලා සම්ප්‍රදායයක් , අනුගමනය කර තිබියදි අප වෙනත් සම්ප්‍රදායවලට මේ තරම් ගැතිවන්නේ “ මේ දැයි , අදහාගත නොහැකි ගැටලුවකි. බුද්ධිමත් හැම දෙනාටම කරුණා පෙරදැරිව මතක් කර සිටින්නේ, අපේ ශ්‍රේෂ්ඨ කලා සම්ප්‍රදාය පිළිබඳව නැවත වතාවක් බුද්ධිමත්ව සිතා බලන ලෙසයි.

මියෙන්මාර් හා තායිලන්ත ආදි රටවල වෙනත් කලා නිර්මාණ නිරීක්ෂණය කිරීමෙන්ද, අපේ හෙළ කලාකරුවාගේ, අති විශිෂ්ට නිර්මාණ හැකියාව විස්මය ජනකය. නිදසුනක් මගින් මෙහිදී ඔබගේ අවධානය යොමු කරමි. ලක්දිය විහාරයකට , ඇතුල් වන දොරටුව සමීපයේ දී, දක්නට ලැබෙන “ සිංහ රූපය “ එම රටවල දී ද දක්නට ඇතත්, අපේ කලාකාමියා “ සිංහයාගේ “ තේජස , පෞරුෂය , ආදී සැම ලක්‍ෂණයක්ම, ඔප් නැංවෙන අයුරු මූර්තිමත් කර දැක්වීමට ගත් උත්සාහය අතිශයින්ම සාර්ථකය.

අපේ පෞරාණික අතිවිශිෂ්ඨ කලා කාමියා විහාරයට ඇතුළුවන තැන පියගැට පාමුල ආසන්නයේ දී, මූර්තිමත් කළ, සඳකඩපහණින්, ඔබ විහාරයට වන්දනාමාන කිරීමට යා යුත්තේ , මේ අදහස මුදුන්පත් කරගන්න අදහසින් විය යුතු යැයි සංකේත වත්ව ඉදිරිපත් කර ඇති ආකාරය , කෙතරම් බුද්ධගෝචර දැයි සිතුවාද , නොමැතිනම් කීපවරක් බුද්ධිමත්ව සිතන්න. අපේ කලා සම්ප්‍රදායයන් අතිශ්‍රේෂ්ඨත්වය මතු කරන්නේ අනෙක් සම්ප්‍රදායන් හෙළා දකින අදහසින්, නොව අපේ සම්ප්‍රදාය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමේ උදාර පරමාර්ථය නිසාය.

බොහෝ දෙනාට අපේ කම, අපේ සංස්කෘතිය අමතක වී, වෙනත් පැතිවලට බලවත් සේ නැඹුරු වී ඇති කාලයක මේ කරුණු කීපය පෙන්වා දෙන්නේ තවත් සකස් කර ගත යුතු බොහෝ දේ තිබියදීය.

බටහිර ජාතීන්ට අවශ්‍ය කළේ තේ වතු රබර් වතු, කුරුදුවතු, වර්ධනය කරගෙන ධනය ඉපයීමට පමණි. බුද්ධිමත් පින්වතුනි, පිළිම වහන්සේ නමක් නොමිලයේ ලැබුණාට අපේ විහාරයේ එය වඩා හිදුවා ගත්තාට ගැටලුවක් නැත. නමුත් එම පිළිම වහන්සේට මුල් තැනදී , අපේ පිළිම වහන්සේ පැත්තකට කිරීම සිදුනොකළ යුත්තකි.

තව කරුණු කීපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි. මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ මාහිමි අනුරාධපුරයේ මහා විහාරයට ගොස් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමට අවසරය ලබා දෙන්න යැයි මතක් කළ අවස්ථාවේදී අපේ අති පුජනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා උන් වහන්සේට පෙන්වා දුන්නේ එසේ නම් ‘අනෙතො ජටා බහි ජටා ‘ යන ගාථා රත්නයට විස්තරයක් රචනා කරන ලෙසයි. උන් වහන්සේ එය පිළිගෙන විශුද්ධි මාර්ගය ලියා පිළිගැන්වූ විට ත්‍රිපිටක පොත් පරිශීලනය කිරීමේ භාග්‍යය උන් වහන්සේට හිමි විය.

අනුරාධපුර යුගයේ ලියවී ඇති සාහිත්‍ය පොතපත ගැන ද, මෙහිදී සිතා බැලීම , වටනේය. අද එම අගනා සාහිත්‍ය පොත් පත් හා වෙනත් වැදගත් පොත් පත්, අපට අහිමි වූයේ කාගේ වරදින් ද? අපේම වැරැදි මාර්ගෝපදේශය නිසා බව දකිමි.

බුද්ධිමත් සාධුනි, අපේ දේ ඇති වටිනාකම වටහා ගැනීමේ කාලය උදාවී බොහෝ කල්ගත වී තිබේ. දැන්වත් මේ ගැන අනවබෝධයෙන් තොරව සිතා බලා වැරැදී ඇති තැන් , වහා සකස් කර ගැනීමට ඒක රාශිවෙමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.