Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් ගුරුවරයා සතු යුග කාර්ය භාරය

මව්පිය, වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට සැළකීම ආදී සාරධර්ම කෙරෙහි බාල පරපුර යොමු කරවීම පිළිබඳ දිනපතා පාසලේ ගුරුවරයාටත්, දහම් පාසල් ගුරුවරයාටත් පැවරී ඇත්තේ අතිමහත් කාර්යභාරයකි. එය එතරම් පහසු කාර්යක්ද නොවන තරමට සාරධර්ම පිරිහීම කෙරෙහි බලපාන සාධක ප්‍රබල වී ඇත. එහෙත් කුමන අභියෝග හමුවේ වුවද ඒ කාර්යය කළ යුතුව ඇත. එසේ නොවුනහොත් ඉදිරියේදී අපට පසුතැවීමට සිදුවනු ඇත.

බුදු දහමින් පෝෂණය වූ උතුම් සංස්කෘතියක් හිමිව සිටින අප අතීතයේ විදේශිකයින්ගේ් පවා ගෞරවයට ලක් වීමු. අප රට වසර 16ක් සිරකරුවෙකු වශයෙන් සිටි රොබට් නොක්ස් ‘එදා හෙළදිව‘ නම් ග්‍රන්ථය තුළින් හෙළි කළේ සිංහලයින් ගවමස් නොකන, සුරපානය නොකරන ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බවයි.

දශක හතරකට පමණ පෙර දරුවන්ට පාසලේදීත්, දහම් පාසලේදීත් ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි ග්‍රන්ථ තුළින් ඔවුන්ගේ චරිත සංවර්ධනයට මහත් ආලෝකයක් ලැබිණි. ඔවුහු පවට බිය වූහ. සෑම දිනකම විහාරස්ථානයට යන දරුවන්ට චෛත්‍ය රාජයාණන් දකින්නට ලැබීමත්, බෝධීන් වහන්සේගේ් සෙවණ ලැබීමත්, මහ සඟරුවනේ අවවාද අනුශාසනා ලැබීමත් නිසා යහපත් ජීවිතයක් ගත කිරීමට ඒ තුළින් ලැබීම අති මහත් පිටිවහලක් විය. හැම සාර්ථක පුද්ගලයෙකුගෙන්ම එම සාර්ථකත්වයට බලපෑ හේතු විමසුවත් පන්සලක් දහම් පාසලක් එයට බොහෝ ඉවහල් වූ බව පැවසෙයි. ආගම දහමට ගරු කරන පිරිසක් අතීතයේ දක්නට ලැබුණේ පන්සලේ ස්වාමීන් වහන්සේගේත්, දහම් පාසල් ගුරුවරයාගේත් මඟ පෙන්වීමත් නිසාමය.

සාරධර්ම පිරිහීම කෙරෙහි විද්‍යුත් ජන මාධ්‍යයන් තරමක් දුරට හෝ වගකිවයුතුව ඇත. ඇතැම් රූපවාහිනි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් දරුවන්ට දෙන ආදර්ශ අගය කළ නොහැකිය. ඇතැම් වෙළෙඳ දැන්වීමේ අපේ සංස්කෘතියට පහරක් වී ඇත.

ඇතැම් වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීමට පෙර ඒ මගින් අපේ සාරධර්ම වලට සංස්කෘතියට ඇති කරන අයහපත් බලපෑම පිළිබඳ ලක් කිරීම වඩාත් ප්‍රඥා ගෝචරය. එක් පැත්තකින් එවන් විනාශයක් සිදුවෙමින් පවතින අතර, තවත් පැත්තකින් බුදු දහමට එරෙහි එන්.ජී.ඕ. සමාගම් වල ඩොලර් මත යැපෙන මූලධර්මවාදීන්ගේ බලවේගය ද ප්‍රබල ලෙස මතු වී ඇත. දිළිඳු පවුල්වලට සුළු සහන ලබාදීමෙන් තම ආගම වෙනස් කරවීමට මූලධර්මවාදීහු දැඩි වෙහෙසක් ගනිති. ඒ හැර වෙනත් උපක්‍රම මගින් බුදු දහම කෙරෙහිත්, පන්සල කෙරෙහි බෞද්ධයින් ඈත් කිරීමේ ක්‍රමන්ත්‍රණද ක්‍රියාත්මක විය හැකිය. දිළිඳු ජනතාව වෙත සහන ලබාදීමේ මුවාවෙන් අපේ ආගමට සංස්කෘතියට පහර ගැසීමට මාන බලන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව අවධානයෙන් සිටීම යුගයේ අප අතින් ඉටුවිය යුතු ඉහළම වගකීමකි.

මෙවන් අභියෝග ඉදිරියේ පිරිහෙමින් පවතින සාරධර්ම රැක ගනිමින් ඉදිරි පරපුරට දායාද කිරීමටත් දහම් දැනුමෙන් පරිපූර්ණ, දහමට ගරු කරන යහපත් සමාජයක් බිහි කිරීමටත් මෙකල ගුරුවරයාට පැවරී ඇත්තේ අති මහත් වගකීමකි.

ඒ අතින් දිනපතා පාසලේ ගුරුවරයාට වඩා වැඩි වගකීමක් දහම් පාසලේ ගුරුවරයාට පැවරී ඇත.

සතියකට කාල පරිච්ඡේද 3ක් ඇති බුද්ධාගම විෂයයද ඇතැම් විට ක්‍රීඩා උත්සව හා වෙනත් උත්සව නිසා ඉගැන්වීමට නොහැකි වන අවස්ථා ඇත. එවන් තත්ත්වයක් තිබියදී දිනපතා පාසලේ ගුරුවරයාට ලැබෙන අවස්ථාව ප්‍රමාණවත් නොවේ.

කුමන අතිරේක ව්‍යාපෘති තිබුණද අතීතයේ ගුරුවරයා ඒ ප්‍රබල වගකීම හිසපිට දරාගෙන ක්‍රියාත්මක කළේය. අද එවන් ගුරුවරුන්ගේ් හිඟයක් පවතී.

කෙසේ වෙතත් කුමන බාධක මැද හෝ යහපත් සමාජයක් ඇති කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කරන දහම් පාසල් ගුරුවරයා තුළ තිබිය යුතු ගුණාංග රැසක්ම ඇත.

* දහම් පාසල් ගුරුවරයා ආදර්ශවත් පුද්ගලයෙකු විය යුතුය.

ඇඳුමෙන්, කථා බහෙන්, හැසිරීමෙන් දරුවන්ට ආදර්ශවත් විය යුතුය.

දරුවන්ට අවවාද දෙන ගුරුවරයා එම අවවාදයේ පිහිටිය යුතුය.

* ගුරුවරයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය ඇති, වත් පිළිවෙත් ඉටුකරන පුද්ගලයෙකු විය යුතුය.

* හැඟීම්වලට වහල් නොවී කටයුතුª කරන ශාන්තගති පැවතුම්වලින් යුත් අයෙකු විය යුතුය.

* නිරතුරුව දහම් පොත පත කියවීම තුළින් දහම් දැනුම වර්ධනය කරගත යුතුය.

* දරුවන් යහමඟ යැවීමට ලැදියාවකින්, ඇප කැපව කටයුතු කරන අයෙකු විය යුතුය.

* බුදුරජාණන් වහන්සේ, බෝධීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ වැනි ශාසනික ව්‍යවහාර ඒ ආකාරයෙන්ම දරුවන්ටද හුරු කිරීම කළ යුතුය.

මේ ආකාරයේ ගුණංගවලින් යුක්තව දහම් පාසල් ගුරු සේවයේ යෙදෙන ගුරුවරයා තමාට පැවරී ඇති කාර්යභාරය ඉටුකිරීම සඳහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේත්, අනෙකුත් ගුරු මඬුල්ලේත් සහයෝගයෙන් වසර මුලදී දහම් පාසලේ වාර්ෂික වැඩ සටහනක් සකස් කොට එය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා භක්ති ගීත, හා වෙනත් තරගවලට වඩා භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, මව්පිය ගුණ සම්භාවනා වැඩ සටහන්, ධර්ම සාකච්ඡා , දහම් දැනුම තරග, පොසොන් පෙරහර , සදහම් චාරිකා, වැනි ප්‍රායෝගික වැඩසටහන් යොදා ගැනීම වඩාත් සුදුසු වේ. වාර්ෂික වැඩ සටහන සකස් කිරීමේදී ප්‍රදේශයේ අනන්‍යතාවයට ගැලපෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මව්පියන් රැස් කරවා ඔවුන්ට එය ඉදිරිපත් කළ යුතුය. ඔවුන්ද ඊට සම්බන්ධ කරගත යුතුය. ඒ මගින් මව්පියන්ගේ  විශ්වාසය තහවුරු කරගත යුතුය. එවිට එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමටද හැකිවේ.

දහම් පාසල තුළින් තම දරුවන්ගේ  චරිත සංවර්ධනයට මහත් පිටිවහලක් ලැබෙන බව මව්පියන්ගේ විශ්වාසය ඇතිකිරීම දහම් පාසලේ කටයුතුවලටද පහසුවකි.

මේ කාර්යයන් සංවිධානය කිරීමේදී විවිධ ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ඇතැම් දහම් පාසල්වල ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ් පැමිණීම ඉතාම අඩු මට්ටමකට පත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ ඉරිදා උදේ වරුවේ ඇතැම් පෞද්ගලික පන්ති පැවැත්වීමයි.

ප්‍රදේශයේ පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් සමඟ සාකච්ඡා කොට ඉරිදා උදේවරුව දරුවන් නිදහස් කරන ලෙස සාමුහික ඉල්ලීමක් කිරීමෙන් ඔවුන් ඊට එකඟවනු ඇත. දහම් පාසල අයත් ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සියලුම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් සමග සාකච්ඡා කොට පෞද්ගලික ලාභයට වඩා දරුවන්ගේ යහපතට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලීමක් කළ යුතුය.

කිසිදු දීමනාවක් නොලබා ස්වෙච්ඡා සේවයක යෙදෙන දහම් පාසල් ගුරුවරයාගේ අර්ථවත් වැඩදායි සේවාව තුළින් සමාජයට යහපත් දරු පරපුරක් දායාද කරමින්, ඉදිරි පරපුර රටට හිතකාමී ආගම මාමක පිරිසක් බවට පත්කිරීමට දහම් පාසල් ගුරුවරයාට හැකිවේවා යැයි අපේ එකම පැතුමයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.