Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන කවියා ගේ සිරිපා වන්දනා

සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය නදිය, පුලිනේච තීරේ....” යනාදී ලෙසින් දක්නා වන්දනා ගාථාවෙහි කියැවේ. මින් සියලු ලෝවැසි සැදැහැතියන්ගේ වන්දනාමාන ගෞරව භක්ත්‍යාදරයට පාත්‍රව දක්නට ලැබෙන්නේ සිරිලක සමනොළ ගිර සිරිපා ලාංඡනයයි. බුදුපියාණන් වහන්සේගේ තෙවන වර ශ්‍රී ලංකාද්වීපයට වැඩි ගමනේ දී සුමන දෙව්රද ඇරැයුමෙන්, සමනොළගිර මත ශ්‍රීපාද ලාංඡනය පිහිටු වූ බැව් සඳහන් ය.

සමනොළ ගිර

සමනොළ ගිර වන මෘග පක්‍ෂි ආදිනට නෘත්‍ය මණ්ඩපයක්, ගායනා කරන්නන්ට ගී මඩුවක්, සා පිපාසා, සංසිඳුවන ආපාන භූමියක් වැනියයි යනාදි ලෙසින් එහි නයනාභිරමණීයත්වය දර්ශනීයත්වය සමන්තකූට වර්ණනා ආදී ග්‍රන්ථයන්හි මෙන්ම ජන කවියෝද, විදේශිකයෝද දකිති. සමනළ එදත් අදත් කවීනට බෙහෙවින් වස්තු විෂය විය.

“ලංකාවට අධිපති පර්වත මුදු         නේ
සිංහාසනේ වද මුනිඳුට පහළ උ       නේ
පිහිටි සිරිපාද පර්වත කොත මුදු      නේ
ගංගා සතර පර්වතයෙහි උපත උ    ‍නේ

යයි ජනකවියා සමනොළ ගිර පිළිබඳ මහත් ගෞරවයෙන් අභිරුචියෙන් කියා පායි. ආගමික කරුණු නිසාම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන සිව් ගංගාවන්ගේ ප්‍රභවය නිසාද ජනතාවගේ ප්‍රණාමය හිමි කර ගනියි. ස්වභාව සෞන්දර්ය රිසියෝ ද සමනොළ ගිර මහත් අගයති.

රාත්‍රියෙහි ගැල් පදවන ගැල්කරුවාට සමනොළ කන්ද පෙනේ. එය ඔහු දකින්නේ මහත් වූ ශ්‍රද්ධා භක්තියෙනි. ඔහුගේ මුවින් පිටවන්නේ ඒ දැක්මෙන් මහත් සැනසුමක් ලැබීමත් බැව් හැගීයේ,

“අලට කන්න බැරි අලගල්ලේ කන්      ද
බතට කන්න බැරි බතලේ ගල කන්     ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්      ද
මෙකඳු තුනට නායක සමනළ කන්      ද

ජනකවියා, පවසන්නේ සියලුම බුදුවරුන්

සමනළ ගිර සිරිපා, සටහන් තැබූ බවය.

“ඔක්කොම මුණි බුදුව ලොවට ම
සමනළ ගල පිටට වැඩි ය
දක්නට සිරිපාද එවු අණසක
මිහි දෙරණ තල ය”

සමන් දෙවි

ශාසන භාර සමන් දෙවිඳු සමනළ පර්වතයට අධිගෘහිතය. ලක් වැසියන්ගේ මහත් වූ ගෞරවාදරයට පාත්‍ර වූවෙකි.

“සමන්තකූට පර්වතයක -
සාසන බාරව සිටිනෙ                       ක
සවන් පුරා අසන බණක –
රකින සීලෙ සිල්මති මෙ                    ක
අතින් දරන පත් කුඩයක –
නාගුණ වැල් නිතර අත                     ක
සමන් දෙවිඳු යන උතුමෙක -
දෙවොල් යකුට බලපෑවෙ                   ක

සමන්තකුට පර්වතයත්, ශාසනයත්, භාරව ආරක්‍ෂා කරන පත් කඩය, නවගුණ වැල ගෙන සිල් රකින සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි.

“සුද්ද ලෙසින් නිති ගත බබලන්             නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන්               නේ
බුද්ධ මෙසාසන දිවුණු කරන්                නේ
සුද්ද සමන් දෙවියෝය වඩින්               නේ

සමන් දෙවිඳු සමනළ කන්දේ අධිගෘහිත දෙවි නිසා පෙර සිටම සමනළ කන්ද වැඳුම් පිඳුම් ලැබූ බව පෙනේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු, ආර්ය ජනතාව ඉතා ඈත කාලයේ සිට ඇදහූ දෙවිවරුන් අතර ඉතා සැලකිය යුත්තෙක් වන යමරජු, සමන් දෙවියන් බව පවසති. යමරජුට සකු බසේ ශමන් යයි හැඳින් වෙයි.

සිංහල බසට එය “සමන්” ලෙස පෙරළී ඇත. කරුණා රසයට යමරජු අධිපති බව නාට්‍ය ශාස්ත්‍රයේ වෙයි.

ශ්‍රී පාද වඳින්නෝ අදත් කරුණාවයි කියා හඬ නගමින් යන්නේ ඒ නිසයි.

මේ ආදී ලෙස පරණවිතාන සූරීහු සමන්දෙවි ගැන කියති.

සමන් දෙවිඳුන් පිළිබඳව සුප්‍රසිද්ධ සබරගමු මහ සමන් දේවාලයද ජනකවියා අමතක නොකරයි.

“හෙළ මුදුනින් වැඩිය කලට  
පෙනේය උළු මාළිගා ව
රෑ දාවල් එළිය ඇතුව රන් කොත්
බබලන සුබාව
බිම්බරකට සෙනඟ ඇවිත් සෑ දෙව්
උළු මාලිගාව
මුළු රටටම පාරමිටුයි
සබර ගමුවෙ මාළිගාව“

අපූර්ව හාස්කම් දක්නා මෙහි ඇති ලියලන ගල ගැනද සඳහන් කරයි. සබරගමු මහත සමන් දෙවොල අද ද ඒ දක්නට ඇත.

“කුරුවිටි කෝරළෙ පල්ලේ පත්තුවෙ
උතුම් සබරගමු දේවාලේ
දවසින් දවසට ලියලාගෙන එන
ගලක් තිබුණු කීවා මැද මා ලේ
ලොව සතහට මතුවට පවතින්නට සුමන
දෙවිඳු පෑවාද බලේ
එම ගල සකියනි තව ලිය ලනවද
උතුම් සබරගමු දේවා ලේ

සමන් දෙවිඳු පිහිටෙන් සිරිපා කරුණා කරමින් සමන් දෙවිඳුන්ට පින් දෙනා වන්දනා කරුවන් මෙන්ම සියලු විපත් කරදරවලදී සමන් දෙවිඳු පිහිට පැතීම ලක්‍ෂණයක් විය.

විවිධ භාර හාර වෙති. ඒ ඉටුවන බවද දැඩි විශ්වාසයයි.

සීත ගඟුල

සිරිපා වැඳුම ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් බවත් මෛත්‍රීය බුදුන් දැක්මට ඒ හේතුවන බවත් කියයි. සමන් දෙවිඳු කරුණාවයි.

සුමන සමන් දෙවි පිහිටයි, ආදී වශයෙන් කියමින් ගමනාරම්භ කරන පිරිස මුලදී ළං වන්නේ සීත ගඟුලටය.

සීත ගඟුලේ දී දිය නා සුදු පිරුවට ඇඳ පඬුරු බැඳ යළි ගමන් අරඹයි. නඩේ

“සිත ගඟුලෙහි දි පන්සිල් අර ගෙ      න
උණුසුම් ඇති පිළි පමණක් ඇඳ ගෙ    න
සමන් දෙවිඳුහට පඬුරුත් බැඳ ගෙ     න
සාදු කියා යමු සතුටින් හැම දෙ        න”

ගෙත්තම් පාන

අනතුරුව ගෙත්තම් පානට පිවිසෙති.

බුදුරදුන් තම සිවුර මැසූ ස්ථානය යයි ජනප්‍රවාදයේ එන කථාව අනුව ගෙත්තම්පාන නමින් හැඳින්වෙන තැන්හි ඉදිකටු, නූල් පූජා කිරීම සිරිත ය.

“ගෙත්තම් පාන ඉදිකටු පූජා කර           මු
හැරමිටි පාන හැරමිටි පූජා කර             මු
දොඩම් බැවිල තල අබ පූජා කර           මු
සිරිපතුලට රත් මල් පූජා කර               මු”

ධර්මරාජ ගල

සීතල දැනුනද සාදු නාදයේ අඩුවක් නොපෙනේ. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජ ගලද පෙනේ. පඩි ගණන් කළද කීයදැයි කිව නොහැකිවීම අපූර්වත්වයක් ලෙස හඟී,

“ධර්ම රාජ ගල යමින් පෙනෙන්                      නේ
බොහොම දෙනෙක් පඩි ගණන් කරන්                නේ
ගණන කියන්නට බැරිද බොලන්                      නේ
මද කියා සමහරු ලතවන්                            නේ

හැරමිටි පාන

අනතුරුව මොවුහු හැරමිටි පානට පිවිසෙති. මේ සියලු තැන්හි පඬුරු බැඳීමටද, සමන් දෙවිඳුන්ට පින් දීමට ද ඔවුහු අමතක නොකරති.

“සමන් දෙවිඳුගෙන් පිහිට ලබන                වා
උතුම් බුදුන් අපි වඳින්න යන                   වා
හැරමිටි පානේ අපි නවතින                     වා
එතනදි සමහරු පඬුරු බඳින                  වා

ඇහැළ කණුව

ඉන්පසුව කුඩාගිහෙ දඹය පසුකරයි. ඇහැළ කණුව ළඟ නැවතී ගිමන් විඩා හැර ගනිති.

“ඇහැළ කණුව ළඟ ගොස් නවතින්               නේ
අටසිල් පන්සිල් අරගෙන යන්                      නේ
සිතේ කුහක කම් අත්හැර ගන්                    නේ
සමන් දෙවිඳුනේ පිහිටක් වන්                     නේ”

මහ ගිරි දඹය

මහගිරි දඹය ගමන දුෂ්කර ස්ථානයකි. එහෙත් එයට පහසුවක් ලෙස සලකමින් සමන් දෙවි කරුණාවෙන් කරුණා කරති.

“වට පිට නොබලා පාර බලන්                  නේ
අඩියෙන් අඩියට සාදු කියන්                    නේ
දම්වැලෙ එල්ලී දඹය නඟින්                   නේ
සමන් දෙවිඳුනේ අප රැක දෙන්               නේ”

ශ්‍රී පාද පද්මය

දම්වැලේ එල්ලී ගමන්ගත් පිරිසක් වේගවත් සුළඟකින් දම්වැල එහා මෙහා පැද්දී තෙරක් නොපෙනෙන ආගාධයට වැටීමේ ශෝචනීය පුවතක් ජෝන් ස්ටීල් සඳහන් කරයි. බොහෝ දුර බැහැරක සිට නොයෙකුත් දුෂ්කරතා මැද සමනොළ කන්ද නඟිනා වන්දනා කරුවෝ කවර දුක් ගැහැටක් ආවද එය සුළුකොට තකති. කවුරුත් සමඟ සහයෝගයෙන් එකම පවුලේ සහෝදරියන් ලෙස මහත් වූ කරුණාවෙන් සමන් දෙවිඳුන්ට පින් දිදී ශ්‍රී පාද මුදුනට ළංව ශ්‍රී පාද පද්මය දකිති. ගමනේ සියලු දුෂ්කරතා එහිදී ඔවුනට අමතක වෙයි. මහා ජයක් ලද සේ සිතති. සිරිපා පද්මය රිසිසේ සිත් සේ වැඳ පුදා ගනිති.

“ සියලු දෙනම ගොස් පද්මෙ වඳින්                     නේ
මාර යුදෙන් ජය ගත්තා වැන්                            නේ
පුද පූජා කොට පින් ලැබ ගන්                           නේ
සුමන සමන් දෙවි මේ පින් ගන්                         නේ”

වෙනදා මහ මඟ යන්නට තරම් වාරු නැති මහල්ලෝද යෞවනයන් මෙන් මහත් උනන්දුවෙන් රන්ගිරි දඹේ ආදිය නගින හැටි පුදුමය. ඔවුන්ගේ මානසික ශක්තිය කායික ශක්තිය කරුණා ශ්‍රද්ධා එක්වීමෙන් ප්‍රබල වෙමින් මහත් ආත්ම ශක්තියක් ලබන්නට ඇත. ඈත කල සිරිපා වන්දනාවේ යෙදුණේ සිය අන්තිම කැමැත්ත පවා ලියා තබා ආවේ ගමනේ බැරෑරුම්කම මතමය.

කොතරම් දුෂ්කර වූවද මුවින් පිටවනුයේ “කරුණාවයි කරුණාවයි” යන්නය. ඔවුන්ගේ කවි ගමන් විඩාව දුරු කරවයි. ශ්‍රී පාද වැඳුම පිළිබඳ භක්තිය ප්‍රකට කරවයි. ඒ ආකාර ජනකාව්‍ය රාශියක් සිංහල ජනතාව ඇසුරේ වෙයි. සමන්තකූට පර්වත මුදුන කෙතරම් ජනකායක් ඒකරාශී වූවත් ඉඩ ඇහිරීමකින් වන්දනා කරුවනට බාධා නොමැතිවීම ආශ්චර්යයකි. සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දා සිට වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය සිරිපාද වන්දනා සමය වෙයි. ඉතා පුරාණයේ සිටම සිරිපා වැඳුමට සමනළ කඳු නැගීම දක්නට වෙයි. මේ වන්දනා ගමන යන්නේ නඩ වශයෙනි. නඩේ ගුරෙක් සිටී. යාමට පෙර ගමේ පන්සලට ගොස් භාර හාර වෙති. විවිධ චාරිත්‍ර වෙති. කටවහ ප්‍රවේශම් කර ගනිති. මේ සියල්ල පිළිබඳව ජනකවි මුවෙන් පිටවූ බව සිරිපා වන්දනා ජනකාව්‍ය දෙස බලන විට පෙනේ. තුන්සරණය, හිමගත වර්ණනාව සමන් දෙවි වරුණ වැනි පොත්වලින් පද ගායනා කරමින් සිරිපා වඳිති. ඒවා ගායනා කරන්නේ නඩයේ හොඳින් ගායනා කළ හැකි උවසුවකුගේ හෝ උවැසියකගේ ගායනය අනුකරණය කිරීමෙනි. ඉහළ නගින කණ්ඩායම් හා පහළ බසින කණ්ඩායම් ඒ හමුවන අවස්ථාවන්හි පහළ බසින අය “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි”. කියන කල ඉහළ නඟින්නෝ “වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් කියති.

“කල්‍යාණිතො ගගන තො
මුනියන්ථ ගන්ත්වා
දස්සෝසි චක්ක වර ලක්ඛණ පාද ලඤ්ජං
ලංකාමහී වර මධූ මකුථොපමානං
වන්දා මාහං සුමන කුට සිලුච්චයන්තං”


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.