Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිරෝගී බව ලබා නිවනින් සැනසෙමු


ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාති - නිබ්බානං පරමං සුඛං
ධම්ම පදය - සුඛ වග්ග

උසස්ම ලාභය ලෙඩ නැතිකම යි. උසස් ම ධනය සතුට යි. උසස්ම නෑයා විශ්වාසය යි. උසස් ම සුවය නිවන යි.

‍ෙම් ගාථාව නිරෝගිකමෙන් පටන් ගෙන නිවන වෙත අප යොමු කරන්නා සේ ය. ඒ අනුව නිවන් අවබෝධ කර ගන්නට නිරෝීගිකම කොතරම් පිටුබල වන්නේ දැ’ යි කිවයුතු නැත.

මානව පරිණාමයේ මුල් පියවර වානර මානවයා බවට පිළිගැනී ඇති බව අපි දනිමු. මානවයා යනු, වානර මානවයා සිය පැවැත්ම පිණිස පරිසරය සමඟ සටන් වැදීමෙන් ලද ජයග්‍රහණයේ ප්‍රතිඵලයකි. පරිසරය ජය ගන්නට යෝධ සටනක නිරත වන්නට ඔහුට සිදුවිය. ඒ සඳහා අප්‍රමාණ ශක්තියක් ඔහුට තිබිය යුතුවීම ගැන අපට කිසි රහසක් නැත. එවන් ශක්තියක් ජනිත වන්නේ නිරෝගි සිරුරක් තුළ බව කිය යුතු නොවේ. නිර්මාණකරණයෙහිලා මානවයා තුළ කොතරම් ශක්තියක් වී දැයි ආදිතම ශිෂ්ඨාචාර බිහි වූ ගංගා ද්‍රෝණි වල අද තෙක් දකින්නට ලැබෙන යෝධ පුරාවස්තු වලින් තේරුම් ගත හැකි ය.

හුදෙක් කායික ශක්තියෙන් පමණක් ක්‍රියාත්මක කරවූ යෝධ යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් නිර්මාණය කරන ලද පිරමිඩ වැනි දේ ගොඩනංවන්නට කවර නම් ශක්තියක් හා බුද්ධියක් ඔවුනට තිබිණි දැයි අපට සිතා ගත හැකි ය. එහිලා ඔවුන් යොදා ගත් තාක්ෂණික මෙවලම් අද අපට දකින්නට නැත. එහෙත් අද නිපදවා ගෙන ඇති මෙවලම් අද අපට දකින්නට නැති පුරාතන මෙවලම්වල පරිණාමයක් බව සිතිය හැකි ය. එදා අතින් ක්‍රියා කරවනු ලැබූ මෙවලම්ය, අද ඉන්ධන විද්යුත් ශක්තිය හෝ පරමාණුක ශක්තියෙන් ක්‍රියා කරවිය හැකි ය.

අපේ ඇඟ පසඟ අද පවත්නා ආකෘතියෙන් නිර්මාණය වන්නට පටන් ගැනුණේ ආදී මානවයා ජීවත්වීම සඳහා පරිසරය සමඟ සටන් වදින්නට පටන් ගත් දා සිටම ය. සිවු පා සතාගේ සිට දෙපා සතා දක්වා මානවයකු වර්ධනය වූ ආකාරය ගැන සිතන විට අද අපට පුදුම සිතේ. සතර පයක් මත පිහිටා සමතුලිත කරන්නටත්, ගමන් කරන්නටත්, වැඩ කරන්නටත් එවන් කුදු මහත් කාරියෙහි යෙදෙන්නටත් මෙහෙයවා ගත් කය, එකී සියලු කාරිය සඳහා දෙපයක් මත පිහිටා රිද්මානුකූ®ලව ක්‍රියා කරවන්නට හුරුකර ගත් ආකාරය විස්මය දනවයි. මේ පරිණාමික ක්‍රියාවලිය සාවධානව මෙනෙහි කරන්නට හැකිනම්, එය සංගීත සංධ්වනියක් සේ ආස්වාදජනක ය. මේ පරිණාමයට ගත වූ කාලය වසර ලක්ෂ ගණනින් දික් ගැසුණු එකක් බව සිතන විට, ඊටත් වඩා චමත්කාරජනක ය. මානවයාගේ යහපතට හෝ අයහපතට හේතුකාරක වෙමින් මේ පරිණාමික ක්‍රියාවලිය අදත් සිදු වෙමින් පවතින්නක් බව පෙනේ. ඉන් අදහස් කෙරෙන්නේ මානව පරිණාමය තවමත් සිදු වෙමින් පවත්නා බව යි.

වානරයන් , චිම්පන්සියා, බොනෝබෝ, ගොරිල්ලා, ඔරංඋටං ආදින් වානර මානවයන්, මානව වානරයන්, මානව මානවයන් ආදි වශයෙන් පරිණාමයට ගොස් අද පූර්ණ මානවයන් බවට පත්ව සිටිති යි අපට උද්දාමයට පත් වන්නට හැකි ය. එහෙත් මේ මානව පරිණාමයේ අවසානය කොතැන්හි දැ යි අප කිසිවකුටත් කිව නොහැකි ය. එය හුදෙක් සොබාදහමේ තීරණයක් පමණකි. එහෙත් මෙතෙක් කලක් මානව පරිණාමය සිදු වී ඇති ආකාරය සිහි කරතොත් කෙනකුට කිව හැක්කේ මිහිමත මානව සංහතිය පවත්නා තාක් කල් මානව පරිණාමය ද අඛණ්ඩව සිදු වෙමින් පවත්නා බව යි. මේ පරිණාමික කි‍්‍රයාවලිය නොකඩවා ඉදිරියට යන විට යම් දිනක මානවයන් අතර ජාති, ගෝත්‍ර , කුල වර්ග ආදී භේද නැතිව ගොස් එක ම මානව වර්ගයක් බිහි වෙති යි කෙනෙකුට සිතෙන්නට පිළිවන. මානව විද්‍යාඥයන් විසින් සමස්ත මානව සංහතිය මහ වරිග තුනකට බෙදනු ලැබ ඇත. එනම්, නිග්‍රොයිඩ්, යුරොපියොයිඩ්, මොන්ගොලොයිඩ් යනුවෙනි. කාලාන්තරයක් තිස්සේ වර්ග සම්මිශ්‍රණයෙන් බිහිව ඇති අපූර්වත්වයක් දක්වන, අතුරු මානව ගණ අද දකින්නට හැකිව ඇත.

මානව විද්‍යව විසින් සපයා ඇති දත්තයන්ගෙන් එහි සංකීර්ණත්වය වටහා ගැනීම අපහසු නොවේ. මේ අනුව ඉතා සංකීර්ණ ස්වරූපයෙන් නව මානව ගණ බිහි වෙමින් පැවතීම මිනිසාගේ යහපත සහ අයහපත යන දෙකට ම එක සේ බලපාන බව දැකගත හැකි ය. අඩු තරමින් අද මිහි මත මුළු මානව සංහතියෙන් අඩකටත් වැඩියෙන් ඉමහත් දුරකට වාර්ගික මිශ්‍රණයෙන් යුත් මානවයන්ගෙන් සමන්විත ය. මානවයාගේ් පරිණාමය කෙරෙහි ඔහුගේ ක්‍රියාකාරීභාවයත්, ඒ එක්ක ම බැඳුණු සෞඛ්‍ය සම්පන්නභාවයත් කෙතරම් බල පාන්නේ ද යන්න මිනිසාගේ ශරීර ප්‍රමාණ වර්ධනයෙන් පෙනී යයි. මෙහිලා මානවයාගේ උස ප්‍රමාණයේ වර්ධනය උදාහරණයක් ලෙස ගත හැකි ය. මිනිසාගේ මූලික අවශ්‍යතා සාධනීය ආකාරයෙන් සපිරෙන විට ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයෙන් හෙවත් ආරෝග්‍යයෙන් යුක්ත වන බව අත්දුටු සත්‍යයකි. එවිට එක් පරපුරකට වඩා ඊළඟ පරපුරේ දරුවන්ගේ උස වැඩි වන බව පෙන්නුම් කරනු ලැබේ.

මේ අනුව එක් පරපුරක මවුපියන් ඔවුන්ගේ වැඩෙන වයසේ දී අවශ්‍ය පෝෂණය නොලද වුවද ඔවුන්ගේ දරුවනට පරිපූර්ණ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබිණි නම් එම දරුවන් මවුපියන්ගේ උසට වඩා 5% කින් වැඩි වන බව සොයා ගෙන ඇත. එබැවින් අවශ්‍ය පහසුකම් නොඅඩුව සපිරුණු කල පරපුරින් පරපුරට උස වැඩි වන බව පිළිගන්නට සිදුවෙයි. මේ තත්ත්වය සෘණ නැඹුරුවකින් ද බලපාන්නට පුළුවන. එනම්, අවශ්‍ය පහසුකම් හිඟ වන විට, පරපුරින් පරපුරට උස අඩු වීම යි.

මේ කවර හැටියෙන් කරුණු ඉදිරිපත් කළත්, පැහැදිලිව පෙනෙන කරුණක් නම්, සාර්ථක ජීවිතයක් සඳහා නිරෝගිකම මුල්තැන ගන්නා බව යි. ‘ආරෝග්‍යා පරමා ලාභා’ වන්නේ එලෙසින් බව පැහැදිලි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.