Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුද්ගලයා කෙලෙසන බොරුව

සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාටික වග්ගයේ අට වැනි සූත්‍රය වන්නේ සිඟාලෝවාද සූත්‍රයයි. මෙය ගිහි විනය යන නාමයෙන් ද ඉතා ප්‍රකට දේශනාවකි. ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට අතිශයින් වැදගත් ආචාර ධර්ම පද්ධතියක් මෙහි අන්තර්ගත වේ. වැළකිය යුතු පාප ධර්ම දාහතරක් මෙම සූත්‍රයේ දැක්වේ. මෙම ලිපියෙන් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා කෙලෙසීමට හේතු වූ සතර කර්ම ක්ලේශයන්ගෙන් ‘මුසාවාදෝ කම්ම කිලේසා’ යන්න පිළිබඳව කෙටියෙන් විමසා බැලීමයි.

මෙහි කම්ම යනු ක්‍රියාවයි. මිනිසා විසින් කරනු ලබන ක්‍රියාව කම්ම නමින් හඳුන්වනු ලැබේ. ක්ලෙස යන වචනය පාලි භාෂාවෙන් දක්වන්නේ ‘කිලේසා’ යනුවෙනි. කිලේසා යන්නෙහි තේරුම කෙලෙසන හෙවත් මනුස්සත්වය අපවිත්‍ර කරන පාප බවයි. දවන තවන දේවල් ක්ලෙස නම් වේ. ‘කිලිස්සති උප තප්පෝති කිලේසා’ කිලිස්සති යනු පිළිස්සෙනවා කියන තේරුමයි. ‘ඉධ තප්පති පෙච්ච තප්පති’ පව් කළ තැනැත්තා මෙලොවත් පරලොවත් තැවේ යැයි ධම්මපද ගාථාවේ සඳහන් වේ. සතුන් මැරීම සොරකම් කිරීම බොරුකීම හා පරදාර සේවනය යන සතර කර්ම ක්ලේස කරන තැනැත්තා ද මනුෂ්‍යත්වය අපවිත්‍ර කරන කෙලෙසන බව දැක්වේ. මෙම වැරැදි සතරෙන් වෙන්වීම, වැළකීම පිරිසුදු වීමට හේතුවේ.

තිදොරින් වන අකුසල් අතරින් වාග් ද්වාරයෙන් අකුසල් සතරක් සිදුවේ. එනම් බොරුකීම, ක්ලාම් කීම, පරුෂ වචන කීම හා හිස් වචන කීම යනුවෙනි. මෙහි විස්තර කරනුයේ බොරු කීම පිළිබඳවයි. පංචසීල ප්‍රතිපදාවේ සතර වන ශික්ෂා පදය වන්නේ මුසාවාදයයි. එනම් බොරුකීමෙන් වැලකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වීමයි. පාප කර්ම අතරින් බලවත්ම අකුසල කර්මයක් ලෙස මෙය සඳහන් වේ. සත්‍ය නොවූ දෙයක් සත්‍ය වශයෙන් දක්වා ඇනුන් රැවටීම, මුලා කිරීම මින් අදහස් කෙරේ. එකම බොරුවකින් රටක් රාජ්‍යයක් විනාශ කිරීමේ හැකියාව ඇත. බෝසතාණන් වහන්සේ ද සමහර අවස්ථාවන්හිදී සුළු සුළු පාප කර්ම සිදුකර ඇති බව සඳහන් වේ. නමුත් අනුන්ට විපත්තියක් කරන අසත්‍ය වූවක්, බොරුවක් විවරණ ලැබීමෙන් පසුව උන්වහන්සේ ප්‍රකාශ නොකළ බව දැක්වේ. එයින් ගම්‍යමාන වන්නේ බොරුකීම ඉතා ලාමක පාප කර්මයක් බවයි. බොරුකීමේ බරපතලකම දැක්වීමට ධම්මපදයේ මෙම ගාථා ධර්මය ඉතා වැදගත් වේ යැයි සිතමි.

ඒකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනෝ
විනින්න පරලෝකස්ස
නත්ථි පාපං අකාරියං

ධම්මපදයේ ලෝක වග්ගය 10 වන ගාථාව

වාග් සත්‍යය ඉක්මවා බොරු කියන, එසේම දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස සම්පත් හා නිවන් සැප බලාපොරොත්තු නොවන්නා වූ පුද්ගලයකුට, නොකළ හැකි පාපයක් නොමැති බව ඉහත සඳහන් ගාථාවෙන් ප්‍රකාශ වේ. බොරු කීමේ නිසරු බව හිස් බව පැහැදිලි කිරීම සඳහා රාහුල සාමණේරයන් වහන්සේට දේශනා කළ රාහුලෝවාද සූත්‍ර දේශනාව තුළින් දිය බඳුනක් උමාවට ගනිමින් පැහැදිලි කර ඇත්තේ බොරු කියන්නා වූ පුද්ගලයා තුළ කිවයුතු හරයක් නොමැති බවත් එවැනි පුද්ගයන් හිස් පුද්ගලයන් බවත් ය.

සංග්‍රාම හස්ති උපමාව මගින්ද බොරුවේ දරුණු බව ප්‍රකාශ කරන්නේ මෙසේ ය. යුද්ධය සඳහා මනාව පුරුදු පුහුණු කළ ඇතෙක් යුද්ධ භූ®මියේදී හිස කඳ නකුට ආදි සෑම අවයවයකින්ම සතුරාට පහර දෙන බවත් එනමුදු සොඬවැල පමණක් මුඛයෙහි බහාගෙන මනාව ආරක්ෂා කර ගන්නා බවත් යම් අවස්ථාවක සතුරාට පහර දීමට සොඬ වැල ද භාවිතා කරන්නේ නම් එතැන් සිට එම ඇතා වියරු වැටුණු එකකු වන බවත් ය. එතැන් සිට ඌ සතුරු මිතුරු භේදයකින් තොරව සෑම දෙනාටම පහර දෙයි. ඒ අවස්ථාවේ ඇත්ගොව්වා එම ඇතා පිළිබඳ බලාපොරාත්තු අත් හරියි. ඒ ඇතුට එතැන් සිට නොකළ හැකි අපරාධයක් නොමැති බව දැක්වේ. එමෙන්ම දැන දැන බොරුකීමේ ලැජ්ජා නොමැති තැනැත්තාට නොකළ හැකි අපරාධයක් නොමැති බව ඉහත උපමා මගින් දක්වා ඇත. ඉන් පුද්ගලයන් කෙලෙසෙන බව පැහැදිලි වේ.

දඹදිව විසූ චේතිය රජතුමා ද බොරු කීමට ඉතා ප්‍රසිද්ධියක් දැරූ බව සඳහන් වේ. වත්මනෙහි ද බොරුකීමේ නිරතවූවන් හැඳින්වීම සඳහා චේතිය පරම්පරාවේ අය යැයි පවසනු අසන්නට ලැබේ. මේ චේතිය රජු විසි දහසකට ආයුෂ ඇතිව සිටි නමුත් බොරු කීමේ විපාක වශයෙන් එයින් පිරිහී ලබාගෙන තිබූ සෘද්්ධි බලවත් නැතිව ගිය බව දැක්වේ. මෙම කථා ප්‍රවෘත්තිය ලෝවැඩ සඟරා කතු, කවියට නගා ඇත්තේ මෙසේ ය.

ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස්කයා
පොළව පලාගෙන ගොස් වැටුණි නරකයා
මොලාව සතුනි ඉන් බොරුකීම නරකයා

98 කවිය

අසවා මකියන බස් අරතරයේ
මුසවා බස් කීවා එක මුරයේ
වසවා දෙවි ලොව යන මං තරයේ
පැසවා මිස නාරි ගොස් නිරයේ

82 කවිය

බොරු කියන්නන් නිරයේ උපදින බව කවියෙන් සඳහන් කරන අතර, එම කාරණයම ‘අභූතවාදී නිරයං උපෙති’ යන දේශනා පාඨයෙන් ද දක්වා ඇත. සිනා මුසු බසින් යුතුව වුවද දැන දැන බොරු කියන්නා වූ භික්ෂුව පාරාජිකා, සංඝාදිසේස, ථුල්ලච්චය, පාචිත්ත්‍ය, දුක්කට යන ඇවැත් පහට පත්වන බව සඳහන් වේ. මුසාවාදය බහුල වශයෙන් භාවිතා කරන්නා අට මහා නරකයටත් තිරිසන් අපා දුකටත්, පැමිණේ. ඉන් අත්මිදී මිනිසත් බවක් ලැබුණේ නමුත් ඔහු නිකරුණේ චෝදනා අපහාසවලට ලක්වන බව සඳහන් වේ. ආඥානව උපදී, දිළිදුව දුප්පත්ව උපදී. ගොත ගසන්නකු වේ. ගොලු වේ. මුඛයෙන් දැඩි දුර්ගන්ධයක් වහනය වේ. විරූප වූ ශරීර ඇත්තේ වේ. විරූප වූ මුඛ හා දත් ඇත්තේ වේ. අමිහිරි අප්‍රසන්න කටහඬ ඇත්තේ වේ. අඹුදරුවෝ පවා බොරු කියන්නාගේ බස් පිළිනොගනිති. එපමණක් ද නොවේ දරුවන්ද නොලැබේ. උපදින දරුවෝ ද ගැහැණු දරුවෝ වෙති. ඒ දරුවෝද අකීකරු වෙති.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් බොරු කීමේ ආදීනව නොදැන බොරු කියති. මවුපියෝ ද සිය දරුවන් බොරු කියා රවටති. සමහරු තම බලය රැක ගැනීමට තනතුරු ආරක්ෂා කර ගැනීමට විවිධ බොරු අසත්‍ය දෑ ප්‍රකාශ කරති. විවිධ බොරු පොරොන්දු දෙති. නමුත් මේවායේ බරපතලකම් මදකට හෝ සිතන්නේ නම් බොරු කීමෙන් වෙන්වීමට කටයුතු කරනු ඇත.

එහෙයින් බොරු කීමේ ආදීනව නුවණින් සිතා බලා විනෝදය පිණිස හෝ අනුන් රවටන පිණිස හෝ බොරු නොකීමටත් සම්පූර්ණයෙන් වාග් දුෂ්චරිතයෙන් වෙන් වී වාග් සුචරිතයේ ආනිසංස සළකා බලා සත්‍ය කථා කිරීමටත් උනන්දු විය යුතුවේ. සත්‍ය ප්‍රකාශ කිරීමේ අනුසස් බොහෝ වේ. ප්‍රසන්න වූ ඇස්, කන් ආදී ඉඳුරන් ලැබීමත්, ගොත ගැසීම් හා ගොලු බව නැතිව මනා උච්චාරණයෙන් යුතු මිහිරි වචන ඇති වීමත් සම වූ පිරිසුදු වූ දත් ඇති බවත් අතිශයින් මහත් වූ හෝ කෙට්ටු වූ ශරීර ඇති නොවන බවත් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමීමත් සුවච කීකරු දරුවන් ලැබීමත් වාග් සුචරිතයේ ආනිශංස ලෙස ලැබෙන බව දහමෙහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් දෙකක්ම ලැබී ඇත්තේ සත්‍ය කථා කිරීමේ අනුහසින් බව සඳහන් වේ. ලක්ඛණ සූත්‍රයේ මේ බව සඳහන් වේ. දිවි පරදුවට තබා වුවද සත්පුරුෂයන් සත්‍යයෙහි පිහිටන බව මහා සුතසෝම ජාතික කථාවෙන් පැහැදිලි වේ. සත්‍යය බෝසත්වරු අනුගමනය කරන පාරමී ධර්මයකි. ලොව ඇති නා නා විධ රස අතරින් සත්‍ය රසය උතුම් බව ‘සව්වං භවේ සාධු තරං රසානං’ නිවන් රසය ලබා දෙන්නේ ද සත්‍ය වූ දහම් රසයයි. ආර්ය මාර්ගයේ නිවන් ලබාදීමේ එක් මාර්ගාංගයකි සම්මා වාචා මාර්ගාංගය. සත්‍යය වුවද ප්‍රකාශ නොකළ යුතු අවස්ථා ද ඇත. යම් සත්‍යයක් අසන්නාට අපි‍්‍රය අමනාප ස්වරූපයක් ගෙන දෙන්නේ නම්, එය ඔහුගේ යහපතට හේතු නොවන්නේ නම්, සත්‍යය වුවත් ප්‍රකාශ නොකර සිටීම උතුම්. අනුන් නොකැමැති වුණත් ඔවුන්ගේ් යහපතට හේතු වන්නා වූ සත්‍ය වචන පැවසීම සුදුසු ය.

ලොව අනෙකුත් ශක්තීන්ට වඩා සත්‍ය වචනයේ බලය උතුම් වේ. අපේ බුදුපියාණන් වහන්සේ තෙරුවන් ගුණ ප්‍රකාශ කරමින් මේ සත්‍ය බලයෙන් යහපතක්ම වේවායි සත්‍ය ක්‍රියා කළ ආකාරය රතන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. අංගුලිමාල සූත්‍රය, සාම ජාතකය, වට්ටක ජාතිකය, මච්ච ජාතකය ආදී කථා පුවත් තුළද සත්‍ය බලය උපකාර කරගෙන ලෝකවාසී සත්ත්වයන්ට සෙත සැලසූ ආකාරය දක්නට ලැබේ.

එහෙයින් සත්ත්වයන් කෙලෙසන අපිරිසුදු කෙරෙන මුසාවෙන් වෙන් වී සත්‍ය කථා කරමින් පුද්ගල මෙන්ම සමාජ අභිවෘද්ධිය සලසා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.