Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පොත් ගන්න දෙන දීමනාවෙන් නිසි ඵල ලැබෙන  ක්‍රමයක් සකසමු

තෝරාගත් දහම් පාසල් ගුරුවරුන් පිරිසකට රජය මගින් වාර්ෂිකව රුපියල් දෙදහක දීමනාවක් ලබා දෙන්නේ ‘පුස්තකාල දීමනාව‘ වශයෙනි. ඒ දහම් පොත්පත් සඟරා මිලදී ගැනීම සඳහා ය.

එහෙත් එය ලබාගන්නා ගුරුවරු හැබෑවටම එම දීමනාවෙන් දහම් පොත්පත් සඟරා මිලදී ගන්නවා ද? කියා විමසා බැලුවහොත් ලැබෙන පොදු පිළිතුර කෙබඳුවේ ද? දහම් පාසල් ගුරුවරුන් විශාල පිරිසක් දන්නා හඳුනන අයකු වශයෙන් මා විසින් කරන ලද නිරීක්ෂණ වලින් තහවුරු වූයේ එයට පිළිතුරු අසතුටුදායක එකක් බවයි.

දැනට මම දීමනාව දෙවරක් ලබා ඇති අය පවා එයින් මිලදී ගන්නා ලද දහම් පොත්පත්, සඟරා කොතෙක්ද කියා සමීක්ෂණයක් කළහොත්, ඕනෑම අයකුට මා අත්දුටු එම කාරණය සැබෑවක් බව මනාව වැටහෙනු ඇත. එකම දහම් පොතක් පතක්, සඟරාවක් හෝ තවම මිලදී නොගත් පිරිස වැඩි බව එබඳු සමීක්ෂණයකින් වටහා ගත හැකි වනු ඇත.

අඩුම තරමින් එලෙස මිලදී ගන්නා පිරිස එම දීමනාව ලබන අයගෙන් අඩක් පමණවත් වනවා නම් මේ වනවිට පළ වී ඇති දහම් පොත්පත් සඟරා වලින් පොත්හල් වල අලෙවි වාර්තා ඉහළ අගයක් ගෙන තිබිය යුතුය. පසුගිය කාලයට වඩා දහම් පොත්පත් අලෙවිය ඉතා විශාල වශයෙන් වැඩි වී තිබිය යුතුය. ඇතැම් පොත්පත්වල මුද්‍රණ පිටපත් ප්‍රමාණය පෙරට වඩා කිහිප ගුණයකින් වැඩි වී තිබිය යුතුය. නැවත මුද්‍රණ කිහිපයක්ම දැනට නිකුත්විය යුතුව ඇත. බුදුසරණ වැනි දහම් පුවත්පත් සඟරාවන්හි අලෙවිය හා මුද්‍රණය කරන පිටපත් ප්‍රමාණය ද කිහිප ගුණයකින් වැඩි වී තිබිය යුතුමය. නමුත් එසේ සිදු වී ඇත්ද?

අනුව මෙලෙස පුස්තකාල දීමනාව වශයෙන් දෙනු ලබන එම රජයේ ප්‍රදානයෙන් අපේක්ෂිත පරමාර්ථය මැනවින් ඉටුවෙනවාද? යන්න සැක සහිත ය. එහි ප්‍රතිඵල දහම් පාසල් දරුවන් කරා ඒ මගින් සමස්ත සමාජය පුරා මැනවින් ගලා යනවාද? යන ප්‍රශ්නය කෙරෙහි කාගේ කාගේත් අවධානය යොමු කළ යුතුව තිබේ. ඊට පිළියම් යෙදීම ද අවශ්‍ය වේ.

දහම් පාසල් ගුරුවරුන්ගේ ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුළ ඉතා ඉහළ මට්ටමකින් වැඩි වී තිබීම සතුටුදායක තත්ත්වයකි. 2003 වසරේ මුල වනවිට හය දහසකට ආසන්න දහම් පාසල් ප්‍රමාණයක හැට දහසකට ආසන්න ගුරුවරුන් පිරිසක් වාර්තාගත වී තිබුණු අතර 2007 මුල වනවිට දහම් පාසල් නව දහස් පන්සීයකට අධික ප්‍රමාණයක් බිහිව තිබූ බවත් ගුරුවරුන්ගේ ප්‍රමාණය එක් ලක්ෂ දොළොස් දහස් පන්සියයකට වඩා වැඩි වී තිබු බවත් දැනගත හැකි විය.

මේ ප්‍රමාණාත්මක වර්ධනයට සාපේක්ෂිතව ගුණාත්මක වර්ධනයක් සමාජයේ සිදු වී ඇත්දැයි සිතා බලන විට අපට හැඟී යන්නේ තවම ඒ පිළිබඳ සතුටුදායක තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි.

පසුගිය වසර කිහිපය තුළ දහම් පාසල් ගුරු සේවයට විශාල පිරිසක් එක් වී සිටියද ඔවුන්ගෙන් බහුතරයකගේ් මූලික සුදුසුකම් හා ඉගැන්වීමේ කුසලතා පිළිබඳ ද ගැටලු මතු වී තිබේ. ප්‍රමාණවත් දහම් දැනුමක්, අවබෝධයක් ඇති පිරිස ඉන් කොතෙක්ද යන්න ගැටලුවකි.

එම තත්ත්වය යම් ප්‍රමාණයකින් හෝ අවම කර ගැනීමට දහම් දැනුම පිළිබඳ අඩුපාඩු මඟහරවා ගැනීමට ස්වයං අධ්‍යාපනය මගින් හැකි වෙතියි යන විශ්වාසය මත මෙම පුස්තකාල දීමනාව ප්‍රදානය කෙරෙනවා විය හැකි ය. එය උතුම් අදහසකි. එහෙත් එය ලබනා අයගෙන් එම අපේක්ෂාව ඉටු වනවාද යන්න සිතා බැලිය යුතුයි. එය ප්‍රදානය කෙරෙන අංශයෙනුත් එම කාර්යය නිසිලෙස ඉටු වෙනවාද යන්න සොයා බැලීමක් සිදුවිය යුතුයි.

එසේ නොවුවහොත් සිදුවන්නේ සමාජසේවා අමාත්‍යාංශයෙන් සහනාධාර බෙදා දෙනවා මෙන් වූ තවත් එක් සහනාධාර බෙදාදීමක් පමණකි. බෙදාදෙන නිසා ලබා ගැනීමත්, ලබන්නෝ සිටින නිසා බෙදාදීමත් හැර එයින් එයාට නිශ්චිත ඉලක්කයක් එමගින් සපුරාගත හැකි නොවේ.

එම මුදල් යොදවා දහම් පොත්පත් සඟරා මිලදී ගන්නවාද? ඒවා කියවනවාද? යන්න විමසා බලන ක්‍රමයක්ද අනිවාර්යයෙන්ම සකසාගෙන ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ය.

ඒ සඳහා ක්‍රමයක් පෙන්වා දීමට මෙයින් අදහස් කළේ ලබන වසර සඳහා දීමනාව ලබා දෙන විට ඒ සඳහා නම් කර ඇති අයගෙන් පසුගිය වසරේ දීමනාවෙන් ඔවුන් මිලදී ගත් පොත්පත් වල බිල්පත් වෙන් වශයෙන් දින යොදා ඉදිරිපත් කිරීම, අනිවාර්ය කළ හැකි ය. එසේ කළ නොහැකි අය වෙත, අලුත් වසරේ එම දීමනාව ලබා නොදීමට පියවර ගත හැකි ය. සතිපතා - මාස් පතා පුවත්පත් සඟරා මිලදී ගැනීමේදී ද බිල්පත් ඉදිරිපත් කිරීමට සැලැස්විය හැකි ය. එසේ බිල්පත් ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී නිතිපතා එම පුවත්පත් සඟරා මිලදී ගන්නා බවට දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා මගින් සහතික කරවීමක් යොදාගත හැකි ය.

මෙම පුස්තකාල දීමනාව ලබාදීමේ දී ද ගිහි පැවිදි දහම් ගුරුවරුනට අගෞරවයක් සිදුනොවන පරිදි පෝලිම්වල සිටුවා - යාචකයන්ට ආහාර මලු බෙදන ආකාරයට එය සිදු නොකර, වෙනත් සුදුසු ක්‍රමයක් අනුගමනය කළ යුතුය. වවුචර් මගින් හෝ චෙක්පත් මගින් නමට ලියා ඒ ඒ දහම් පාසල් වලටම එය ලබාදීමට කටයුතු යෙදීම සුදුසු වෙතැයි සිතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.