Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිංහල - හින්දු අලුත් අවුරුද්දේ බෞද්ධ ආභාෂය

සිංහල, හින්දු අලුත් අවුරුද්ද ආරම්භ වුණේ කොහොමද? ඒ කවදා ද? කියලා පැහැදිලි කළ හැකිද?

වර්තමානයේ බොහෝ දෙනෙක් “සිංහල, හින්දු” අලුත් අවුරුද්ද නමින් හඳුන්වන මේ උත්සවය, ඇතැමෙක් වෙනත් නම් වලිනුත් හඳුන්වන්න උත්සාහ කරනවා. නමුත් නමට වඩා මේ උලළෙහි ඇති හරයයි සමාජයට වැදගත් වන්නෙ. අර්ථවත් වන්නෙ සිංහල, හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සිදුවුණේ කවදාද කියලා නිශ්චිතව කියන්න පුළුවන්. පැහැදිලි සාධක තවම නම් සොයාගෙන නැහැ. නමුත් ඇතැමෙක් එය ඉතාම නිශ්චිතව මහා සම්මත නම් රාජ යුගයකටත් තවත් කෙනෙක් ලෝකයේ මුලින්ම පහළවූවා යැයි කියන හෙළ ශිෂ්ටාචාරයකටත් සම්බන්ධ කරනවා. නමුත් ඒ කිසිවක් පැහැදිලිව සනාථ කරන, තර්කානුකූල කුමන හෝ සාධකයක් ඔවුන් කිසිවෙක් මෙතෙක් ඉදිරිපත් කරලා නැහැ.

නමුත් කිසිම සමාජයක, කවර උලෙළක් හෝ එක්වරටම ප්‍රාදුර්භූත වන්නේ නැහැ. එය හේතු සාධක සහිතව, යම් මූල බීජයකින් ඉතාම සුළුවෙන් හෝ හට ගැනීම ක්‍රමානුකූලවයි පරිණාමය වන්නේ. විකාශනය වෙන්නේ. යථාර්ථය එයයි. එය ඒ ජන සමාජයේ සංස්කෘතිය හා අවියෝජනීය ලෙස බද්ධ වෙනවා. එයින් සමාජයේ උන්නතියට, යහපතට සැලසෙන්නේ අප්‍රමාණ මෙහෙවරක්. එසේ නොවුණොත් එවැනි උත්සවයක් සමාජයක දිගටම පවතින්නේ නැහැ. ඒ අනුව සිංහල, හින්දු අලුත් අවුරුදු උත්සවයේ ආරම්භය නිශ්චිතව කීමට බැරි වුණත් එහි අන්තර්ගතව තිබෙන අලුත් අවුරුදු උළෙලෙහි ආරම්භය පිළිබඳ පැහැදිලි සාධක නම් පෙර අපර දෙදිගම ලෝකයෙන් දැකගත හැකි යි.

අලුත් අවුරුදු උළෙලෙහි ආරම්භය සිදු වුණේ කෙසේ ද?

එහි මූලය “සූර්ය වන්දනයයි” “ඇනිමිස්ටික්” යුගයේ දී ආදී මානවයා ස්වාභාවික වස්තූන් පිදුවා. තමන්ට පාලනය කළ නොහැකි ඉර, හඳ, වර්ෂාව, ගින්දර වැනි බොහෝ දේ භාරතය ප්‍රධාන පෙරදිග සහ ගී‍්‍රසිය ප්‍රධාන අපරදිග ඇතුළු මුළු ලොකයේ ම මේ තත්ත්වය දැක ගත හැකියි. මේ සියලු වස්තූන් අතර සූර්යයා ප්‍රධානයයි ලෝකයේ පැවැත්මට සූර්යයා මූලික වීමයි. ඊට හේතුව සූර්ය වන්දනය පිළිබඳ තොරතුරු මිසරයේ පිරමීඩවල වගේම භාරතයේ වේද ගීතවලත් දැක ගත හැකිය.

විශේෂයෙන්ම කෘෂිකාර්මික සමාජවල ඊට ප්‍රබල ලෙස බලපාන සූර්යයා වන්දනා කිරීමට මිනිසා පෙළඹීම ස්වභාවිකයි.

බුද්ධ කාලයට සමීප කාලයක නොදියුණු සහ යම් පමණකට හෝ දියුණු ජන සමාජ මේ රටේ තිබූ බව පුරාවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වී තිබෙනවා. ඒ සරල ජන සමාජ, වර්තමාන දියුණු ශිෂ්ටාචාරයට පා තැබීම ආරම්භ කළේ භාරතයෙන් ආර්යයන් මේ රටට පැමිණි ඔවුන් හා සම්මිශ්‍රණයෙන් “සිංහල” ජාතිය බිහිවීමත් සමඟමය. ඒ ආර්යාව ගමනයක් සමඟම ඔවුන්ගේ සූර්ය වන්දනයත් මේ රටට පැමිණීම ස්වාභාවිකයි. සූර්යයා අපට ඉතාම සමීපව ගමන් කරමින්, වැඩි දිවා කාලයක් සහිත උණුසුම් දේශගුණයක් සහිත බක් මාසය වන විට ජනතාව සිය අස්වනු නෙළා ගෙට ගෙන හමාරයි. ගහ කොළ මලින් පලින් බර වුණු මේ සමය වඩාත් උචිත එළිමහනේ විවේකීව ගත කිරීමට, මේ නිසා යට කී සූර්ය වන්දනාව, වසන්ත සැණකෙළියක් බවට පත් වී තිබෙනවා. අපේ වංශ කතාවල මේ කාලය දැක්වෙන්නේ වසන්ත සැණකෙළියක් ලෙසයි. වාර්ෂිකව එළැඹෙන මේ නැකැත් කෙළියට මූලික වුණේ ඡ්‍යොතිෂය අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීම ය. එසේ නැත්නම් රාශි චක්‍රයේ එක් වටයක ගමන නිමා කර අලුතින් වටයකට පිවිසීම ය. පාරිසරික සාධක සේම, ජීවිතයට නැවත එබී බලා ජීවිතය අලුත් කර ගැනීමටත් ජනතාවට එයින් මනා පිටුවහලක් ලැබෙනවා. මේ නැකැත් කෙළිය හෙවත් වසන්ත සැණකෙළිය පසුකාලීනව හින්දු ජනතාවත් සමඟ යම් ආකාරයට මිශ්‍ර වීම නිසා සිංහල, හින්දු අලුත් අවුරුද්ද බවට පත් වී තියෙන්නෙ. එය බොහෝ විට 17 වැනි සියවසේ දී පමණ ලන්දේසීන් විසින් ලංකාවේ උතුරු කරයේ දුම්කොළ වගාවට දකුණු ඉන්දියානු දෙමළ ශ්‍රමිකයන් රැගෙන ඒමත් සමඟම ආරම්භ වන්නට ඇති. මේ තත්ත්වය වඩාත් තහවුරු වී ගියේ උඩරට රජවරු නායක්කාර් බිසෝවරු මෙහි ගෙනඒමත්, පසුව රාජ්‍යත්වයට නායක්කර්වරුන් පත්වීමත් සමඟම. ඒ යුගයෙන් පසුව තමා අප අද මේ කතා කරන සිංහල, හින්දු අලුත් අවුරුද්ද පැහැදිලිව දකින්න පුළුවනි.

මේ සිංහල, හින්දු අලුත් අවුරුදු උළෙලෙහි බෞද්ධ ආභාෂය දකින්න පුළුවන්ද? එසේ නම් එය සිදුවුණේ කොහොම ද?

දිය හැකි සෘජු පිළිතුර නම්, සිංහල, හින්දු අලුත් අවුරුදු උළෙලෙහි පැහැදිලි බෞද්ධ ආභාෂයක් දකින්න පුළුවන් කියන එකයි.

නමුත් එය සිදුවීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් පදනමක සිට සාකච්ඡා කළ යුතු දෙයක්. ලෝකයේ ඕනෑම ජන සමාජයකට සංස්කෘතියක් තිබෙනවා.

ඒ වාගේම විවිධ ජන සමාජවල සංස්කෘතීන් විවිධ හේතු නිසා එකට සම්මිශ්‍රණය වනවා.

මේ නිසා තමයි විද්වතුන් පෙන්වා දෙන්නෙ ලෝකයෙත් අමිශ්‍ර සංස්කෘතියක් නැහැ කියලා. නමුත්, මේ සංස්කෘතික සම්මිශ්‍රණයේ දී විවිධ සංස්කෘතිකාංග මේ සංස්කෘතීන් හරහා හුවමාරු වී මිශ්‍ර වී පවතින්නේ පැහැදිලි න්‍යායක් මත.

ඒ තමයි නව සංස්කෘතිකාංග එකී සංස්කෘතියට ඵලදායී එකක් වීම. නැත්නම් එය ප්‍රතික්‍ෂේප වෙනවා.

එසේ නොවී වඩාත් ප්‍රබල බලපෑමක් කළ හැකි එකක් නම් එයත් ඒ සංස්කෘතිය තුළ මුල් බැස ගන්නවා. අර නැකැත් සැණකෙළියටත් සිදු වුණේ ඒ ටිකම තමයි.

කෘෂිකර්මාන්තයට මුල් තැන දුන් ජන සමාජයකට ඒ සම්මා කම්මන්තයට රුකුල් දෙන බෞද්ධාගම ලැබුණේ ක්‍රිස්තු පූර්ව 236 වැන්නේ දී මෙරටට සිදු වූ මහින්දාගමනයෙනි.

රජගල, මිහින්තලේ වැනි ස්ථානවල තිබෙන සෙල්ලිපි මේ ඓතිහාසික කරුණ සනාථ කරනවා.

අහිංසකව, සමානාත්මතාව වැනි ගුණාංග රැසක් බෞද්ධ ජීවන ප්‍රතිපදාවට අයත් වෙනවා. පන්සිල් එහි පදනම ඒ වගේම ධම්ම පදයේ එන අප්පමාද වග්ගය, දණ්ඩ වග්ගය, සහස්ස වග්ගය වැනි වග්ග වල එන ගාථා විතරක් වුණත් අරගෙන බලන්න.

සූත්‍ර අතර එන සිඟාලෝවාද සූත්‍රය වැනි ඒවා අරගෙන විමර්ශනය කරන්න. එවිට මෙය මැනවින් වටහා ගත හැකි යි.

පොදු ජනතාව අතර, බෞද්ධාගම පැතිරිලා, බෞද්ධ ජීවන මාර්ගයට ඔවුන් හුරුවීමත් සමගම ඒවා ඔවුන්ගේ ජීවිතවල අවියෝජනීය අංග බවට පත්වුණා. මෙය වඩාත් හොඳින් සහ ගැඹුරින් ප්‍රායෝගික තලයට ගෙන එන්න අලුත් අවුරුද්ද ඉතාම හෙඳ පසුබිමක් සකසා දී තියෙනවා.

ඔබ එසේ සඳහන් කරන බෞද්ධ ජීවන දර්ශනයේ ආභාෂය සිංහල, හින්දු අලුත් අවුරුද්ද හා බද්ධ වී ඇති ආකාරය නිදසුනක් සහිතව පෙන්වා දිය හැකි ද?

මම මුලින්ම කීවා “සිංහල, හින්දු” අලුත් අවුරුද්ද ඇති වී තියෙන්නේ කොහොමද කියලා. ඊළඟට පෙන්වා දුන්නා ඡ්‍යොතිෂයේ ආභාෂය ඊට ලැබුණු ආකාරය. ඡ්‍යොතිෂයෙ මේ ආභාෂය නිසා තමයි අලුත් අවුරුද්දට අද අප දකින නැකැත් ආවලියක් ලැබුණේ බලන්න. අලුත් අවුරුද්ද නිසා අපි එකම වේලාවකට වැඩ නවත්වනවා යලි වැඩ අරඹනවා. ලිප ගිනි මොලවනවා, අනුභව කරනවා, ගනුදෙනු කරනවා, රැකියාවලට යනවා.

බෞද්ධ දර්ශනයේ තියෙන ඉතාම වැදගත් ඉගැන්වීමක් තමයි නිසි දේ නිසි වේලාවට කරන්න කියන කරුණ ප්‍රමාදය පරිහාණියට මාර්ගයකි. නිසි ලෙස සැලසුම් කර ගත් ජීවිතය, භෞතික සහ අධ්‍යාත්මික දියුණුවට යොමු කෙරෙනවා. ධම්මපදයේ අප්පමාද වග්ගයම ඇති මේ ටික තේරුම් ගන්න.

“අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා”

යේ පමත්තා යථා මතා, පමා වූ අය, මියගිය අය හා සමානය. මේ අප්‍රමාද ජීවිතයක් සාර්ථක කර ගැනීමට කොයිතරම් වැදගත්ද? සමාජයේ ජීවිතය දිනූ අය මේ මාර්ගයේ ගමන් කළ අය නොවේ ද? වර්තමානයේ යම් තරමකින් හෝ අපෙන් ගිලිහී යමින් තිබෙන මේ ගැඹුරු හරය අලුත් අවුරුද්දට ආවේ බුද්ධාගම තුළිනි. ඊළඟට “නොනගතය” හෙවත් නැකතක් නැති වේලාවේ දී අප මොකද කරන්නෙ? පන්සල් නොයන තැනැත්තා පවා එදාට පන්සල් යනවා. මලක් පහනක් පූජා කරනවා. පිනක් දහමක් කරනවා. මේ මානසික සුවය නිසා ජීවිතය දිහා නැවත හැරී බලන්න අපට ඉඩ ලැබෙනවා.

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං”

සිංහල අලුත් අවුරුදු දවසේ දී අප කරන සිරිතක් නම් ගෙවුණු වසරෙදි අපි අතින් අනුන්ට සිදුවුණු වැරදි සමාකර ගැනීම යහ පැවැත්ම සඳහා පවුල් ඒකකයක සිට සමස්ත සමාජයකටම කොයි තරම් වැදගත්ද? ධම්මපදයේ යමක වග්ගයේ එන “නහී වේරේන වේරානි” ගාථාව පිළිබඳ හිතල බලන්න.

සිංහලයෙන් නැකතට වැඩ අල්ලා අනුභව කර කරන, පළමුවැනි කාර්යය නම් වැඩිහිටියන්ට බුලත් දී වැඳ නමස්කාර කිරීමයි.

තෑගි බෝග, පිරිනැමීම අසල්වැසියන් සමඟ කෑම පිඟානක්, හුවමාරු කර ගැනීම ධම්ම පදයෙ සහස්ස වග්ගයේ එන ගාථාවකි මේ.

අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායිනො
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයුවණ්ණෝ සුඛං බලං

වැඩිහිටියන්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට, පිදූ විට ආයුෂ, හිමි වර්ණය, නීරෝගී බව සහ ඤාණ ශක්තිය ද වැඩෙනවා. නොදැන සිටියත් බෞද්ධ ආභාෂය නිසා තමයි අප අවුරුද්දේදී මේ ටික ප්‍රායෝගිකවම සිද්ධ කරන්නෙ. සිඟාලෝවාද සූත්‍රයත් මේ සමඟ ඉතාම ප්‍රායෝගිකව බද්ධ වෙනවා. සමාජයක එකට ජීවත් වන දූ දරු මව්පියන් ගුරු සිසු ඇතුළු සියලු සාමාජිකයන්ගේ අයිතිවාසිකම් මෙන්ම යුතුකම් ද එම සූත්‍රයේ මනාව පෙන්වා දී තිබෙනවා. මොන තරම් අඩුපාඩු කම්, බැරි අමාරුකම් තිබුණත්, කවර පුද්ගලයා අතිනුත් හැකි තරමින් ඉටු වන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් පෙන්වා දෙන මේ යුතුකම් සහ වගකීම් නොවේද? අදත් අපේ දරුවෝ අලුත් අවුරුද්දේදිත් තමන්ගේ දෙමව්පියන් බලන්න යනවා. කාට කාටත් රෙදි රියනක්වත් අරං දෙනවා. රසට කෑම වේලක්වත් එකට ඉඳගෙන කනවා. ඒ කොයි ගෙදරද ඒ මොහොතේ දුකක් තියෙන්නේ? ඒ මානසික සතුටම පුද්ගලයෙකුට කොයිතරම් වටිනවද? මේ ආභාෂය බෞද්ධ අපේ රටේ හැර අලුත් අවුරුද්ද සමරන වෙනත් රටවල මේ අයුරින් දකින්ට නැහැ.

ඉතාම සරලව සහ කෙටියෙන් මම මේ පෙන්වා දුන්නෙ, ඕනෑම කෙනෙකුට, පුළුවන්, මේ අලුත් අවුරුදු චාරිත්‍රවල සිරිත් විරිත් වල තියෙන බෞද්ධ ආභාෂය වටහා ගන්න. එය පන්සිල්වලට ධම්මපදයට හෝ සූත්‍රවලට විතරක් සීමාවෙලා නැහැ. ජාතක කතාවල සිට අපේ බෞද්ධ සාහිත්‍ය පොත පත ඇතුළු සෑම අංශයක් ඔස්සේම පැතිරී ගිය එකකි. බෞද්ධාගමේ තිබෙන කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව, අප්‍රමාදය, අවෛරය වැනි පුද්ගල ජීවිතයට සමස්ත සමාජයේම යහ පැවැත්මට මැනැවින් උපකාරී වන කොපමණ අංග කෙතරම් ඒ චාරිත්‍රවල තිබෙනවද? අපට එතෙක් තිබුණ සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය බවට පත් වුණේ මහින්දාගමනයෙන් ලද දායාදය තමයි මේ සිංහල අලුත් අවුරුදු උළලෙහි අංග හැඩ ගස්වන්න උපකාරී වී තිබෙන්නෙ. පසුකාලීනව, වසන්ත උත්සවයට හින්දු බලපෑම ලැබුණත් මේ බෞද්ධ ආභාෂය කිසිම ආකාරයකින් නැතිවෙල ගිහින් නෑ. එය සිංහල අපගේ අමිල උරුමයක්.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.