UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවි ගමන දිගු කරන සැප සදන - මහ රහස

එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ එක්ක කොසොල් රටේ බමුණු ගමක වාසය කළා. බුදුන් වහන්සේ වැඩම කළ බව දැනගත් ඒ බමුණෝ බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරමින් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. එහෙම ගිහිල්ලා ‘බුදුහාමුදුරුවනේ අපි අඹුදරුවන් සමඟ ගිහිගේ වාසය කරනවා. ඉතා වටිනා කසී සළු මල් ගඳ විලවුන් පාවිච්චි කරමින් ජීවිතය ගත කරනවා. ඒ විතරක් නොවෙයි අපට ඕන තරම් මිල මුදල් තියෙනවා. අනේ බුදුහාමුදුරුවනේ අපිට පංචකාම සැප නිවැරැදිව විඳින හැටි පැහැදිලිවන , මරණින් පස්සේ හොඳ තැනක උපත ලැබීමට හේතුවන දහමක් දේශනා කරන සේක්වා යැයි ආරාධනා කළා.

ඊට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ හොඳයි බමුණ, මම ඔබලාගේ ජීවිතයට සැපත හා දිර්ඝායුෂ ලැබෙන දහමක් දේශනා කරන්නම්. හැබැයි ඔබට සැපත සහ දීර්ඝයුෂ ඕනෑ නම් මේ දහම හොඳට අහගෙන ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕන යැයි දේශනා කළා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බමුණන්ගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා.

බමුණානෙනි, ඔබ ගොඩක් කාලයක් ජීවත් වෙන්න කැමැති ද? ‘ඔව්’ බුදුහාමුදුරුවනේ මම ගොඩක් කාලයක් ජීවත් වෙන්න කැමැතියි. ඔබ සැප විඳින්න කැමැතිද? දුක් විඳින්න කැමතිද? බුදුහාමුදුරුවනේ මම දුක්විඳින්න කැමති නෑ. මම සැප විඳින්න කැමතියි. බමුණානෙනි, ඔබ ගොඩක් කාලයක් ජීවත් වෙන්න කැමති වූයේ දුක් නොවිඳිනා සැප විඳින්න කැමැති වූ සේ, මිහිපිට සිටින හැම සත්ත්වයකුම ආයුෂයට, සැපයට කැමතියි. ඒ නිසා ජීවිතේ් සැපය සහ ආයුෂ ඕනෑ නම් කිසි දවසක තවත් සත්වයකු මරන්න එපා.

අන්න එම නිසා ඔබ ‘පාණාතිපාතා’ කියන ශික්ෂා පදය ආරක්ෂා කරන්න. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ විදිහටත් තවත් ප්‍රශ්නයක් අහනවා. බමුණානෙනි, ඔබ කැමැතිද ඔබ තව කෙනෙකුට නොදුන් දේ ඔබෙන් පැහැර ගන්නවාට. නෑ බුදුහාමුදුරුවනේ. මම කැමැති නෑ මගේ දේවල් තවත් කෙනෙක් පැහැර ගන්නවාට. බමුණානෙනි, ඔබ නුදුන් දේ නොගන්නාවට කැමැති නැතිවා සේම, මේ ලෝකයේ ජීවත්වෙන කිසිම සත්වයෙකු කැමැති නෑ තමන් ආදරයෙන් රැක ගන්නා දේ තවත් කෙනෙක් පැහැර ගන්නවාට. අන්න ඒ නිසා ඔබට ආයුෂ හා සැපය, සතුට ඕනෑ නම්, තව කෙනෙකුගේ දෙයක් ගන්න එපා. ඔබ ‘අදින්නාදානා’ යන ශික්ෂා පදය ආරක්ෂා කරන්න. එතකොට ඔබට ජීවිතේ සැනසිල්ල උදාවෙයි.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බමුණාගෙන් අහනවා බමුණානෙනි, ඔබ කැමැති ද ඔබේ ස්වාමි දියණිය එක්ක වෙනත් අය කාමයෙහි වරදවා හැසිරෙනවා දකින්න. අනේ බුදුහාමුදුරුවනේ මම නම් කැමැති නෑ. අන්න ඒ වගේ මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක් කැමැති නෑ තමන්ගේ බිරිය සමග තව කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා දකින්න. ඒ විතරක් නොවෙයි ස්වාමි දියණියත් කැමැති නෑ තමන්ගේ් හිමියා තවත් කාන්තාවක් සමඟ හැසිරෙනවා දකින්න. එම නිසා ඔබට දීර්ඝායුෂ සැපය සහ සිතට සතුට ඕනනම් ‘කාමේසුමිච්ඡාචාරා ‘ යන ශික්ෂා පදය ආරක්ෂා කරන්න.

නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා. බමුණානෙනි, ඔබ කැමැති ද ඔබට කවුරු හරි කෙනෙක් බොරුවක් කියලා ඔබ රටට්ටනවාට? අනේ නෑ බුදුහාමුදුරුවනේ, මම බොරුවලින් රැවටෙන්න කැමැති නෑ. කවුරු හරි කෙනෙක් බොරු කියලා මාව රැවැට්ටුවොත් ඔහු කෙරෙහි මට ලොකු කේන්තියක් එනවා. බොරුවට මම කැමැති නෑ. බමුණානෙනි, ඔබ හරියට බොරුවට, වංචාවට කැමැති නැතිවා සේ ම ලෝකම ඉන්න කිසිම සත්ත්වයෙක් බොරුවෙන් වංචාවෙන් රැවටෙන්න කැමති නෑ. අන්න එම නිසා ඔබ ජීවිතේ කවදාවත් තව කෙනෙකුට බොරුවක් වංචාවක් කරන්න එපා. එවිට ඔබට සැමදාම සැනසිල්ල ඇති වනවා.

ඉන් අනතුරුව තවත් ඉදිරියට ධර්ම දේශනා කරන බුදුහාමුදුරුවෝ අර බමුණාගෙන් අහනවා, ‘බමුණානෙනි ඔබ කැමතිද ඔබත් සමග ඉතා සමීපව මිතුරුව කටයුතු කරන කෙනකුව ඔබෙන් වෙන් කිරීමේ අදහසින් තව කෙනෙක් කේලමක් කියලා ඔබ දෙපල අසමගි කරනවාට? අනේ බුදුහාමුදුරුවනේ, මමනම් කැමැති නෑ. මමත් එක්ක හොඳින් ඉන්න අය අසමගි වෙනවා දකින්න.

බමුණාණෙනි, ඔබගේ මිතුරන් ඔබ ළඟම ඉන්න අය ඔබත් සමග අසමගි වනවාට ඔබ කැමැති නෑ වගේම, මේ මුළු ලෝකෙම ඉන්න සමගි අය , කේලාම් කියලා තමන් අසමගි කරනවාට කැමැති නෑ. ඒ නිසා ඔබට ජීවිතේ සැනසිල්ල ඕන නම්, ජීවිතේ සතුට, දීර්ඝායුෂ ඕන නම්, කවදාවත් කේලාම් කියන්න එපා. ‘පිසුණාවාචා’ වේරමණී යන ශික්ෂා පදය ආරක්ෂා කරන්න කියලා දේශනා කළා.

ඊළඟට බමුණාණෙනි, ඔබ කැමැතිද නරක වචනවලින් බැනුම් අහන්න? අනේ බුදුහාමුදුරුවනේ මම කවදාවත් කැමැති නැහැ නරක අසත්පුරුෂ වචනවලින් වලින් මට කවුරු හරි බණිනවාට. බමුණානෙනි, ඔබ තව කෙනක් නරක වචනවලින් බණිනවාට කැමැති නැතුවා වගේ මේ ලෝකේ ඉන්න අනික් අයත් නරක වදනවලින් බැනුම් අහන්න කැමැති නෑ. ඒ නිසා ඔබට ජීවිතේ සතුට, දීර්ඝායුෂ ඕනනම් ඵරුසාවාචා වේරමනී යන ශික්ෂා පදය ආරක්ෂා කරන්න. ඒ විතරක් නොවෙයි. කවදාවත් මෙලොව ජීවිතටත්, පරලොව ජීවිතයටත් වැඩක් නැති දේවල් කියමින් කාලය නිරපරාදේ ගෙවලා දාන්න එපා. හැම වේලාවකම හැම මොහොතකම මෙලොව යහපතටත් පරලොව යහපටත් හේතුවන දෙයක්ම කියන්න කරන්න. එම නිසා ඔබ සම්ප්‍රඵලාපයෙන් වැළකීමේ ශික්ෂාපදය ද ආරක්ෂා කරන්න. ඔබේ ජීවිතේ අනිවාර්යෙන්ම සැනසිල්ල, සතුට දීර්ඝායුෂ ඇතිවනු නොඅනුමානයි කියාල බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂයේ සැනසිල්ලේ රහස හෙළි කළා.

වාසනාවන්ත අම්මේ, තාත්තේ ඔබටත් ජීවිතේ දීර්ඝායුෂ හා නිතර සතුට සැනසිල්ල ඕන නම්, මෙන්න මේ වේළුද්වාර සූත්‍රය හොඳීන් කියවලා තේරුම් අරගෙන ජීවිතයට ළංකර ගෙන ඒ අනුව ජීවත්වන්න. මේ දහම අකාලික දහමක්. කොයි කාලෙටත්, කොයි කාටත්, ජාති ආගම්, කුල මල භේදයකින් තොරව ජීවිතේ සැනසිල්ල උදාවන දහමක්. මේ කියපු කාරණා අපේ ජීවිතේ ක්‍රියාත්මක වනවා නම්, මීට වඩා සොඳුරු ලෝකයක් සමාජයක් බිහි කරන්නට අපට හැකියාව ඇතිවෙනවා. එම නිසා අද දිනය වගේම හෙට දිනයත් යහපත් කරන්නට මේ දහම අපේ ජීවිතයට ළංකර ගනිමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]