Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතක මහිම

මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය කෙසේ දැයි ධර්මයට අනුව විග්‍රහ කොට දැක්වීම, මෙහි අරමුණයි. ථෙරවාදි හා මහායාන ධර්ම ඇසුරු කොට එහි යථා ස්වරූපය පෙන්නුම් කිරීම, මින් අදහස් කෙරේ. සිතේ ස්වභාවය බුදුදහමට අනුව විග්‍රහ කිරීමේ දී එයට අදාළ සූත්‍ර පාඨයක් මෙහිලා විමසා බැලීම සුදුසු යැයි සිතමි.

‘පහස්සරමිදං භක්ඛවේ චිත්තං’ යනුවෙන් දැක්වෙන්නේ, උප්පත්ති සිතේ පවතින ප්‍රභාශ්වර හෙවත් පිරිසුදුභාවයයි. මේ ස්වභාවය ක්‍රමයෙන් වෙනස්වන අයුරු සූත්‍රයෙන් පැහැදිලි වෙයි. ‘ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං’ යනුවෙන් අදහස් වන්නේ බාහිරයෙන් ගලා එන කෙලෙස් හේතුවෙන් ප්‍රභාශ්වර සිත කිළිටි වන බවයි. අප කාට වුවත් තමන්ගේ සිත බැලීම පවා ඉතා දුෂ්කරය. සිතේ ස්වභාවය අනුව සිතට දුර ගමන් යාහැකි බව ‘දූරංගමං’ යන්නෙන් පැහිදිලි වෙයි. එසේම ‘අසරීරං’ යන්නෙන් සිතට සිරුරක් නොමැති බවද පෙන්නුම් කෙරේ. තව ද සිතේ සැලීම හෙවත් දැඟලීම පිළිබඳ ද ‘වාරිජෝව ථලේ ඛිත්තෝ’ යනුවෙන්, දියෙන් ගොඩ දැමූ මාළුවකුට සම කොට දක්වා තිබේ. මේ අනුව සිතේ ස්වභාවය නොයෙක් අයුරින් විග්‍රහ කර පෙන්වා දී තිබේ.

අප සෑම ජීවත්වන කල්හී සිරුර ඇසුරු කොටගෙන සිත් ඇතිවන්නේ ද නැතිවන්නේ ද වෙයි. එහෙත් කෙනකු මැරුණු පසු සිතට කුමක් වන්නේ ද? පටිච්චසමුප්පාද දේශනාවට අනුව එහි යථා තත්ත්වය අවබෝධ කරගත යුතුය.

‘සංඛාරා පච්චයා විඤ්ඤාණං’ යන්න බුද්ධ දේශනා පාඨය යි. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය හෙවත් සිත හට ගන්නා බව එයින් පෙන්නුම් කරයි. මෙහි සඳහන් ‘සංස්කාර’ යනු පින් - පව් හෙවත් කර්ම ශක්තියයි. මෙම කර්ම ශක්තිය සංස්කාර වශයෙන් ථෙරවාදි දහමෙහි උගන්වයි. එහෙත් මහායාන ධර්මයෙන් පෙන්වා දෙන්නේ කර්ම ශක්තිය හා ආලය විඥානය ද සංස්කාර වලට ඇතුළත් බවයි.

මහායාන ධර්මයෙහි විඥානය තෙවැදෑරුම් කොට උගන්වයි. ආලය විඥානය මනන විඥානය හා ප්‍රවෘත්ති විඥානය යනුවෙනි.

සත්ත්වයා විසින් රැස් කරන ලද කර්ම බීජ රැඳී පවතින ස්ථානය, ආලය විඥාණය වශයෙන් මහායාන ධර්මයෙහි දැක්වෙයි. ඒ අනුව අභ්‍යන්තරයෙහි වූ මූල විඥාණය, ආලය විඥානයයි. විඥානයක් නොමැතිව කර්ම බීජ නො පවතින බව මහායාන ධර්මයෙහි පෙන්වා දී තිබේ. මරණයේ දී මෙම විඥානය නැති වන්නේ නැත. එය ශරීරයෙන් ඉවත් ව අහස් කුස දින කීපයක් සැරිසරා, ඊළඟ ස්ථානයෙහි පිළිසිඳ ගනී. මෙය සාදාකාලික ස්ථිර වූවක් ලෙස එහි නො සැලකෙයි. කර්ම බීජ හේතුකොටගෙන අලය විඥානය රැකී තිබේ. එය කැඩීමක් , බිඳීමක් නො පෙනෙන සේ, ඇති වෙමින් නැති වෙමින් පවතින්නකි. රහත් වන තෙක් ආලය විඥානය පවතින බව මහායාන ධර්මය පිළිගන්නා අතර, ථෙරවාදී ධර්මයෙහි ආලය විඥානයක් ගැන ඉගැන්වීමක් දක්නට නොලැබේ.

ආලය විඥානය මවු කුසට ඇතුළු වූ පසු එයින් පහළ වන සිත ‘මනන විඥානය’ ලෙස, මහායාන ධර්මයෙහි දැක්වෙයි. මනෝ විද්‍යාඥයන් යටි සිත ලෙස සලකනු ලබන්නේ මෙම මනන විඥානයයි. ප්‍රවෘත්ති වි ඥනය ලෙස සැලකෙන්නේ ඇස - කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නා වූ සිත යි.

අරමුණු ගන්නා වූ සිතේ ස්වභාවය මෙසේ පෙන්වා දී ඇත.

චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති - චක්ඛු විඤ්ඤාණං
සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං
ඝාණඤ්ච පටිච්චි ගන්ඹේච උප්පජ්ජති - ඝාණ විඤ්ඤාණං
ජිව්හාඤ්ච පටිච්චි රසේ ච උප්පජ්ජති - ජිව්හා විඤ්ඤාණං
කායඤ්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති - කාය විඤ්ඤාණං
මනඤ්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති - මනො විඤ්ඤාණං’

සියලු ඉන්ද්‍රියන්ගේ අරමුණු ගැනීමෙන් - විඤ්ඤාණය හෙවත් සිත මෙසේ උපදී. මෙහි ක්‍රියාකාරීත්වය ඵස්ස, වේදනා ආදී වශයෙන් පටච්ච සමුප්පාද ක්‍රමයට, දිගටම පවතියි.

බුදු දහමෙහි දැක්වෙන පරිදි සිතේ පිහිටි ප්‍රධාන ගති පහකි. අරමුණු, ස්පර්ශ වීම දැනෙන ගතිය, වින්දනය දැනෙන ගතිය, හඳුනා ගන්නා ගතිය, කල්පනා කරන ගතිය, හා ක්‍රියාකාරී ගතිය යනුවෙනි. එම ගති වලින් තොරව පවතින මොහොතක් ගැන සිතා ගැනීම අපහසුය. සිත ලෝකය හා සම්බන්ධ නොවන මොහාතක් නැත. සිත නිතර ඉහත දැක්වු ගති වලින් යුක්ත නිසා ලෝකය හා නිතරම සම්බන්ධ වෙයි. නිවන් දැකීම ලෝකෝත්තර වීම යැයි කියනු ලබන්නේ මෙම ලෞකික ක්‍රියාවලියෙන් සිත මුක්ත වීම නිසා ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.