Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහස් නමක් මහ සඟරුවනට අනුරපුර දී දක්ෂිණාවක්!

රජරට මෑත ඉතිහාසියේ ප්‍රථම වතාවට දහසක් භික්ෂූන් වහන්සේ වෙත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ ඓතිහාසික මහා පුණ්‍යේත්සවයක් පසුගිය දා අනුරාධපුර කලැත්තෑව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී දහස් සංඛ්‍යාත දෙස් විදෙස් බැතිමතුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම පළාත හා තදානුබද්ධ ප්‍රදේශයන්හි ප්‍රධාන සංඝනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිංගප්පුරුවේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, මහනුවර වට්ටාරන්තැන්න සමාධි සංස්කෘතික කේන්ද්‍රය, අනුරාධපුර කලැත්තෑව ජාත්‍යන්තර සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, යන විහාරස්ථානයන්හි අධිපති සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය රඹුකේවල ඤාණසීහ හිමියන්ගේ් සංවිධායකත්වයෙන් තෛ‍්‍ර නිකායික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගේ ප්‍රධානත්වයෙන්, තායිවාන් යෙන් ක්වාන් මහා විහාරයේ සහ සිංගප්පුරුවේ සමාධි බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් මෙම ඓතිහාසික පින්කම පැවැත්විණ.

එම මහා පුණ්‍යෙීත්සවය සඳහා ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ රතනසාර නාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේද ආශිර්වාද ලැබී තිබිණි.


පින්කමේ සංවිධායක ආචාර්ය රඹුකේවල ඤාණසීහ නා හිමියන් පින්කමෙහි අරමුණ පැහැදිලි කළ අයුරු.

එම පුණ්‍යේත්සවයෙහි විශේෂ ආරාධිතයන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජාතිය නගාසිටුවීමේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සනත් කරුණාරත්න යන මහත්වරු ප්‍රධාන ආරාධිතයින් ජාත්‍යන්තර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පියගැට පෙළ අභියස දී විදෙස් රටවලින් සහභාගි වූ නියෝජිතයන් විසින් මල් බදුන් පිළිගන්වා පිළිගන්නා ලදී. එහිදී ප්‍රථම මල් පූජාව පවත්වන ලද්දේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ සහ ජාතිය නගා සිටුවීමේ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසිනි.

අනතුරුව උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමා විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ සිට වැඩම කරවන ලද ආනන්ද බෝධි ශාඛාව රෝපණය කිරීම සිදුකරන ලදී.

කලැත්තෑව මහ විදුහලේ සිට මහ සඟරුවන දහස් නමක් ගෞරවෝපහාර මධ්‍යයේ වැඩම කරවන ලද අවස්ථාවේ මග දෙපස සිටි දහස් සංඛ්‍යාත බැතිමත්හු බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සාදු නද දෙමින් එක් රොක්ව සිටීම මනස්කාන්ත දර්ශනයක් වූහ.

අනුරපුරවර බොදු ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමෙන් මෙන්ම නව ආලෝකයක් එක්කිරීමට එම ඓතිහාසික පින්කම සමත් වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.


දහසක් භික්ෂූන් වහන්සේ පින්කම සඳහා වැඩම කළ අයුරු.

එම අවස්ථාවන් හට මල්වතු මහ විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අටමස්ථානාධිපති නාහිමියන් වෙනුවෙන් මිරිසවැටිය රජ මහා විහාරාධිපති ඊතල වැටුණවැවේ ඥානතිලක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පානගම පේමසිරි, අනුරාධපුර පූජා නගරයේ කුට්ටම්පොකුණ විහාරාධිපති ඉහලගම පවරකිත්ති යන නා හිමිවරුන් ඇතුළු තෛ‍්‍ර ‍්‍රනිකායික මහා සංඝරත්නය වැඩම කරවූහ.

දහසක් භික්ෂූන් වහන්සේ වැඩම කළ මොහොත දැක ගැනීමට පැමිණ සිටි බැතිමතුන් තම ජීවිතයේ එවන් අවස්ථාවක් දැකබලා ගැනීමට ලැබීම පෙර භවයක කළ පිනක් බව ඔවුන් පැවසූහ. ඔවුන් දොහොත් මුදුන් තබා නැඟූ සාදු හඬ අදත් එකී ප්‍රදේශය වසා ගුවන් තලයේ රැඳී ඇති දෝංකාරයක්සේ දැනෙනු ඇතැයි ඇතැම්හු පවසති.

වැව් බැඳි රාජ්‍යයේ අනුරපුර නම් පින්බර පින්බිමේ කලැත්තෑ නම් ගම්පියස මෙදා දම් සුවඳින් සුවඳවත් කරලීමට එම ඓතිහාසික පුණ්‍යේත්සවය සමත් වීම මුළු රජරටට පමණක් නොව සමස්ත බෞද්ධ ජනතාවගේම හදවත් දැහැමි සිතිවිලි වලින් කරුණාබරිත වීම පුදුමයක් නොවනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.