Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සමයේ නිදහස

නිදහස කවුරුත් අගයති. දේශපාලන ආර්ථික, සමාජයිය නිදහස ආදී විවිධ නිදහස ගැන කථා කරති. මේ සියලු නිදහසට වඩා ඉතා වදගත් වන්නේ චින්තන නිදහසයි. සිතීමේ නිදහස චින්තන නිදහස යන්නෙන් කියැවේ. පුද්ගලයා තුළ හෝ සමාජය තුළ යම් කවරාකාර හෝ දියුණුවක් වන්නේ නම් ඊට තුඩු දුන්නේ සිතීමේ නිදහසයි. සිතීමේ නිදහස පිළිබඳව බුදුපියාණන් වහන්සේ පමණ දුටු අන් කවරම හෝ උත්තමයෙක් තුන් ලොවෙහිම නොමැත.

සියලු මනස්කාරවාදි දෘෂ්ටින් බැහැර කරමින් අන්ධ විශ්වාසයනට ඉඩ නොතැබු සම්පූර්ණ පුද්ගල නිදහස පවත්නා මිනිස් චින්තනයේ අග්‍රත්වයට මුල්තැන දුන් සර්ව සාධාරණ පණිවුඩයක් උන්වහන්සේ ලොවට පෙන්වා දුන්හ.

සැකය අධ්‍යාත්මික දියුණුවටද, සත්‍යාවබෝධයටද බාධාකාරි වේ. එහෙයින් තම ධර්මය ඇවිත් බලා පිළිගත හැකි ‘එහිඵස්සික’ ගණයට යෙදුණි. මාගේ ධර්මය ගෞරවයෙන් පිළිගත යුතු නැත. එය ගින්නේ දමා රන් හඳුනාගන්නාක් මෙන් පළමුව පරීක්ෂාවට ලක් කළ යුතුය’ යයි උන්වහන්සේ වදාළහ. මෙබන්දක් අන්කිසිදු ශෘස්තෘවරයෙක් නොවදාළහ. තමන් වහන්සේ වුවද ගෞරවය, කීර්තිය නිසා පිළි නොගත යුතු බවත් සොයා බලා විමසා දැන උචිතනම් පමණක් පිළිගත යුතු බවත් පෙන්වා දුන්හ. ප්‍රශ්න නොඅසන්නේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නම් යහළුවකුටවත් පවසා ඒ ඔස්සේ විසඳා ගැනීමේ අදහස පෙන්වා දුන්හ. නිගන්ඨනාථපුත්ත බෞද්ධ කර්මවාදය වැරැදියැයි පෙන්වීමට බුදුහිමි වෙත එවූ උපාලි ගෘහපතිට බුදුහිමි දක්වන මතය නිවැරදි බැව් වැටහී බුද්ධ ශ්‍රාවකයෙකු කරගන්නට කී කළ බුදුහිමි වදාළේ ඒ අදහස යළි සලකා බලන ලෙසත්, තමා වැනි ප්‍රකට පුද්ගලයින් ඉක්මන් නොවිය යුතු බවත්, බුද්ධ ශ්‍රාවක වුවත් පැරැණි ශාස්තෘන්වහන්සේට ගෞරව කළ යුතු බවත් වැනි උදාර අදහස්ය. මේ සහනශීලිත්වය ඉතා උසස්ය.

අශෝක සෙල්ලිපි ද තම ආගමට ගරු කළ යුතු අතර අන්‍ය ආගම්වලට ගර්හා නොකළ යුතු බව කියයි. බුදුසමයේ සහනශීලිත්වය, බුදුහිමි පණිවුඩය ලොව පුරා ප්‍රචලිත වීමට ද හේතු විය.

අන්‍ය ආගමික සියල්ල එසේ යයි පිළිගත යුතු විනා ඒ ඇයි ඒ මන්ද වැනි ප්‍රශ්න ඇසිමේ හැකියාවක් නැත. විවේචනය විමර්ශනය, පුද්ගල නිදහස අතිශයින් අවශ්‍යය. පුද්ගල නිදහස නැති තැන සමාජ නිදහස නැත. සමාජ නිදහස නැති තැන පුද්ගල නිදහස නැත. බුදුරදුන්ගේ පණිවුඩය දැකීමට විනා අන්‍ය ආගම්වල මෙන් අන්ධ භක්තියට නොවේ. එහි තරම් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් අන් ආගමික නැත. උත්සාහය ඇත්නම් කවරෙකුට වුවද බුදුවිය හැකියැයි පවා උන්වහන්සේ වදාළේ ස්වශක්තියේ විශ්වාසය පෙන්වමිනි.

බුදුදහම අනුව හැම පුද්ගලයෙකුම තමාගේ් ක්‍රියා ගැන වගකිව යුතුය. පුද්ගලයාගේ් විපාක කෙරේ බලපෑ හැකි දෙවියෙක්, බඹෙක්, ඊශ්වරයෙක් නැත. පුද්ගලයාගේ් ගැලවීම නොදුටු දෙවියකු කෙරේ තබා නැත.

අත්තාහි අත්තනො නාථො

කොහි නාථො පරෝසියා

යි තමාට පිහිට තමා හැර කවරෙකු හෝ නොවේ යයි වදාළහ. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී තමන් පිහිට කොට විනා අනුන් පිහිට කොට නොවන්නැයි වදාලයහ.

තුම්මේහි කිච්චං ආතප්පං

අක්ඛාථාරො තථාගතා යි “ තොප තොපට කටයුතුය. තථාගතයෝ මග කියා දෙන්නාහු යයි වදාළහ. තම ගැලවුම හා ස්වාමියා තමා බව පෙන්වා බුදුහිමි මග පිළිගැනීම හෝ පිළි නොගැනීම සඳහා පුද්ගලයාට නිදහස තැබූහ.

සූත්‍ර රැසක සිතීමේ නිදහස දක්වයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී සිත යොමා මැනවින් විචාරාත්මකව විමසා උචිත නම් පිළිගැනීම ප්‍රත්‍යවේක්ෂය උගන්වයි. කාලාම සුත්‍රයේදී ආරංචියෙන් හෝ පරම්පරාවෙන් හෝ පොතපතින් හෝ තර්කයෙන් හෝ න්‍යායයෙන් හෝ භක්තියෙන් හෝ ගුරුවරයා කී පමණින් හෝ ආදි ලෙසින් පිළිිගැනීම සාවද්‍ය බවත් තමන් හොඳින් විමසා බලා ප්‍රත්‍යක්ෂ නම් පමණක් පිළිගන්නා ලෙස වදාළහ. බලයෙන් කරුණු කා වද්දන සිරිතක් බුදුසමයේ නැත. බුදුහිමි කුසිනාරා නුවරට වඩින අතරමගදී බුදුරජුන් වෙතින් සංඝරත්නය වෙතින්, උගත් තෙරුන් වෙතින් ඇසූ පමණින් නොව සූත්‍ර හා විනයක් සස¼ඳා ගැලපේ නම් පිළිගත යුතු යැයි දේශනා කළ කරුණු බුදුදහමේ සිතීමේ නිදහස දනවයි.

විද්‍යාව කී පමණින් පිළි නොගනියි. හේතු ඔස්සේ නිගමනයට එයි. බුදු සමය පැහැදිලිවම හේතුඵල ධර්මයකි. නිදහස් සිතිවිල්ලට මුල්තැන දෙමින්, ගතානුගතිකත්වය බැහැර කළ උතුම් දැනුමකි. උන්වහන්සේ හා සාකච්ඡා කළ තර්ක කළ දඹදිව අනේක විධ පුද්ගලයින්ට උන්වහන්සේ කරුණු ගෙනහැර පෑවේ ඉතා ක්‍රමානුකූ®ලව, සාධක හේතු දක්වමිනි. කිසිවකුටත් ඒ බිඳිය නොහැක්කේමය. හැම පුද්ගලයෙකුම තමා ගැන වගකිව යුතු ය යන අදහස මුල්කර ගත් බුදුරදුන් ශ්‍රාවකයින් වහන්සේලාට නිදහස පෙන්වීය.

යමක් දුටු පසු ඒ ගැන විශ්වාසයක් භක්තියක් පිළිබඳ ප්‍රශ්න ඇති නොවෙයි. යම් දැකීමක් නැතිවීම පමණි. විශ්වාසය, භක්තිය අවශ්‍ය වන්නේ අතේ මිටේ මැණිකක් ඇතැයි කිවහොත් නොදුටු නිසා විශ්වාසය, භක්තිය පිළිබඳව පැන නගි. එහෙත් අත්ල දිගහැර දුටුවහොත් එබන්දක් නැත. එහෙයින් බුදුදහම උඩුකුරු අත්ලෙහි තිබෙන මැණිකක් දකින්නාක් මෙන් අවබෝධ කර ගැනීම යැයි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ දක්වන නිදහස පිළිබඳ කදිම ප්‍රකාශයක් ලෙස ධර්මය අල්ලා කර උඩ තබාගෙන යාමට නොව එතෙරවීමට තිබෙන පසුරකට සමාන කරලීම පෙන්විය හැකිය. වරක් බුදුරදුන් විස්තර කරදුන් හේතුඵල වාදය මැනවින් දුටුබව තේරුම් ගත් බව ශ්‍රාවකයින් පැවසු කළ

මහණෙනි! මෙතරම් පිරිසුදු මෙතරම් පවිත්‍ර මේ දෘෂ්ටිය පවා ඉදින් ඔබ දැඩිකොට ගත්තොත්, ලාලනය කළොත්, ධනයක් සේ සැලකුවොත්, මගේ්යයි සිතුවොත් එවිට දැඩිකොට ගැනීමට නොව එතෙර යෑමට තිබෙන පවුරකට උපමාකොට ධර්මය දේශනා කරන ලද බව ඔබලා නොදන්නාහුය. යි වැකි අති ශ්‍රේෂ්ඨ වාක්‍ය අන් ශාස්තෘන්වහන්සේලා කෙරෙන් ප්‍රකාශ වී නැත. බෞද්ධ චින්තන ක්‍රමයේ අගය සැබවින්ම උත්කෘෂ්ඨය. උන්වහන්සේ වදාළේ අවශ්‍ය කරණු මිස අනවශ්‍ය කරුණු නොවේ. මාලුංක්‍යපුත්ත ස්ථවිරයෝ බුදුරදුන් විස්තර නොකළ, ඉවත් කළ ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න ගැන අදහස් දැක්වූ කළ බුදුරජුන් දුන් පිළිතුර වර්තමානයේ එබඳු දාර්ශනික ප්‍රශ්න නිසා කාලය නසමින්, සිතේ් සැනසිල්ල නැති කර ගන්නා කෝටි සංඛ්‍යාත මිනිස් වර්ගයාට කදිම පාඩමකි.

උන්වහන්සේ වදාළේ තමන් වහන්සේ වදාළේ අවශ්‍ය දේ බවය. කියන ලද දේ කියන ලදැයිද, නොකියන ලද දේ නොකියන ලදැයිද සිත තබා ගන්නැයි බුදුරදුන් මාලුංක්‍යපුත්ත ස්ථවිරහට වදාළහ. වරක් උන්වහන්සේ කෝසම්බියෙහි සංඝයා වනයේදී ඇට්ටේරිය කොළ කීපයක් අහුලා ගනිමින් ශ්‍රාවකයින්ට පෙන්වා දුන්නේ අත්ලෙහි ඇට්ටේරිය කොළ අඩු බවත්, වනයෙහි වැඩි බවත්, එලෙස තමා දන්නා නමුත් දේශනා නොකළ දේ වැඩි බවත්, දේශනා කළ දේ අඩුබවත්, දේශනා නොකළේ එය අප්‍රයෝජන නිසා බවත් නිවනට ඉවහල් නොවන බවත් යනාදි ලෙසිනි. බුදුරදුන් දත් නමුත් නොවදාළ දේ විමසීමට ඇතමුන් තැත් දරණ නමුත් එය නිෂ්ඵල ව්‍යායාමයක් බව අමතක නොකළ යුතුය. ජාති කුල ගෝත්‍ර ආදි කිසිදු භේදයකින් තොරව බුදුසමයේ ඵල ලැබීමට හැක්කේ ය. ස්ත්‍රියට බ්‍රාහ්මණ අසීමිත බලයට නතු නොවී සමාජයේ ඉදිරියට ඒමට, අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමට බුදු සමයේ නිදහස හේතුවිය. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇත්තේ බුදු සමයේය. සංඝ සමාජය තීරණවලට එළඹෙන අයුරු බලන කළ එහි ආඥාදායකත්වයක් නොමැත. වස්තුන් පොදු අයිතියටය. මහා සමාජවාදියාණෝ මහා ප්‍රජාතන්ත්‍රවාදියාණෝ බුදුරජාණන් වහන්සේය.

මිනිසත් බව ලද දෙලොව දියුණුවට පි‍්‍රය වෙමු. එය ඉටුකර ගත හැක්කේ නිදහස්ව, නිවහල්ව, සිතීමට කටයුතු කිරීමට හැකිතාක් පමණි. සිතිවිලි බැඳ තිබේ නම් දියුණුවට බාධාකාරිය මිනිසා සමාජයේ එක් පුරුකකි. ඔහුගේ ක්‍රියා කලාපය මත සමාජයේ දියුණුව රඳා පවතී. සිතිවිලි බැඳ දැමුණ වහල් සමාජයක නියම දියුණුව ළඟා කර ගැනීම අපහසුය. පුද්ගල නිදහස ගැන කරුණු සඳහන් අයුරු විමසිමේදී උත්තරීතර සමාජයක් ගොඩනැංවීමේ මහඟු කරුණු දේශනා කරන ලද්දේ මීට සියවස් විසිපහකට පෙර විසූ ශාන්ති නායකයාණන් වහන්සේ විසින් බව පිළිගත යුතුවේ.

නොයෙක් ආගම් ලොව පහළ වුවද ලොව හාපුරා ඇති වූ පොදු ආගම බුදුරදුන් දෙසූ ආගමයි. එය එක් පවුලකට ගෝත්‍රයකට රටකට සීමාවූවක් නොවේ. විශ්ව සාධාරණ සනාතන ධර්මයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.