Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙයියන්තුඩුව පුරාණ විහාරය

බියගම හෙයියන්තුඩුව ග්‍රාමය දෙවන රාජසිංහ රජුට සම්බන්ධ ඓතිහාසික ස්ථාන ගණනාවකින් සැදුම්ලත් මනරම් ගම් පියසකි.

දෙවන රාජසිංහ රජු හෙයියන්තුඩුව ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි සමයේ සිය ආරක්ෂක සේවා භටයින්ට කිරි ලබාදීම සඳහා විශාල මීගව ගාලක් පවත්වාගෙන ගිය බවත් එම මීගවයින් ගාල්කළ තුඩුවක් වැනි ස්ථානය පසුව හෙයියන්තුඩුව වූ බවත් ඒ පිළිබඳ පොතපත තවත් සාක්ෂි දරයි.

එවකට හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ පැරැණි බෝධිය වටාා ගල් අහුරා ප්‍රදේශවාසීන් වැඳුම් පිදුම් කර ඇති අතර හදිසියේ මී ගවයින්ට වැළඳුණු අතීසාර රෝගයන් නිසා රජතුමා පැමිණ භාරයක් වූ බවත් නැවත රෝගය සුව වූ නිසා එම භාරය ඔප්පු කිරීමක් ලෙස දැනටත් පවත්වාගෙන යන විෂ්ණු දේවාලය ඉදිකළ බවත් කියැවේ. අනතුරුව විහාරස්ථානයේ බුදු මැදුර ඉදිකිරීම් ආදිය සිදුකොට ඇත. ඒ අනුව නුවර යුගයට අයත් ලෙස මැටියෙන් තනන ලද හිදි පිළිමයක්ද බුදු මැදුරේ ඇතුළත බිත්තිවල ස්වභාවික වර්ණ උපයෝගි කරගෙන කර ඇති බිතු සිතුවම්ද සුරක්ෂිතව පවතී.

එම බුදු මැදුර තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංරක්ෂණ කටයුතු පටන්ගෙන පැරැණි බුද මැදුර වටා අලුතින් බුදු මැදුරක් ඉදිකිරීමට වර්තමාන විහාරාධිපති මාවරමණ්ඩිය ශ්‍රී ධීරානන්ද මූලික පිරිවෙනේ පරිවේනාධිපති වැලිමිටියාවේ සීලරතන හිමියන් ඇතුළු දායක පිරිස විසින් කටයුතු කරගෙන යනු ලැබේ. මේ වනවිට අධික වියදමක් දරමින් බුදු මැදුරේ වහළය දක්වා වැඩ නිමකර ඇත. ඉතිරි කටයුතු අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළැසුම් වලට අනුව කෝට්ටේ යුගයට අයත් වන ලෙස පෙති උළු දමා වහළ තුනක් වනසේ සකස් කිරීමට නියමිතය.

මෙම කටයුත්ත සඳහා ගරු නාගරික සංවර්ධන හා පූජා භූ®මි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම ප්‍රතිපාදන වෙන්කොට ඇත. විහාර මැදුරේ නොවන අදියර ලෙස වහළ තුනේ සමාරම්භක උළෙල මෙම 29 වන දින පෙරවරු 9.00 ට කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමියන් ඇතුළු මහා සඟරුවන වැඩම කිරීමෙන්ද නාගරික සංවර්ධන හා පූජාභූ®මි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.