Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ නා හිමි 79 වැනි ජන්ම දින සමරුවට සුබ පැතුම් එක් කරමින් ජනපති කියයි

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර භික්ෂු ජීවිතයෙන් ගත හැකි ආදර්ශ රාශියක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඉකුත් (17) දා යෙදුණු මහානායක හිමියන්ගේ 79 ජන්ම දිනය නිමිතිකොට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර මහානායක, ඓතිහාසික රංගිරි දඹුළු රාජමහා විහාරාධිපති, සාහිත්‍ය චක්‍රවර්ති, මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත, අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී ධම්මදස්සී රත්නපාල බුද්ධරක්ඛිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ, 79 වන ජන්ම දිනය අනුස්මරණය කරන අද දවසේ, සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි අප්‍රමාණ භක්තියකින් හා ගෞරවයකිනි.
1930 මාර්තු මස 17 වැනි දින ජන්ම ලාභය ලැබූ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, වසර 57 ක් වැනි දීර්ඝ කාලයක් සසුන් කෙත බබළවමින් ඉටුකළ උදාර සේවයට පූජෝපහාරයක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලංකා ධරණි තලය තුළ බෞද්ධ ධර්මය ස්ථාපිතවීමත් සමගම, එදා මෙදාතුර දැයේ පිනින් පහළ වූ යතිවරයාණන් වහන්සේ ගේ සංඛ්‍යාව අති විශාලය.
අප රටේ විවිධ අර්බුදකාරී අවස්ථාවන්හි දී, මේ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘවරයාණන් වහන්සේලා, නිවැරදි නායකත්වය හා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දෙමින්, එම බාධක ජය ගැනීමට ඉටුකළ උදාර සේවය අමිල වේ.
දැයේ පිනට පහළ වූ උදාර සංඝ පිතෘවරයෙකු ලෙස, අස්ගිරි පාර්ශ්වයේ වර්තමාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින්, ඉටුකරන උදාර ජාතික, ආගමික හා ශාසනික කාර්යයන්, මෙවැනි කෙටි පණිවිඩයකින් අගය කිරීම කිසිසේත් කළ නොහැකි කාර්යයකි.
ඒ අතර සිල්වත් බව, උපශාන්ත ගුණය, ඇසුරු කරන්නන්ගේ හද බැඳ ගන්නා වාග් රටාව, ධර්මධර බව, නිවැරදි නායකත්වය ප්‍රධාන වේ.
මෙම උතුම් ගුණාංග සමග ඇති පින් තෙද නිසාම අද අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියත්, විශේෂයෙන් ශ්‍රී දළඳා වහන්සේගේ භාරකාරත්වයත් ලැබී තිබේ.
ඒ තුළින් උන්වහන්සේ සසර සිදුකර ඇති පුණ්‍ය මහිමය මනාව පැහැදිලි වේ.
විශේෂයෙන් අප රටේ ඇති වන විවිධ බාධක ජය ගැනීම සඳහා රාජ්‍ය නායකයා වශයෙන් මා හට ලබාදෙන අවවාද අනුශාසනාවල ඇති අර්ථාන්විත බව, මනාව පසක් වන්නේ ඒවා එකින් එක විමර්ශනය කිරීමෙහිදීය.
ඒ පිළිබඳ මාගේ කෘතවේදීත්වය පිරිනමන අතර ඉදිරියේදීත් එබඳු අවවාද අනුශාසනා නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව, ගෞරවයෙන් සිහිපත් කරමි.
මෙසේ ඉතා නිරහංකාර ආදර්ශ සම්පන්න ශ්‍රේෂ්ඨ භික්ෂු ජීවිතයක් ගත කරමින් කටයුතු කරන, අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට, එම උදාර ජාතික, ආගමික, ශාසනික හා සමාජීය කටයුතු තවදුරටත් ඉටුකර ගෙන යාමට, අවශ්‍ය කායික හා මානසික සුවයත්, චිර ජීවනයත්, ත්‍රිවිධ රත්නයේ හා උතුම් දළදා වහන්සේගේත්, නාථ දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේත්, ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා ! යි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන්, මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.