Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


නාපාන පේමසිරි නා හිමි

මියන්මාර් රජයෙන් “අග්ග මහා පණ්ඩිත” උපාධියෙන් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, හුරිකඩුව විද්‍යාසාගර මහ පිරිවෙන් විහාරාධිශ්වර, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංසාලංකාර සිරි සීලවංසාලංකාර ධජ ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති පරියාප්ති විශාරද, විනයාචාර්ය, විනය විශාරද, රාජකීය පණ්ඩිත

 

නාපාන පේමසිරි නා හිමියන් පිළිගැනීමේ උළෙල මෙම 30 වන දා පස්වරු 2ට හුරිකඩුව විද්‍යාසාගර මහ පිරිවෙනේ දී

 

සසුන් කෙත ඔප කරන ආදර්ශවත් සංඝ පීතෘවරයෙකි

හුරිකඩුව , ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, විනයාචාර්ය. විනය විශාරද , රාජකීය පණ්ඩිත , අතිගෞරවාර්හ නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ වෙත මියන්මාර් රාජ්‍යයෙන් “ අග්ගමහා පණ්ඩිත” යන ගෞරව නාම සම්මුතිය පිරිනමා ඇති බව ඇසීමෙන් මම බලවත් සතුටට පත්වීමි.

වසර 75 ක් තුළ සසුන් කෙත ඔපවත් කරමින් වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ආදර්ශ සම්පන්න සංඝ පීතෘවරයෙකි. වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙනින් හා නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනින් අධ්‍යාපනය හැදෑරූ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ, ගිහි පැවිදි කා අතරත් ගෞරවයට පාත්‍රවීම , උන්වහන්සේ ලැබූ භාග්‍යයක් ලෙස මම සලකමි.

මේ රටේ විහාරස්ථාන හා පරිවේණස්ථාන ආරම්භ කිරීමටත්, ඒවායේ ආරක්ෂාවටත් සසුන් කෙතේ දියුණුවටත් , සුවිශාල කැප කිරීමක් කළ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේගේ, එම සේවාව ඇගයීම් වස්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් අධිකරණ නායක පදවිය පිරිනැමිණි . මියන්මාර් රාජ්‍යය අප රට සමග දීර්ඝ කලක සිට දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ අතර, එම රජය මගින් අප රටේ ගෞරවණීය භික්ෂූන් වහන්සේලාට විවිධ අවස්ථාවන්හිදී , අග්ගමහා පණ්ඩිත ගෞරව නාම සම්මුතිය පිරිනැමීම , අප රටට කළ විශාල ගෞරවයක් ලෙස මම සලකමි.

එම ගෞරව නාම සම්මුතියෙන් පිදුම් ලැබීමට අතිගෞරවාර්භ අධිකරණ නායක ස්වාමීන් වහන්සේට ද හැකිවීම, තම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් ලෙස මම සලකමි.

අග්ගමහා පණ්ඩිත ගෞරව නාම සම්මුතියෙන් පිදුම් ලබන අතිගෞරවාර්හ නාපාන පේමසිරි අධිකරණ නායක ස්වාමීන් වහන්සේට , තම උදාර කටයුතු තව දුරටත් ඉටුකරගෙන යාමට අවශ්‍ය කායික හා චිත්ත ශක්තියත් , මානසික සුවයත්, චිරජීවනයත් තිසරණ සරණින් ලැබේවා ! යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

#############################

දීප්තිමත් සංඝ පීතෘන්වහන්සේ නමක්

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්න විද්‍යාසාගර පරිවේණාධීශ්වර රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි අභිධාන රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ස්ථවීරතුමන් වෙත මියන්මාර් රාජ්‍යයෙන් “අග්ග මහා පණ්ඩිත” ගෞරවොපාධිය ලැබීම පිළිබඳව අපේ අමන්දානන්දය මෙයින් ප්‍රකාශ කර සිටිමු.

මෙම අධිකරණ සංඝනායක ස්ථවීරතුමන් කන්ද උඩරට උසස් පෙළපතකින් පැවත ගෙන එන අතර දෛවෝප ගත සිද්ධියක් වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘන් ලෙස සැලකෙන වරාපිටියේ සිරි සුමිත්ත නායක ස්ථවිරතුමන්, නාරම්පනාවේ ඉන්දජෝත්‍යභිධාන නායක ස්ථවිරතුමන් මෙන්ම එකී සංඝ පරපුර ඔපවත් කරමින් විද්‍යාසාගර පිරිවෙණ වැනි විද්‍යාස්ථානයක් ආරම්භ කළ තෙලිපැහැ සිරි සීලවංශ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අයත් පරපුරෙහි දීප්තිමත් සංඝ පීතෘන් වහන්සේ නමක් වූහ. බාලවියේ සිටම ශ්‍යාම නිකායික භික්‍ෂූන් වහන්සේ සමඟ මනා සම්බන්ධතාවයකින් ජාතික ආගමික, අධ්‍යාපනික හා ශාස්ත්‍රීය වශයෙන් විපුල සේවාවක් සිදු කරමින් සිය ගණනක් තෛ‍්‍රනිකායික මහ සඟරුවන වෙත නිකාය භේදයකින් තොරව ශාස්ත්‍රාලෝකය ලබා දී ශාසනික වශයෙන් කරුණු ලබන කාර්යයන් පිළිබඳව අපේ බලවත් ප්‍රසාදයක් ඇත.

අසූ හයවන වියෙහි පසුවන එවැනි සුවිශේෂ සේවයක් සිදු කරන නාපාන පේමසිරි අභිධාන අධිකරණ සංඝ නායක ස්ථවිරයන් වහන්සේට “අග්ග මහා පණ්ඩිත” උපාධිය ලැබීම ඉදිරියට තම සේවාවන් විපුල ඵලදායී අන්දමින් සිදු කිරීමට උපස්ථම්භක වනු නොවනුමානය. රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි අභිධාන රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ස්ථවිරතුමන්ට ශ්‍රීමත් දළදා වහන්සේගේ රැකවරණින් දිගාසිරි ලැබේවායි ආශිංසනය කරම්හ.

#####################

බොදුනුවන්ට මහත් අභිමානයක්


මියන්මාර් රාජ්‍යයෙන් “අග්ගමහා පණ්ඩිත” ගෞරව උපාධියෙන් පිදුම් ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ වෙත මගේ උණුසුම් සුබාශිංසනය පළ කරමි. දශක හතක් ඉක්ම වූ උන්වහන්සේගේ පැවිදි දිවිය තුළ ඉටු කළ උතුම් වූ ශාසනික කාර්යභාරය ඇගයීමක් ලෙස පිදෙන මෙම උපහාරය ශ්‍රී ලාංකික බොදුනුවන්ට මහත් අභිමානයකි. උන්වහන්සේ මීට පෙර ද එනම්, 1952 දී පමණ බුරුම දේශයේ මහා සංඝ සභාවක් මඟින් පවත්වන ලද විනයාචාර්ය හා විනය විශාරද උපාධි ලැබූ බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ නමකි.

බොහෝ වියත් පැවිදි පඬිවරුන්ගේ ඇසුර හා ආභාෂය ලැබූ නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ පරිවේණාධිපතීන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි ශිෂ්‍යයන් දහස් ගණනාවකගේ ණැන නුවන පෑදීමේ ලා ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කර ඇති බව ප්‍රකට ය. උන්වහන්සේ වෙත පිදෙන “අග්ගමහා පණ්ඩිත” ගෞරව උපාධිය උන්වහන්සේගේ ඉදිරි ශාසනික මෙහෙවර පිණිස ශක්තියක් ම වේවා යි ද, උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සපිරි දීර්ඝායු අත්වේවායි ද මම නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

#####################

සුහදශීලීව කටයුතු කරන මහ පඬි රුවනක්

නාපාන පේමසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ වර්තමාන නිකායාන්තරික සම්බන්ධතාවයන් සුරක්ෂිත කර ගනිමින් තත් නිකායේ පමණක් නොව සියලු නිකායයන්හි මහාසංඝයා වහන්සේ සමඟ සුහදශීලිව කටයුතු කරන මහ පඬිරුවනක් ලෙස අප හඳුනාගෙන තිබේ.

සාමණේර අවදියේ පටන්ම යහපත් පරිසරයක හැදී වැඩුණු නාපාන පේමසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හැදුණු වැඩුණු පරිසරයෙන් මෙන්ම ස්වකීය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් ලැබුණු මගපෙන්වීමද නිසා ශාසනික ප්‍රතිපදාවන්හිද මනාව නිරතවී සංඝ සෝභන ගුණයන්ගෙන් යුතුව කටයුතු කළ අතර ඒ නිසාම උන්වහන්සේ වර්තමානයේදී තත් නිකායෙහි අධිකරණ සංඝ නායක පදවිය හොබවන තත්වයට සම්මානිත වී තිබේ.

පදවි තානාන්තර සමග බොහෝ දෙනෙකු තුළින් ගිලිහී යන නිහතමානිබව නිරහංකාරබව වැනි ගුණධර්ම උන්වහන්සේ තුළින් ගිලිහී නොගිය බව සුහදශීලීව උන්වහන්සේ ඇසුරු කළ නිසාම අපට වටහාගත හැකි විය. සුපටිපන්න, සාමිචීපටිපන්න සහ උජුපටිපන්න ආදි ගුණ වර්ධනය කරගනිමින් නිරතුරුවම කටයුතු කරන උන්වහන්සේ ගිහි පැවිදි සැමගේම ප්‍රසාදයට පත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.

කැටවල විද්‍යාලෝක මහ පිරිවෙණ ආරම්භ කොට වර්ෂ 10 ක් පමණ එහි පරිවෙනාධිපතීන් වහන්සේ වශයෙන් මෙහෙයක් ඉටුකළ උන්වහන්සේ හුරිකඩුව විද්‍යාසාගර මහ පරිවෙණ ආරම්භ කොට එහි ප්‍රගමනය උදෙසා අප්‍රමාණ කැපවීමක් වර්තමානයේදී සිදුකරන අතර ඒවා උන්වහන්සේගේ අධ්‍යාපනික සේවයට ප්‍රමාණවත් සාධකයන් වී පවතී.

ආචාර්යන් වහන්සේ නමක් ලෙසින් ස්වකීය ම¼ග අනුව ගමන් කරන ශිෂ්‍ය පිරිසක්ද සසුනට දායාද කර ඇති මෙම නාහිමිපාණන් වහන්සේ එම ශිෂ්‍ය භික්ෂූන් වහන්ස්ලාගෙන් සිදුවන සේවය දැක සතුටුවනුයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආචාර්යන් වහන්සේ හා ශිෂ්‍යයින් අතර පැවැතිය යුතු පිය පුතු සම්බන්ධතාවයටද අනුගතවමය. ශාසනික ගරු පදවි ලැබීමට සුදුසු ගුණයන්ගෙන් යුතු අප හිතෛෂී නාපාන පේමසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට බුරුම රජය මගින් ‘අග්ග මහා පණ්ඩිත’ උපාධිය ප්‍රදානය කොට තිබීම අප සැමගේ ප්‍රසාදයට හේතුවන අතර උන්වහන්සේට ශ්‍රීමත් දළදා වහන්සේගේ සහ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් චිරාත් කාලයක් ලෝකශසනාභිවෘද්ධියෙහි යෙදී කටයුතු සිදුකරන්නට ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

#####################

වගකීම කැපවීමෙන් ඉටු කරනවා

ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණනායක ධුරන්දර හූරිකඩුව විද්‍යාසාගර පිරිවන් විහාරාධිපති , විනය විශාරද විනයාචාර්ය , රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා ස්ථවිරපාදයන් වහන්සේට මියන්මාර් රජයෙන් “ අග්ගමහා පණ්ඩිත “ ගෞරවෝපාධිය ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මහ ස්ථවිරයන් වහන්සේ වශයෙන් මම අතිශය සන්තෝෂයට පත්වෙමි.

අපේ නාපාන අධිකරණනායක ස්ථවිරයන් වහන්සේ ධර්මධර ශික්ෂාකාමී ප්‍රතිපත්තිධර මහ තෙර නමකි. පාණ්ඩිත්‍යයෙන් හා විචක්ෂණතාවයෙන් අනූනය. ස්වනිකායික සංවර්ධනය සඳහා උන් වහන්සේ ක්‍රියා කරණ ආකාරය ප්‍රශංසනීයය. කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව සිය දිවියට සසුනෙහි ප්‍රගමනය සඳහා යොමු කොට ඇත. තමන් වෙත පැවැරෙන කවර තරමේ හෝ වගකීමක් අතිශය කැපවීමෙන් යුතුව ඉටු කරළීම මුන්වහන්සේගේ සුවිශේෂ වූ ලක්ෂණයකි. මුන් වහන්සේ 1957 මාතලේ සුමිත්‍ර සංඝ සභාවේ ලේඛක ධූරය බාර ගෙන ක්‍රියා කිරීමෙන් මෙම නිකායේ කටයුතු ආරම්භ කොට ඇත. 1980 මහනුවර ප්‍රාදේශික රාමඤ්ඤ නිකායික සංඝ සභාවේ සභාපති ධූරය ද 1986 එහි ලේඛක ධූරය ද දරමින් නිකායික සේවයද ආරම්භ කළහ. අද නිකායේ අධිකරණ නායක ධූරයේ කටයුතු මැනවින් සිදුකරමින් සිටිනා උන්වහන්සේ නිකායේ අධිකරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ මීට අවුරුදු 41 කට පෙරය. එනම් 1967 දීය. ඒ ජෙට්ඨානුවිජ්ජක ධූරයට පත්වෙමින් ය. ඉක්බිති උන් වහන්සේ උපරිමානුවිජ්ජක පදවියෙන්ද කටයුතු කළහ. උන් වහන්සේ බුරුම මහා සංඝ සභාවකින් පවත්වන ලද විනයාචාර්ය හා විනය විශාරද යන උපාධි දෙකද ලබා ගෙන ඇත. ඒ තුළින් ලද විනය ඥානය නිකායේ අධිකරණ කටයුතු වලට මෙන්ම දස වසරක සඤ්ඤා ලේඛකාධිකාරි ලෙස සංඝ කර්මවලදී ද මැනවින් භාවිතයට ගෙන ඇත. උන්වහන්සේ සහභාගි නොවු උපසම්පදා විනය කර්ම , සීමා බන්ධන , විනය කර්ම හා අධිකරණ විනිශ්චයන් ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. නිකායේ පාලක / කාරක / නිලධාරි තනතුරු දැරූ උන්වහන්සේ අද අධිකාරින්වහන්සේ නමක් වශයෙන් නිකාය පාලනයෙහි නිරතව සිටිති. උන්වහන්සේ සහභාගි නොවූ කාරක /පාලක /විශේෂාධිකාරි මණ්ඩල රැස්වීම් ඇත්නම් ඒ ඉතා අතලොස්සකි.

වැල්ලවත්ත ධර්මෝදය හා නිට්ටඹුව විද්‍යානන්ද යන පිරිවෙන් දෙකින් කුශාග්‍ර බුද්ධිමත් පඩිවරුන් ගෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රය උගත් මෙතුමෝ රාජකීය පණ්ඩිත උපාධියද සමත් වූහ. ඉන් ලද පාණ්ඩිත්‍ය භාවිතයට ගනිමින් පිරිවෙන් දෙකක ආධිපත්‍ය දරමින් ගිහි පැවිදි සිසුන් දහස් ගණනකගේ නුවණැස පාදා ගැනීමට මග පෙන්වූහ. ජාතික ආගමික ප්‍රශ්න වලදීද නිර්භයව අදහස් ප්‍රකාශ කරති. උන් වහන්සේ ලද මෙම සම්මානය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායටද මහත් ගෞරවයකි. අපේ නාපාන පේමසිරි මහා ස්ථවිරපාදයන් වහන්සේට චිර ජීවනය ඉක සිතින් ප්‍රාර්ථනා කරමි.

#####################

නිහඬ සේවාවක යෙදුණු මහ තෙරපාණෝ

සුපේශල ශික්ෂාකාමී දැන උගත් මහතෙර නමක් වශයෙන් අව්‍යාජවම හඳුන්වා දිය යුතු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්දර නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මියන්මාර් (බුරුමය) රජය සහ මහාසංඝ පාලක මණ්ඩලය විසින් ‘අග්ගමහා පණ්ඩිත’ යන උපාධියෙන් උපහාර දැක්වීම අපේ රටේ ගිහි පැවිදි දෙපක්ෂයටම දක්වන ලද ගෞරවයක් වශයෙන් පිළිගත යුතුව තිබේ.

උන්වහන්සේ නිතහමානි පිළිවෙත් ගරුක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හඳුන්වා දිය යුතු බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේ නමකි. අද ඊයේ සිට නොව සාමණේර සමයේ පටන් අපි දැනගෙන ඇති පරිදි ප්‍රතිපත්ති ගරුක මහ තෙරවරුන්ගේ් ඇසුරින් හැදුණු වැඩුණු නාපාන නාහිමිපාණන් ශාසනික කටයුතු පිළිබඳව ද මහා සංඝයා සහ බෞද්ධ ජනතාව අතර ද කැපී පෙනෙන විශිෂ්ඨතම සංඝ පිතෘන් වහන්සේ නමක් බවට පත්ව ඇත. ජාතික සහ සමාජ සේවා කටයුතු අංශයෙන් බැලුව ද උන් වහන්සේගෙන් සිදු වී ඇති සේවාව අගය කළ නොහැකි තරම්ය.

ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හසල දැනුමකින් පිරිපුන් මුන්වහන්සේ ශබ්ද ශාස්ත්‍රිය අංශයෙන්ද අඛණ්ඩ සේවාවක් හැට වසරකටත් වැඩි කාලයක් පුරා ඉටු කර තිබීම අමතක නොකළ හැකි සේවාවකි.

වැදගත් දැන උගත් ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කොට ඇති අපේ නාපාත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය තුළින් රටට දක්වා ඇති අනුග්‍රහය කිසිසේත්ම අමතක කළ නොහැක්කකි. මෙවන් අමිල ජාතික ආගමික අධ්‍යාපනික සේවාවක් ඉටු කළ මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන්වහන්සේට මියර්මාර් රට දක්වන ලද පූජෝපහාරය පිළිබඳව අප කාගේත් ගෞරවය එරටට හිමි වන අතරම, අභිනවයෙන් පිදුම් ලත් අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගි සම්පතින් යුතුව දිගු කලක් මේ උදාර ශාසනික සේවාව ඉටු කිරීමට ශක්තියත් බලවත් නොඅඩුව ලැබේවායි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.