Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කස්සප නා හිමි සමිඳ


උජුපටිපන්න සඟ ගුණයට සිත් පැහැදේ
බදු සදහම් සුවඳ ලොව සිවුදෙස විහිදේ
විතාරන්දෙණියෙ කස්සප නා සමිඳේ
හද බැති බරින් කිමිදෙමි ඔබෙ ගුණ මුහුදේ

මහ බිරිතනියෙ බර්මිං හැමි මහ වෙහෙර
අධිපති වෙමින් බොදු පිළිවෙත් අත් නොහැර
ඉටුකළ මෙහෙවරින් ලද කිතුරැස් දහර
හිමි සඳ සදිසි අන් කිසිවෙක් වෙද කවර

හුණුපිටියේ ගංගාරාමයෙන් එදා
ලබමින් පැවිදි බව ගිහිගෙයි රැහැන් මුදා
ඇදුරිඳු පදවි හිමි වී සිප් සතර බෙදා
හිමි ඉටුකළ මෙහෙය මතකයෙ රැඳෙයි සදා

අම්බෙඩ්කාර් බොදු ආයතනයෙන් ලද
ඇරයුම අනුව බර්මිං හැම් නුවර හිඳ
ලෙස්ටර් බොදු වෙහෙර අරඹා සිතැඟි ලෙද
සමිඳුන් කළ මෙහෙය කොතරම් වටිනවද

එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා
එහි සිට දියත සිවු දෙසටම බෙදූ පබා
ඉටුකළ උතුම් මෙහෙයට කිසි විටෙක නොබා
ඇත මහරැජිනියත් අද සිහිවටන තබා

රුහුණු සරසවියෙ මහෑදුරු පදවි ලද
මිදිගම දිනූ සෝරත හිමි සමඟ අද
පරහිතකාමි මෙහෙවර ඉටු කරන සඳ
පිබිදෙයි බැති කුසුම් බොදු හිස් මුදුන් මැද

වැඩ වෙසෙමින් මෙදා ‘බිරිතනි’ රජ දානේ
මහ රැජිණගෙන් ඕ.බී.ඊ සම්මා නේ
ලැබූ හිමි සඳුනි! නාමය රැකගෙන රූණේ
ඔබ හෙළ බිමට ගෙනදී ඇත අබිමානේ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.