Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුවන්නා අත්හළ යුතු වෙළෙඳාම්

බුද්ධ , ධම්ම , සංඝ යන තිසරණ සරණ යන පුද්ගලයා බෞද්ධ උපාසකයකු වේ .හෙතෙම ‘’නිති පන්සිල් අටසිල්” රැක පෝදා “ යන ප්‍රකාශයට අනුව නිත්‍ය පංච ශීලය හා පෝදිනට අටසිල් සමාදන්වීමෙන් තම උපාසකභාවය අලංකාර කර ගනියි. මේ බෞද්ධෝපාසකයා විසින් නොකළ යුතු වෙළෙඳාම් ධර්ම ග්‍රන්ථයෙහි අධම්ම වණිජ්ජා නාමයෙන් දක්වා ඇත.

අංගුත්තර නිකායේ පඤ්චිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණියා යනුවෙන් මහණෙනි උපාසකයා විසින් නොකළ යුතු වෙළඳාම් පහක් ඇති බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. ඒවා නම් - සත්‍ථ වණිජ්ජා සත්ව හිංසාව පිණිස හේතුවන කඩු තුවක්කු දුනු ඊතල කිරිච්චි අතංගු දැල්, කෙමන් ආදි ආයුධ වෙළෙඳාම , සත්ත වණිජ්ජා සත්ව වෙළඳාම හෙවත් තමන්ට අයත් මිනිසුන් වහල් මෙහෙවරට ගණිකා සේවයට විකිණීම , මංස වණිජ්ජා මස් වෙළඳාම හෙවත් මස් පිණිස එළු හරක් කුකුළු ඌරු ආදි සතුන් වෙළඳාම් කිරීම මජ්ජ වණිජ්ජා මත්ද්‍රව්‍ය වෙළඳාම හෙවත් රා අරක්කු විස්කි බ්‍රැන්ඩි අබින් කංසා ආදි මත් වන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම විස වණිජ්ජා විෂ වෙළඳාම හෙවත් පාෂාණම් ආදි වස විස වෙළඳාම යන වෙළඳාම් පහයි.

කූට වෙළඳාම ද අධර්ම වණිජ්ජාවට ඇතුළත් වූවකි. එය කොටස් තුනක් ලෙස දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ විග්‍රහ කෙරේ. තුලා කූට කංස කූට හා මාන කූට යනු එම තුනයි. එම කූට වෙළඳාම් පිළිබඳව විස්තර කෙරෙන මනෝරථපූරණී අටුවාව මෙසේ දක්වයි.

තත්‍ථ තුලාකූටං තාව , රූපකූටං අංගකූටං ගහණකූටං පටිච්ඡන්න කූටංති චතුබ්බිධං

එහි තුලා කූටය සතර වැදෑරුම්ය. තුලා යනු තරාදියයි. තරාදියෙන් කිරීමේදි කරන වංචා කිරීම් තුලා කුට නමින් විග්‍රහ කෙරේ.

මෙහි රූප කූටය නම් පෙනුමෙන් සමාන වු ලොකු කුඩා තරාදි දෙකක් තබා ගෙන අනුන්ගෙන් කිසිවක් මිලදී ගන්නාවිට ලොකු තරාදියෙන් කිරා ගැනීම හා අනුන්ට කිසිවක් දෙන විට කුඩා තරාදියෙන් කිරා දීමයි. නිෂ්පාදකයාගෙන් අඩු මිලකට ගැනීම හා පාරිභෝගිකයාට වැඩි මිලකට එකම ඒකක දීමට අතරමැදි වෙළෙන්දා මේ උපක්‍රමය යොදා ගනියි. බුද්ධකාලයේත් අද මෙන්ම ඇස් රවටන මිණුම් ක්‍රම කූට වෙළඳුන් උපයෝගී කරගත් බව මේ කරුණු වලින් පැහැදිලිවේ.

දෙවැනි වූ අංග කූ®ටය නම් අනුන්ගෙන් බඩුගන්නා විට පසුභාගයේ තරාදිය අතින් බර කොට මැඩ ගැනීම හා පාරිභෝගිකයාට බඩු දෙන විට තරාදියේ ඉදිරිපස අතින් මැඬ ගැනීමයි. එවිටද අතරමැදි කූට වෙළෙන්දාටම වාසි ඇතිවේ. නිෂ්පාදකයාගෙන් කි.ග්රෑම් 1 ක සහල් මිලදී ගන්නා බව හඟවමින් 1 1/2 ඬඨ ක් පමණ මිළදීගැනීමත් පාරිභෝගිකයාට 1ඬඨ ක සහල් දෙන බව පෙන්වමින් ග්රෑම් 750 ක සහල් දීමත් කිරීමට වෙළෙන්දා මේ උපක්‍රමය යොදාගනියි.

තුන්වැනි ගහණ කූට යනු නිෂ්පාදකයාගෙන් බඩු ගන්නා විට තරාදියේ රැහැන මුලින් අල්ලා ගැනීමයි. පාරිභෝගිකයාට බඩු දෙන විට එම රැහැනේ අගින් අල්ලා ගනියි. මෙම උපක්‍රමයෙන් ද අතරමැදියාට ම වාසි සැලසේ.

සිවුවැනි පටිච්ඡන්න කූටය නම් තරාදියේ බඩු හා පඩි දමන පියන හෙවත් තට්ටුව සිදුරු කර , ඇතුළත ලාකඩ පුරවා නිෂ්පාදකයාගෙන් බඩු ගන්නා විට ලාකඩ තට්ටුවට පඩි දමා කිරයි. පාරිභෝගිකයාට බඩු දෙන විට ලාකඩ පිරවූ තට්ටුවට බඩු දමා දෙයි. මේ ක්‍රමයෙන්ද අතරමැදි කූට වෙළෙන්දා විශාල ලාභයක් ලබා ගනියි. මාන කූටයද තුන් ආකාරයකින් විග්‍රහ කර ඇත. එම තුන් ආකාරය නම් පාදය භේද සිඛාභේද හා රජ්ජුභේද වශයෙනි. හෘදය භේදය නම් නැලි ලාස් ආදී දියර ද්‍රව්‍ය මනින ඒකකයන්හි සිදුරක් සාදා ගැනීමයි. ගිතෙල් තලතෙල් පොල් තෙල් පැණි ආදි ද්‍රව්‍ය නිෂ්පාදකයාගෙන් මිලට ගන්නා විට මැනීමේදී සිදුරු කළ නැළියට හිමින් වත්කළ මැනැවැ” යි කිය කියා නිෂ්පාදකයාට නොදැනෙන සේ බොහෝ ප්‍රමාණයක් මිලදී ගනියි. පාරිභෝගිකයාට දෙන විට ඇඟිල්ලෙන් නැළියේ සිදුර වසාගෙන වහා මැන දෙයි.

සිඛා භේද යනු මුදුන කපා දීමයි. තල, මුං , සහල් ආදි ද්‍රව්‍ය නැළියක් හෝ යම් මිණුම් ඒකකයකින් මැණීමේදි නිෂ්පාදකයාගෙන් ගන්නා විට කොත ගසා මනාව පුරවා ගනියි. පාරිභෝගිකයාට දෙන විට මුදුන කපා සම කර, එම ද්‍රව්‍ය මනිනු ලබයි.

රජ්ජු භේද නම් රැහැන් දම්වැල් මීටර් කෝදු ආදියෙන් මැනීමේදී කරන වංචාවයි. කෙත් වතු රෙදි පෙරෙදි ආදිය මැනීමේදී අල්ලස් නොලැබේ නම් මහත්වූ කෙත්වතු රැහැන් හකුළා නොමහත් කොට මනියි. ඉතා කුඩා වූ කෙත් වතු ආදිය මැනීමේදි අල්ලස් ලබා විශාල කොට මැන දක්වයි. රෙදි පෙරෙදි ආදිය ද මෙසේම වංචා කෙරෙයි. මෙය රජ්ජුභේද වංචා නම්වේ.

කංස යනු රන් තලියයි. ඉන් කරන වංචාව කංස කූටයයි. සැබෑ එක රන් තලියක් ගෙන, සෙසු බොහෝ වෙනත් තලි රැසක් රන් ගා සාදාගෙන ගෙයින් ගෙට ගොස් “ රන් බඳුන් මිලදී ගන්න” යැයි පවසමින් සැබෑ රන් තලිය ගලක ගටා පෙන්වා සැබෑ රන් බව දක්වා බාල රන්තලි විකිණීම කංස කූටයයි. පාරිභෝගිකයාට අනර්ඝතම නිෂ්පාදන පෙන්වා, එහි සැබෑ මිලට ම බාල නිෂ්පාදන විකුණන ගෙන් ගෙට යන වෙළඳුන් සිදුකරනුයේ මේ කංස කූට උපක්‍රමයයි. පාරිභෝගිකයාට පෙන්වන භාණ්ඩය නොදෙන ඔවුහු බාල භාණ්ඩ ද “ හැම එකම එක සමානය”යි පවසා මුදල් ගෙන වහා පලායති.දියුණුවනු කැමති නම් මෙම උපක්‍රමයන්ගෙන් තොරව වෙළඳාම් කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. පාරිභෝගිකයා රවටා ලබා ගන්නා මුදලින් පොහොසත් වීම තාවකාලිකය. එම ධනය රෝග ව්‍යසනාදියෙන් විනාශයට පත්වේ. නුවණැත්තෝ මෙම කූට වෙළඳාම් අත්හැර සාධාරණ වෙළඳාමකින් ටිකෙන් ටික දියුණුවේ. ක්‍රම ක්‍රමයෙන් දියුණු වේ. ඔහුගේ ධනය ස්ථාවරය. විනාශ නොවේ.

නුවණැති ඔබත් කූට වෙළඳාම අත්හැර යහපත් සාධාරණ වෙළෙන්දෙකු ලෙස දිවිගමන සාර්ථක කර ගන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.