Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත - ගත නිරෝගී බවෙන් දිගු දිවියක්

නාරාවිල පැට්රික්

ඉතිහාසය දෙස යන්තමින් හෝ අවංක ලෙස සියුම් බැල්මක් හෙළුවොත්, ප්‍රශ්න වලට මෙතෙක් මුහුණ පාන්නට සිදු වූයේ හෝ සිදු වන්නේ හෝ අපට පමණක් නොවන බව පෙනෙනු ඇත. එහි කිසිදු මවිතයට කරුණක් නැත. සමස්ත විශ්ව ක්‍රියාකාරිත්වය ම අවුල් ජාලයකි. එයින් එක්තරා සුළු අංශුවක්. අපේ තරමට අනුව අපට බල පෑ විට අපට එය බරපතළ ලෙස දැනෙන බව පෙනේ. සැබවින් ම සොබාදහමේ ලක්ෂණය එය යි. විශ්ව න්‍යාය එය යි. එහිලා සැලෙන්නට දෙයක් නැත. ඇත්තේ තේරුම් ගැනීම පමණි.
අනෙක් අතට අපට මෙසේද සිතෙන්නට පිළිවන. සොබාදහම හෝ විශ්ව ශක්තිය ක්‍රියා කරන්නේ අපට වුවමනා හැටියට නොවේ. එයට, එයට ම අදාළ කාල සටහනක් ඇත. ඒ අතර අපට මෙසේද සිතෙන්නට හැකි ය. එනම් අපි එක එකෙක් විශ්ව ශක්තියෙන් ක්ෂුද්‍ර අංශුවක් වෙමු.

ඒ අංශුව පවා විශ්ව ශක්ති මූලයකි. එබැවින් මිනිසාට ද විශ්ව ශක්තියෙන් තමාට හිමි අනුපාතයට අනුව කළ හැකි කර්ම කොට්ඨාසයක් ඇත.

එමගින් තමා සතු විශ්ව ශක්ති සංචිතයෙන් තමා පාලනය කර ගැනීමේ ශක්‍යතාවක් මිනිසා සතු යැ යි පිළිගත හැකි ය. මිනිසා තුළ එකතු වී ඇති විශ්ව ශක්තියෙන් ඔහු කෙතරම් විස්කම් පා තිබේ දැ යි අපි මොහොතකට සිතමු. එය කවර සැටියකින් වත් අර්ථකථනය කර අවසන් කළ හැක්කේ නොවේ.
ජීව විද්‍යානුකූල දත්තයනට අනුව මිනිසකුගේ ආරම්භය ශුක්‍රාණුවක්, යුක්තාණුගත වීම හෙවත් ප්‍රතිසන්ධිය යි. දස මසක් පුරා මවු කුසක් තුළ දරුවකු බවට පත් වන යුක්තාණුව මෙලොව එළිය නොදකින තුරු කවර නම් අකරතැබ්බ වලට මුහුණ පානු ඇද්ද? යුක්තාණුවේ ආරෝග්‍යයෙහි හෙවත් ස්වාස්ථ්‍යයෙහි අසාඵල්‍යය හේතුවින් නිෂ්ක්‍රියත්වයට පත් වන යුක්තාණු කෝටි ගණනින් ගණනය කළ හැකි නොවේ ද? ඒ අතර දිනපතා ලොව පුරා කොපමණක් ගබ්සාවෝ කරනු ලබත්ද? මෙසේත්, තවත් මෙවන් දහසකුත් එකක් අකරතැබ්බ හේතුවින් උපදින්නට සිටින දරුවෝ කොපමණක් දිවි නොලබත් ද? ඒ එසේ තිබිය දී උපන් දරුවනට පවා ඔවුන්ගේ ජීවිත අහිමි කරන්නට සොබාදහමත්, ඳඬසුනුත් විසින් ම කෙතරම් මර උගුල් අටවා තිබේ ද? මේ සියල්ලෙන් කියවෙන්නේ පාණාතිපාතා අකුසලය සිදු කැරෙන එක් පියවරක් පමණි. “දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” යි දහමෙහි පැහැදිලිව දැක්වෙයි. මෙහි සඳහන් මිනිසත් බව ද දෙහැටියකින් විවරණය කළ හැකි ය.
එනම්, නාමාත්මක හා ගුණාත්මක විසිනි. නාමාත්මක මිනිසත් බව පවා ලබා ගැනීම කෙතරම් අහඹුවක් දැ යි ඉහත දැක්වුණු විවරණ වලින් වැටහෙනු ඇත. ඇත්තටම එය එතරම් අහඹුවක් නම්, ගුණාත්මක බව කෙතරම් අහඹුවක් දැ යි සිතා ගැනීම අපහසු නැත. ගුණාත්මක මිනිසත් බවෙහි උපරිම තත්ත්වය බුද්ධත්වය වෙති යි කියතොත් එය පිළිගැනීම හෝ නොපිළිගැනීම පාඨකයා වෙත පැවරේ.‘ජීවී’ යන්නට ‘ජීවත් වන්නා’ යි අර්ථ දැක්විය හැකි ය. ‘ප්‍රාණ’

යන්නට ජීවිතය, ආශ්වාස ප්‍රශ්වාසය, ජීවියා ආදි අරුත් දක්වා තිබේ. මේ අරුත් ගැන්වීම අනුව ජීවියා යනු පණ ඇත්තා ය. අප පණ කෙන්ද රැක ගන්නට නොදරන තැතක් නැත. ‘පණ එපා’ යි දුවන්නේත් පණ රැක ගන්නට ය. එනම් ජීවත් වන්නට ය. පණට ආදරේ නම් අඩියක් තියන්නට එපා යි
කෙනකු අපට කීවොත්, ඒ ටිකට අප තුළ බියක් සංඥා කැරේ. ගබ්සාවක් කරන්නට උපක්‍රම යොදන විට තුන් හාර මසක් වියැති භ්‍රෑණයා පවා මවුකුස තුළ කෙතරම් බියකින් පලා යන්නට තැත් දරන්නේ දැයි අද අපට දකින්නට පුළුවන. එයින් පෙනෙන්නේ අප කෙතරම් පණට බියද, පණට ආදරේද යන්නයි. පලා ගොස් පණ බේරා ගන්නට යා ගත හැකි තැනක් නැතත්, මැරී වැටෙන තෙක් වුවද පලා යන බව යි.
ගැන දහමෙහි කෙතරම් අගේට දක්වා තිබේ දැයි විමසා බලතොත් මැනවි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයේ
ධම්මපද - දණ්ඩවග්ග ය

සියල්ලෝ දඬුවමට බිය වෙත්, සියල්ලෝ මරණයට බිය වෙත්, එබැවින් තමන් උපමාවට ගෙන අනුන් නොපෙළනු මැනවි, අනුන් නොමරනු මැනවි. මෙනයින් සලකා බලන විට පණ, මරණය ආදිය සම්බන්ධයෙන් මිනිසාගේ සිත ක්‍රියා කරන ආකාරය පැහැදිලි ය. මෙතෙක් සඳහන් කළ නොයෙක් සාධක වලින් පෙනී යන ‘මරණං නියතං- ජීවිතං අනියතං’ හෙවත් මරණය නියතය. ජීවිතය අනියතය’ යනුවෙන් කියැවෙන මරණය නියත බව සිද්ධාන්තයක් වුවත්, කිසිවකු මැරෙන්නට නොකැමැති වීම ද නියතයක් සේ ප්‍රබල බව ය. මැරෙන්නට නොකැමති වීම යන්නෙන් ගම්‍ය වන විකල්ප අරුත නම්, ආයු වළඳන්නට කැමැති ය, බොහෝ කල් ජීවත් වන්නට කැමැති ය යනු යි. ආයුර්වේදය නමැති වෛද්‍ය ක්‍රමය හැඳින්වෙන නමෙහි තේරුම ආයුෂ විඳීම යනු යි.

ඒ නමින් ම පැහැදිලි වන්නේ ලෙඩ රෝගත් ආයුෂත් අතර පවතින අනන්‍ය බද්ධතාව යි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩරෝග වලින් වලකින්නට හැකි නම්, දීර්ඝායුෂ වැළඳීම යථාර්ථයක් වන බව පැහැදිලි ය. පෙරදිග වෙද ඉසිවරුන් එවන් නමක් යොදා ගෙන ඇත්තේ කෙතරම් අර්ථ සම්පන්නව ද යනු එයින් ගම්‍ය යි. ඕනෑ ම වෛද්‍ය ක්‍රමයක් තුළ එකී අර්ථ සම්පන්න භාවය වලංගු වන බව පිළිගැනීම සුදුසු නොවන්නේ නොවේ.
හැකිතාක් කල් ජීවත් වන්නට අදිටන් කර ගැනීම හුදෙක් අදිටන් කිරීමකට පමණක් සීමා කිරීම ප්‍රමාණවත් නොවේ. එය දර්ශනයක් වන අතර චරණයක් ද විය යුතු ය.
මෙතෙක් ලොව බිහි වූ මානව හිතවාදි බුද්ධිමත් මිනිසුන් විසින් ඒ සඳහා මංපෙත් හඳුන්වා දී ඇත. ඒ මංපෙත් හඳුනා ගත්තාහු බොහෝ කල් ජීවත් වූහ. මිනිස් වර්ගයාට සෙත සැලසූහ. තමනටත් සෙත සලසා ගත්හ.
වැඩි කලක් ජීවත්වෙමින් වැඩි ආයු වළඳන්නාහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත වූවෝ ය. මෙයට අප කායික හා මානසික යන දෙපසින් ම යහපත් වූවන් විය යුතු ය. විකෘති මානසික තත්ත්වය විකෘති කායික තත්ත්වයටත්, විකෘති කායික තත්ත්වය විකෘති මානසික තත්ත්වයටත් බලපෑ හැකි ය. කායික රෝගයක් නිසා හෝ මානසික රෝගයක් නිසා ඇති වන කායික හෝ මානසික පීඩාව රෝගියාට දරාගත හැක්කේ එක්තරා සීමාවක් තුළ පමණි. ඇතැම් විට කායික හෝ මානසික පීඩාව දරාගත නොහැකි වීමෙන් කෙනකු සිය පණ හානි කර ගන්නට පුළුවන.
සැබවින් ම එය දුක විසින් පොළඹවනු ලබන එක්තරා ස්වභාවයකි. උහුලා ගත නොහැකි තරම් දුකක් සීමාව ඉක්මවා උග්‍ර වූ විට, එහිලා නිවීම පිණිස ඒ දුක විඳින්නට හේතුව වන ප්‍රාණීය තත්ත්වය නැති කර ගන්නට පෙළඹෙන්නට පුළුවන. එසේ කර ගත් අපමණක් මිනිසුන් ගැන අපි දනිමු. බුදුන් වහන්සේ පවා මිනිසකු වශයෙන් මරණ දුක දරා ගන්නට දැරූ වෙහෙස කෙබඳු දැයි මහා පරිනිබ්බාන සූත්‍රයෙන් දැක බලා ගනු හැකි ය.

එක් අතකින් බැලුවොත්, මරණය යනු ප්‍රාණිය තත්ත්වයෙන් තොර වීම යි.

යම් විටක අප වෙත ඇති රෝගි තත්ත්වය උග්‍ර වන අනුපාතයට අපේ මරණය ද ආසන්න වනු ඇත.එබැවින් අප විසින් සිතට ගත යුත්තක් මෙසේ සටහන් කළ හැකි ය. එනම්, මරණය හැකි තාක් කල් දමා ගන්නට නම්, රෝගී නොවන්නට වග බලා ගනිමු යනු යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.