Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනාත්මවාදය කුමක් සඳහා ද ?

බෝකුන්දර කුසලධම්ම හිමි

බුද්ධ කාලීන සමාජයේ ඊසාන දිග ඉන්දියාවේ පැවැති විවිධ දාර්ශනික මත අනුව විවිධ මාර්ග ගවේෂණය කළ ආගමික කණ්ඩායම් බොහොමයක් සිටි බව, බ්‍රහමජාල සූත්‍රයේ දැක්වේ. ලෝකයේ අග මුල සෙවීම ලෝකය සදාකාලිකද ? නැද්ද? ලෝකයේ අන්තයක් තිබේද ? මරණයෙන් පසු ජීවිතයක් වේද? නොවේද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම, මේ කණ්ඩායම් වල අරමුණ වී තිබිණි.

මෙ වැනි මත වාද දැරූ කණ්ඩායම් අතර - ශාස්වතවාදී දෘෂ්ටි වැළඳ ගත් කණ්ඩායම් පනස් පහක සහ උච්ඡේදවාදී කණ්ඩායම් හතක් වූහ. ඒ අනුව එදා පැවැති සියලුම ආත්මවාද කොටස් තුනකට සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

1. ආත්මය ස්වභාවයෙන්ම නිත්‍යය .එය ආකාශය මෙන් සියලු තැනම පැතිර පවතී. ඒ ආත්මය , කර්මය අනුව සැප - දුක් විඳියි. ආත්මය නිත්‍ය නමුත් එය සත්වයන් අනුව හා සිරුර අනුව වෙනස් වෙයි.

3. ආත්මය නිත්‍යය. එය ඉතාම සියුම්ය. කය පිළිබඳ සිය කාර්ය ඒ ආත්මය හා සම්බන්ධය .

මෙම සංකල්ප අනුව තවත් ආකාරයකට ආත්ම ග්‍රහය තෙවැදෑරුම් වශයෙන් දැක්වේ. 1. ආත්මය ස්කන්ධයන්ගෙන් වෙන් නොවේ. 2. ආත්මය ස්කන්ධයන් ගෙන් වෙන්වේ. 3. ආත්මය ස්කන්ධයන්ගෙන් වෙන් නොවන්නක්ද , වෙන් වන්නක්ද නොවේ. (මෙය අමරාවික්‍ෂෙප වාදයකි)

එදත් අදත් මේ සෑම ආත්ම ග්‍රාහයක්ම

බොහෝ දෙනා තුළ මුල් බැස ගෙන ඇති ආකාරය දෙස බලන විට “ සහජ කල්පිත” වශයෙන් එය දෙවැදෑරුමිය.

දීර්ඝ කාලයක පටන් සසර සැරිසරන්නේ එකම ආත්මයක්ය යන මිථ්‍යා විශ්වාසය නිසා, හේතු ප්‍රත්‍යයක් ගැන කිසිම සැලකිල්ලක් නොමැතිව උත්පත්තියේ පටන්ම මුල් බැසගත් ආත්ම ග්‍රාහය ලෙහෙසියෙන් සිඳ දැමිය හැකි දෙයක් නොවේ. ඇතැම් විට අනාත්මවාදියාගේ කීම තාවකාලිකව ) පිළිගන්නා නමුත් ‘ආත්මයක් නැත’ යන විශ්වාසය ඔවුන් තුළ තහවුරු නොවේ. මෙය සනාථ කළ හැකි අවස්ථා කිහිපයක් ගැන සූත්‍ර පිටකයෙහි සඳහන් වේ.

දම්සන් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පස්වග තවුසන්ගෙන් සිවු දෙනෙකුට සත්‍ය අවබෝධ කරවිමට නො හැකි වුයේ, ඔවුන් ආත්ම දෘෂ්ටිය දැඩිකොට ග්‍රහණය කර ගෙන සිටි හෙයිනි. පසුව පස්වග තවුසන්ගේ ආත්ම දෘෂ්ටිය ඛණ්ඩනය කර සත්‍ය අවබෝධ කරවීමට බුදුරජාණන් වහන්සේට අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කිරීමට සිදුවිය. එසේම එකල මහා ප්‍රාඥයකු වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ශ්‍රද්ධාවකින් යුක්තව සිටි පොට්ඨපාදට බොහෝ වේලාවක් තිස්ටස් සංඥාව නිරෝධ කර ගන්නා ආකාරය දේශනා කළ නමුත්, ඔහු ආත්ම දෘෂ්ඨියෙන් යුතුව ශ්‍රවණය කිරීමේ හේතුවෙන් එය වටහා ගැනීමට නො හැකි විය. එහෙත් ඔහු බුදුරජාණන් වහන්සේ ගේ් උපාසකයකු බවට පත්විය. පොට්ඨපාද සමග පැමිණි ඔහුගේ අතවැසි තෙමේ එම් සාකච්ඡාව ඇසීමෙන් සෝවාන් ඵලයට පත් විය. කිසියම් දෘෂ්ටියක් වැළඳ ගැනීම සත්‍යාවබෝධයට බාධාවක් බව, මෙයින් වටහා ගැනීමට හැකිය.

වත්මන් බෞද්ධ ජන සමාජයේ බොහෝ දෙනා මළවුන් පිදීම හා නොයෙක් දේ ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය කර්ම ද කරනු ලබන්නේ ආත්මය කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙනය. මෙ වැනි පින්කම් වල යෙදෙන්නේ සම්‍යක් දෘෂ්ටියක් නොමැතිකම නිසාය. ආර්ය මාර්ගය සම්මා දිට්ඨීයෙන් ආරම්භ කර ඇත්තේ, ශ්‍රාවකයා පළමුකොට ආත්ම දෘෂ්ටියෙන් ගලවා ගැනීම පිණිසය.

සසර ඉපදීම නමැති ඵලය “ දුඞඛ ආර්ය සත්‍යය වශයෙන් හඳුන්වනු ලැබේ. එහි ප්‍රභවය දෙවන ආර්ය සත්‍යය “ දුකට හේතුව “ වශයෙන් නම් කර තිබේ. බුදු දහම තණ්හාව වශයෙන් හඳුන්වා ඇත්තේ මෙයයි. සත්වයා තුළ ඇති වී තිබෙන ජීවිත්වීමේ ආශාව නිසා මෙය ‘තණ්හා’ නාමයෙන් හඳුන්වා ඇත. සෑම සත්වයකුම (මිනිසා ඇතුළුව ) පළමුවෙන් ආශා කරන්නේ ජීවත් වීමටයි. අප ලොකු මිනිසුන් යැයි සිතාගෙන සිටියත් , සෑම සත්වයකු තුළම ඇති මූලික තිරිසන් ගති අප තුළ ද නැත්තේ නොවේ. සියලු සත්වයන්ට අවශ්‍ය ආහාරය, නිද්‍රාව, භය, මෛථූනය යන පොදු ධර්මතා මිනිසා තුළ ද ඇත. මෙම අවශ්‍යතා සපුරා ගැනීමේ දී මුහුණ පාන්නට සිදුවන සියලු දේ දුක් සහිත වුවත්, ඒවා දුක් වශයෙන් ඔහුට අවබෝධ නොවේ. දුක පිළිබඳ අවබෝධය ලබා දී නිර්වාණගාමී ප්‍රතිපදාව මිනිසා ඈඳා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇත්තේ, දුක සැපක් වශයෙන් ගෙන කටයුතු කිරීම නිසාය.

පුද්ගලයා තුළ තිබෙන “මම” නමැති හිස් සිතිවිල්ල තිබෙන තෙක් ආත්මීය හැඟීම වෙනස් කළ නොහැකිය. මම යන හැඟීම ඇති සෑම පුද්ගලයෙකු තුළම සදාකාලික ආත්ම හැඟීම තිබේ. අවිද්‍යා යන ගැඹුරු අරුතක් ඇති වචනයෙන් ගම්‍ය වන්නේ මමත්වයයි. ආත්මය නමැති නොවෙනස් වන පදාර්ථයක් ඇතැයි යන දෘෂ්ටිය දැඩි ලෙස වැළඳගත් සච්චක බුදුරජාණන් වහන්සේ සමග වාදාභිමුඛ වූයේ , අනිත්‍ය, දුක්ඛ , අනාත්ම

ත්‍රිලක්ෂණය පදනම් කොටගත් ඉගැන්වීමකින් බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් හික්මවන බව අස්සජී රහතන් වහන්සේගෙන් අසා දැනගත් පසුව ය.

ලිච්ඡවි රාජ කුමාරවරුන්ගේ ගුරුවරයා වූ සච්චක වාදයට සමත් වූවෙකි. එදා විශාලාවේ මහා ප්‍රසිද්ධියට පත් ප්‍රාඥයකු ලෙස සච්චක හැඳින්විණි. ඔහු බුදුරජාණන් වහන්සේ සමඟ කරන ලද වාදය ආත්ම දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ඨියක් බව වටහා ගැනීමට කදිම උදාහරණයකි.

සච්චක භවත් ගෞතමයන් වහන්ස - ඔබ වහන්සේ කවර අනුශාසනාවකින් ශ්‍රාවකයන් හික්මවන්නේ ද? බුදුන් වහන්සේ මම ශ්‍රාවකයන්ට රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ අනිත්‍යයි, අනාත්ම යැයි දේශනා කරමි. සච්චක භවත් ගෞතමයිනි, එය එසේ නොවේ යැයි මට උපමාවකින් දැකිවිය හැකි ය. පොළොවෙහි පිහිටා පොළොවෙහි හටගන්නා පැලෑටියක්, වැඩීම, විශාල වීම, ඵල දැරීම, එම පැලෑටියට වුවමනා ආකාරයට සිදුවන අතර, රූපය ආත්ම කොටගත් පුද්ගලයා තම ආත්ම යැ යි ගත් රූපයෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි. එසේ ම වේදනාව, සංඥාව , සංඛාර, විඤ්ඤාන යන මේවා ආත්ම කොට ඇති නම් පුද්ගලයා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, යන මේවායෙහි පිහිටා පින් පව් රැස් කරයි. එසේ නම් එය අනිත්‍ය වන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ - රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඤ්ඤාණ ආත්ම යැ යි ඔබ කියන්නෙහි ද? සච්චක එසේ ය. භවත් ගෞතමයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ - මේ රට කාගේද? සච්චක භවත් ගෞතමයන් වහන්ස මේ රට ලිච්ඡවීන්ගේ ය. බුදුන් වහන්සේ මේ රටෙහි තමන් කැමැති දෙයක් ලිච්ඡවීන්ට කළ හැකිද? ඒ කුමක් නිසාද? සච්චක එසේ ය. එසේ කළ හැක්කේ රට ලිච්ඡවීන් සතු නිසා ය. බුදුන් වහන්සේ, මේ රට ලිච්ඡවීන් සතු නිසා, ලිච්ඡවීන්ට මනාප දෙයක් මේ රටේ කළ හැකි නම්, ඔබේ ආත්ම යැයි පවසන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේවායින් සමන්විත

ඔබේ ශරීරය, ඔබට මනාප ආකාරයට පවත්වා ගත හැකිද? සච්චක භවත් ගෞතමයන් වහන්ස එසේ කළ නොහැකි ය. බුදුන් වහන්සේ එසේ නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නිත්‍ය ද? සච්චක නැත භවත් ගෞතමයන් වහන්ස, බුදුන් වහන්සේ අනිත්‍ය වූ සියලු දේ ආත්ම ද, අනාත්ම ද? සච්චක අනාත්ම යි. මෙම වාදයෙන් සච්චක අන්ත පරාජයකට පත් වූ නමුත්, ඔහු තුළ තිබු ආත්මය පිළිබඳ විශ්වාසය අත හැර නොමැති බවට සාක්ෂියකි. ඔහු බුදුරජාණන් යවහන්සේගේ උපාසකයකුª බවට පත් නොවීම.

තථාගතයන් වහන්සේ විසින් ලොවට අනාවරණයකරන ලද න්‍යාය ධර්මය අනුව, වෙනස් නොවන සදාකාලික කිසිවක් පැවැතිය නො හැකිය. ලෝකයෙහි සෑම ධර්මයක්ම හේතු ප්‍රත්‍යයෙන් හට ගනියි. ඒ ධර්ම හට ගැනීමට මූලික වන හේතූ®න් ද වෙනත් හේතුවල ඵලයකි. ඒ අනුව හේතුව වශයෙන් ගැනෙන ධර්මය ද තාවකාලික ය. එය නැති වූ පසු එයින් නිපන් ඵලය ද අනෙකකට හේතු වී නැති වී යයි. මේ න්‍යායට යටත් නොවන ධර්මයක් ඇත්නම්, එය ‘ආත්ම’ වශයෙන් සැළකිය හැකිය. එහෙත් එබන්ධක් දැක්විය හැකි ආත්මවාදියෙක් මේ ලෝකයේ නැත.

බොහෝ බමුණන් හා ඇතැම් භික්ෂූන් පවා ‘ආත්මය’ හා සසර ගමන ගැන නොයෙක් දෘෂ්ටි දරා ඇති බව සූත්‍රගත කරුණු තුළ දක්නට තිබේ. ‘සැම දා පවතින ඉර හඳ’ ‘මහමෙර ආදිය මෙන් සත්ත්වයා නොනැසී පවතී යන දෘෂ්ටිය පතුරුවා හරින ලද්දේ මන්ද ප්‍රාඥ තීර්ථකයෝ භාවනාවෙන් ධ්‍යාන උපදවාගෙන අතීත ජීවිත පැවතුණු අයුරු පූර්වේනිසානුස්මෘති නුවණින් දැක ජාති ලක්ෂ ගණන් සිහි කර අන් අයට ඒ පිළිබඳ ඔවුන් ඇති කරගත් දෘෂ්ටිය ඉගැන්වීමෙනි. ආත්මයෙන් ආත්මයට සැරිසරන හෙයින් බොහෝ පින්කම් කිරීමෙන් මතු ආත්ම වලදී හොඳින් සැප සම්පත් විඳීමට හැකි නිසා භව ආශාව නිසා පවෙන් වැළකී දාන, ශීල, භාවනා ආදී කටයුතු වල ඔවුහු යෙදුණහ. මෙකල ද ආත්මයක් ඇතැයි පිළිගනු ලබන බොහෝ අය දාන, ශීල, භාවනා කටයුතු වල යෙදෙන්නේ කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ කම්මවට්ටය පිළිබඳ අවබෝධය නොමැතිකම නිසාය.

‘ආත්මයක් ඇත’ යන දෘෂ්ටිය ඛණ්ඩනය කිරීමට බුදුරජාණන් වහන්සේ ආනාත්ම දෘෂ්ටිය හඳුන්වා දුන්හ කළහ. බුදුරජාණන් වහන්සේ අනාත්ම වාදයක් දේශනා කළේ ඇත - නැත යන අන්ත ද්වයෙන් බැහැරව ආත්ම දෘෂ්ටියේ හිස් බව වටහා දීමට ය.

ආත්මයක් නැත යනුවෙන් වදාළේ නම්, උච්ඡේදවාදයටත්, ආත්මයක් ඇතැයි වදාළේ නම්, ශාස්වතවාදයටත් හසු වන බැවිනි. ආත්ම දෘෂ්ටිය මෙන්ම අනාත්ම දෘෂ්ටිය ද - දෘෂ්ටි මාත්‍රයක් වශයෙන් සලකා, බැහැර කළ යුතුය. බුදුරජාණන් වහන්සේ මුළු ධර්ම ස්කන්ධයම දේශනා කළේ සම්මුතියේ නාමයෙන්, දෘෂ්ටි වශයෙනි. ඒනිසා ,ආත්ම දෘෂ්ටිය මෙන්ම අනාත්ම දෘෂ්ටිය ද මිථ්‍යා දෘෂ්ටිය මෙන්ම සම්‍යක් දෘෂ්ටිය ද අවසානයේ දී ප්‍රහීණ කළ යුතුය. ‘කුල්ලුපමං වො ධම්මං දෙසිස්සාමි, නිත්තරණත්තාය න ගහනත්තාය (මහණෙනි, තොපට මම පහුරකට උපමා කොට ධර්මය දෙසන්නෙමි. එය එතෙරවීම පිණිස මිස , ග්‍රහණය පිණිස නොවේ යැයි දේශනා කළේ, එහෙයිනි.

පිරිසුදු ගැඹුරු ඤාණ දර්ශනය (සම්මා ඤාණ) පහළ වීමෙන් සියලු දෘෂ්ටි ප්‍රහීන වෙයි. ධර්මයෙහි සඳහන් ඤාණ දර්ශනය අතීන්ද්‍රිය වශයෙන් නිකෙලෙස් සිතෙහි පහළ වන්නකි. ආර්යය මාර්ගයට පිළිපන් පුද්ගලයා විසින් කරගත යුත්තේ දෘෂ්ටි පටලයෙන් මිදී ඤාණ දර්ශනය පහළ කර ගැනීමයි. ඉන්ද්‍රිය බද්ධ බුද්ධිය හේතුකොට ගෙන සම්මුති සමාරෝපණයෙන් අප කරන කියන කටයුතු වලදී විකල්ප චරණය නිතැතින්ම ඇතිවේ එක් දෙයක් අත හරිනු ලබන්නේ වෙනත් දෙයක් අල්ලා ගෙනය. මේ නිසා දුක - සැප, නිත්‍ය - අනිත්‍ය, ලස්සන - අවලස්සන, ශුභ - අශුභ, ශාස්වත - උච්ඡේද ආත්ම - අනාත්ම වශයෙන් විකල්ප නිපදවනු ලැබේ. මෙයට මූලික හේතුව ‘මම’ අධිපති කොට ගෙන කටයුතු කිරීමයි. ‘මම’ මගෙන් අතහැර ගැනීමට නම් ද්වන්ද චරණයෙන් මිදිය යුතුය. ද්වන්ද චරණයේ නිමග්ග වන තාක් කල් පුද්ගලයාට විමුක්තියක් ලබා ගැනීමට නො හැකි ය.

විමුක්තිය ලබා ගත් බුද්ධා දී ආර්යය උත්තමයින්, ලාභෝ - අලාභො, අයසෝ - යසෝච, නින්දා - ප්‍රශාසච, සුඛංච - දුක්ඛං නමැති අටලෝ දහමේ ස්පර්ෂය ලැබුව ද එයින් අකම්පිතව ජීවත් වන්නේ, මමත්වයෙන් මිදුණු හෙයිනි . මමත්වයෙන් මිදුණු පුද්ගලයා දුක හා සැප වැළඳ නොගන්නේ නම්, අතීත කර්ම විපාක විඳීමට පුද්ගලයෙක්ද නැත.

අවිද්‍යාව නිසා ආත්ම වශයෙන් ගෙන ඇති පංචස්කන්ධය, ප්‍රතීත්‍ය සමුත්පාද දේශනාව අනුව විභාග කොට බැලීමේදී, අනාත්ම වාදය කුමක් දැයි තේරුම් ගැනීමට අපහසුවක් නැත. මෙය ඇති කළ එය වෙයි.

(ඉමස්මිං සති ඉදං හොති) මෙය ඉපදීමෙන්, එය උපදී. (ඉමස්සූපාදා ඉදං උප්පජ්ජති) මෙය නැති කළ එය නොවෙයි (ඉමංස්මිං අසති ඉදං න හෝති) මෙය නැති වීමෙන් එය නැති වෙයි (ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ක්‍ධති)

හේතුන් නිසා හට ගැනීම , හේතු - ඵල අන්‍යොන්‍ය සම්බන්ධය, සාපේක්ෂතාව පදනම් කරගෙන ද්වදසාකාරයකට ජීවිතයේ පැවැත්මත්, නැවැත්මත් සිදු වන ආකාරය පිළිබඳ විවරණයක් 2008.01.22 දින ‘බුදුසරණ’ පුවත්පතේ බුදුරදුන් වදාළ ප්‍රතීත්‍ය සමුත්පාදය නමැති ලිපියෙන් ඉදිරිපත් කළෙමු. නැවතත් එම ලිපිය කියැවීමෙන් අනාත්මවාදය ගැන වැටහීමක් ඇති කර ගැනීමට හැකි ය.

අනාත්ම යන වචනයට දිය හැකි සරල තේරුම ‘වීමක්’ ගැන මෙනෙහි කිරීමය.‘සබ්බේ ධම්මා පටච්ච සමුප්පන්නා’ සියලු ධර්ම හේතු-ඵල වශයෙන් සම්බන්ධ වන්නා සේ ‘සබ්බේ ධම්මා අනත්තා’ යනුවෙන් සියලු ධර්ම අනාත්ම යැයි බුද්ධ දේශනාවේ දැක්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.