Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහමට අනුව ආදර්ශවත් දෙමවුපියන් වීමේ යුතුකම...

ඩී.එස්. සැම්සන් සුගතදාස

බුදු දහමට අනුව මවක්, පියෙක් යනු පිදිය යුතු, ගරු කටයුතු දෙදෙනකු බව අපි දනිමු. ඒ අනුව බුදුන් වහන්සේ ඔවුන් හඳුන්වා ඇත්තේ සබ්‍රහ්මකුල, සපුබ්බාචරිය කුල, සපුබ්බාදේව කුල, ආදී වශයෙනි. (අ. නි. සබ්‍රහ්ම සූත්‍රය) මේ හැඳින්වීම් වලින් අපගේ සවනට ඉතාම හුරුපුරුදු වචනය, නැතහොත් හැඳින්වීමේ පාඨය වන්නේ ‘බ්‍රහ්මාති මාතාපිතරෝ’ යන්න ය.

මම පාඨ වලින් කියැවෙනුයේ මාපියන්ට බුදු දහමේ බ්‍රහ්ම තත්ත්වයක් ලබා දී ඇති බවයි. එනම් බ්‍රහ්මයා තුළ තිබෙන මෙත්තා (මිතුරු බව) කරුණා (අන් අයගේ දුක දැක කම්පා වන හදවතක්, එනම් දුකේදී පුද්ගලයා එයින් මුදවා ගැනීමේ ශක්තියක් ඇති හදවතක් ඇති බව) මුදිතා (අන් අයගේ යස ඉසුරු, සැප, දියුණුව දැක සතුටුවීම) උපේක්ඛා (මැදහත් සිතින් යුතුව කටයුතු කිරීම) යන ශ්‍රේෂ්ඨ ගුණාංග වලින් මාපියන් යුක්ත බවයි.

ඒ අනුව දරුවන් පිළිබඳ මවුපියන් තුළ මෙම ගුණ ධර්ම සංවර්ධනය වී තිබීම, අත්‍යවශ්‍ය ය. මෙම කරුණ සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධානතම අදහස වන්නේ මෙකී ශ්‍රේෂ්ඨ ගුණාංග මවක්, පියකු, වූ පමණින් ඇති නොවන බවත්, පුද්ගලයා ඒවා තමා තුළ පිිහටුවා ගෙන ඒවා නිති සංවර්ධනය කර ගත යුතු බවත්ය. නැතහොත් මෙම ගුණාංග වලින් පරිපූර්ණ වූ මවුපියන්ගෙන් පමණක් දරුවන් සම්බන්ධ සමාජ වගකීම ඉටු වන බවයි. මෙම සතර බ්‍රහ්ම විහරණයෙන් යුත් අධ්‍යාත්මික ශක්තියෙන්ම තවත් අධ්‍යාත්මික ශක්ති සම්පන්න නව පිරිසක් බිහි කිරීමේ වැදගත් සමාජ කාර්ය භාරයද මෙයින් අවධාරණය කෙරේ. ඒ අනුව මවුපියන්ට බ්‍රහ්ම තත්ත්වය ප්‍රදානය කිරීම මගින් අධ්‍යාත්මික ගුණ ධර්ම වලින් පරිපූර්ණ සමාජයක් බිහි කිරීමේ දූර දර්ශී වින්තනය පිළිබඳ අපගේ විශේෂ අවධානය යළි යොමු කළ යුතු බව පෙනෙයි.

ඉහත කී ගුණ ධර්ම වලින් පෝෂණය වූ තරමට මවුපිය දූ දරු සම්බන්ධයද ආරවුල් වලින් තොර සාමකාමී එකක් වනු නොඅනුමානය.

මවුපියන් හැඳින්වීම සම්බන්ධයෙන් මෙහි සඳහන් කළ ‘පුබ්බචරිය’ යන වචනයේ අදහස ද මෙහිදී සැළකිල්ලට ලක් කළ යුතුය. මෙයින් අදහස් වනුයේ විධිමත් අධ්‍යාපනය ලැබීමට පෙර ඉදිරි ජීවිතයට අදාළ සමාජ, ආගමික, සංස්කෘතික පසුබිම පිළිබඳ පුහුණුවක් ලබාදීමයි. ඒ අනුව පාසල් අධ්‍යාපනයට අධ්‍යාත්මික වර්ධනයක් දරුවාට ලබාදීමේ වැදගත් වගකීම වටහාගත යුතුව ඇත.

ආදර්ශවත් මවක පියකු වීමේ යුතුකම වඩාත් අවධාරණය කරනු ලබන්නේ සිඟාලෝවාද සුත්‍රයෙනි. (අ. නි.) ඒ අනුව මවුපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පහක් දැක්වෙයි. ඒවා නම්,

1. පවින් වැළැක්වීම

2. යහපතෙහි යෙදවීම

3. ශිල්ප ශාස්ත්‍ර ලබාදීම

4. සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම

5. සුදුසු කල්හි තම දායාද (ධනය) පවරා දීම

සමාජ සම්මතයට අනුව මවුපියන්ට ඇති වටිනාම වස්තුව වන්නේ (පුත්තා වත්ථු මනුස්සානං ...සං.නි.) දරුවන්ය. ඒ අනුව දරුවන් පවින් වළක්වා යහපතෙහි යෙදවීමේ පූර්ණ වගකීම මව්පියන් සතු වෙයි. මෙම ක්‍රියාවලියේදී දෙමවුපියන්ද පවින් වැළැකී, සුචරිතයෙහි හැසිරීම වැදගත් වන්නෙකි. පියා , මව දුරාචාරයෙහි යෙදෙන්නේ නම් දරුවන් පවින් මුදවාගෙන යහපෙතහි පිහිටුවීමේ ශක්තිය ඔවුන්ට කළ නොහැකිය. මවුපියන්ගේ එවැනි දුරාචාර පවුකාර ජීවිත පරිසරයකදී දරුවෝ ඔවුන්ගේ උපදෙස් මගපෙන්වීම නොපිළිගනිති. එසේ වන විට දරුවෝ ද දුරාචාර ජීවිතයට පෙළඹෙති . ගුණ දහමින් පිරිහුණු පරිසරයකදී බුදුදහම පෙන්වා දෙනු ලබන පූර්වාචාරි බව (පුබ්බාචරිය) දෙමවුපියන් අතින් ගිලිහී යෑම යනු අනාගත සමාජ කොට්ඨාශයකට ඔවුන්ගෙන් ඉටුවිය යුතු අවශ්‍යතම යුතුකම හා වගකීම නොලැබී යාමයි.

මෙය වර්තමාන සමාජය තුළ නොඅඩුව දක්නට හැකි ශෝචනීය තත්ත්වයකි.

වර්තමාන ඇතැම් සමාජ ගවේෂණ අනුව ලාංකික සමාජය තුළ ඇතැම් මවුවරුද විවිධ හේතු සාධක මත මත්පැනට අබ්බැහි වී සිටිති. තවත් අතකින් මව්වරුන් ඉසුරු සොයා විදේශගතවීම නිසා ලාංකික දරුවන්ගෙන් කොටසක් මවුපිය ආදරය නොලබන අනාරක්ෂිතයන් බවට පත්ව සිටිති. මෙවැනි සමාජ වාතාවරණයක් යටතේ දරුවන් පවින් වළක්වා යහපෙතෙහි යෙදවීමේ දැඩි අපහසුතාවයකට මව්පියෝ මුහුණ පා සිටිති. විශේෂයෙන් ඇතැම් දිළිඳු පවුල් වල ආදායමෙන් තුනෙන් එකක් (1/3) මත්ද්‍රව්‍ය වලට වැය වන බව සමීක්ෂණ වලින් හෙළි වී ඇති අතර, එවැනි පවුල්වල මව හෝ පියා විදේශ මුදල් ඉපැයුවද එම මුදල් එම පවුලේ නිසි ආර්ථික විසඳුමකට නොයොදවනු ලබන බවද හෙළි වී ඇත. මෙවැනි පසුබිමක් මත දරුවන් යහමග යැවීමේ ගැටලුව තවදුරටත් අවුලෙන් අවුලට පත්ව තිබේ.

පවින් වැළැකී, යහපෙතෙහි මවුපියන් පිහිටි පරිසරයක වුවද , එම මවුපියන්ට විවිධ වර්තමාන හේතු සාධක (මනස විකෘති කරන, අසභ්‍ය සදාචාරය නොතකන රූපවාහිනි දැන්වීම්, කාමුක චිත්‍රපට වීඩියෝ දර්ශන තේ කුඩු , මත් ද්‍රව්‍ය , අසම්මත සමාජ සම්බන්ධතා අසීමිත ලෙස මුදල් පසුපස හඹා යෑමේ කැමැත්ත හා තරඟකාරී බව ආදිය මත තම දරුවන්ද යහපෙතහි යෙදවීමේ කාර්යයෙහි නියැලීමේ අපහසුතාවයක් දැකිය හැකිය.

එහෙත් මවුපියන් ලෙස අප වඩාත් උත්සුක විය යුත්තේ මෙවැනි පරිසරය කදී වුවද තම දූ දරුවන් පවින් වළක්වා යහපතෙහි යෙදවීමේ උතුම් සමාජ මෙහෙවරට දායක වීමයි.

සිඟාලෝවාද සූත්‍රයට අනුව මවුපියන්ගේ තෙවන යුතුකම වන්නේ, තම දූ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබාදීමයි. අධ්‍යාත්මයෙන් පිරිපුන් දරුවකු මෙන්ම අධ්‍යාපනයෙන් ඉහළම තත්ත්වයකට තම දරුවා පත්වනු දැකීම සෑම මවකගේම පියෙකුගේම අභිලාෂයයි. වර්තමාන සමාජයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද තර¼ගකාරි ස්වරූපයක් පැවතියද දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමේ යුතුකම මවුපියන් සතුව පවතී. අධ්‍යාපනයේ ඇති අනවශ්‍ය තරගකාරී බව , අධ්‍යාපනය ලබාදීමේ අසමතුලිත බව ආදී කරුණූ මත දරුවෝ මෙන්ම මවුපියෝද අපේක්ෂා භංගත්වයෙන් පසුවෙති. එහෙත් මෙහිදී මවුපියන් තේරුම්ගත යුතු වැදගත්ම පණිවිඩය නම් අධ්‍යාපනයේදී දරුවන්ට දැනුම පමණක්ම දීම සිදුනොකර. ඔවුන් අධ්‍යාත්මික වශයෙන් මූලිකව සංවර්ධනය කළ යුතු බවයි. බුදු දහම මේ සම්බන්ධයෙන් දැඩිලෙස අවධාරණය කරනු ලබන්නේ දරුවෙකුගේ ජීවිතය ආරම්භයේ අධ්‍යාත්මික සංවර්ධනයට අවස්ථාව ලබාදී (පුබ්බාචරිය) දෙවනුව ශිල්ප ශාස්ත්‍රලබාදීම යුතුබවයි.

“ බුදුදහම හා අද්‍යතන ශ්‍රී ලංකේය අධ්‍යාපනය යන මැය යටතේ මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස වන්නේ බුදුදහම, පළමුව විනයටද දෙවනුව අධ්‍යාපනය ලබා ගැනීමටද අවධාරණය කරන බවයි

මව්පියන්ගෙන් ඉටුවිය යුතු සතරවන යුතුකම වන්නේ තම දරුවන්ට සුදුසු කල්හි අවාහ විවාහ කරදීමයි. මෙම කරුණෙහි ඇති සුවිශේෂී වැදගත්කම නම්, මෙය ආදර්ශවත් මවක්, පියෙක් වීමේ අඩිතාලම වීමයි. ඒ සමගම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ස්වාමි- භාර්යා යුතුකම් ගැන සඳහන් කිරීමද සුදුසුය. එයට හේතුව වන්නේ ස්වාමි භාර්යා යුතුකම් නිසිලෙස ඉටු නොවීම මගින් ආදර්ශවත් මව්පිය පරිසරයක් ගෙදරක ඇති නොවීමයි.

ස්වාමියා විසින් භාර්යාවට ඉටු කළ යුතු යුතුකම්

1. බිරියට බුහුමන් (ගෞරව - ආදරය ) කළ යුතුය (සම්මානනාය )

2. අවමන් නොකළ යුතුය

3. පරස්ත්‍රීන් සේවනය නොකළ යුතුය (අනභිචරියා )

4. තමන්ට අයත් සියලු යසඉසුරු පැවරිය යුතුය (ඉස්සරිය වොස්සග්ගේන )

5. අලංකාර වස්ත්‍රාභරණ සපයා දිය යුතුය (අලංකාරානුප්පදානේන )

එසේම භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට ඉටුකළ යුතු යුතුකම් මෙසේය.

1. ගෙදර කටයුතු මැනවින් පිළියෙල කිරීම (සුසංවිහිත කම්මන්තා)

2. පිරිවර ජනයාට මැනවින් සංග්‍රහ කිරීම (සුසංගහිත පරිජනා)

3. පරපුරුෂයන් සේවනය නොකිරීම (අනභිචාරිනී)

4. සියලු කටයුතු අනලස්ව කිරීම (දක්ඛා හෝති අනලසා සබ්බ කිච්චේසු)

5. ස්වාමියා රැස් කළ ධනය ආරක්ෂා කිරීම (සම්භතං අනුරක්ඛති)

මෙම කරුණු වලින් පැහැදිලිව පෙනීයන කරුණක් නම් අඹු - සැමි දෙදෙනාගේ යුතුකම් අනලස්ව ඉටුවීම, ශ්‍රේෂ්ඨ මවක් පියෙක් බිහිවීමේ මනා ආරම්භයක් බවයි. කය - හිත වචන යන තුන්දොර හික්මවා ගනිමින්, පඤ්චශීල ප්‍රතිපත්තියෙන් හෙබි ජීවිත ක්‍රියාදාමයක් අඹු - සැමි සම්බන්ධයේදී අත්‍යවශ්‍ය බවද මෙයින් අවධාරණය කෙරේ.

යම් හෙයකින් මෙම යුතුකම් අඹු - සැමි දෙදෙනා අතින් ඉටු නොවන අවස්ථාවන් ගැන සලකා බැලීමේදී මෙම කරුණු වල ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත.

නිදසුනක් ලෙස බිරියට ආදර ගෞරව නොකරන්නා වූද, නින්දා අපවාද කරන්නාවූද, වෙනත් ස්ත්‍රීන් හා අයුතුª සම්බන්ධතා ඇත්තාවූද, ඈ වෙනුවෙන් මුදල් වියදම් නොදෙන්නා වූද ස්වාමි පුරුෂයකුගේ් ඇසුරේ සිටින්නා වූ භාර්යාවකගේ් ස්වරූපය කෙබඳුදැයි අපට වටහාගත හැකිය. ඉහත සඳහන් කරුණු සියුම්ව විග්‍රහකර බැලීමේදී පෙනී යන්නේ එබඳු ස්වාමිපුරුෂයෙක් බීමත්කම, කාමයෙහි වරදවා හැසිරීම් ආදී දස අකුසලයට බර වූ පාපී පුද්ගලයෙකු බවයි.

එසේම ගෙදර කටයුතුවල අපිළිවෙළින් යුක්ත, නෑ හිතමිතුරන් සමඟ අමනාපයෙන් සිටින පුද්ගල අනියම් සම්බන්ධතා වලින් යුක්ත, අදාළ කාර්යයන්හිදී අලස, ස්වාමි රැස්කළ ධනය විනාශ කරන්නා වූ බිරියක වන්නේ නම් ඇය රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන තැනැත්තියක් ලෙස හඳුන්වාදිය හැකිය. එහෙයින් මෙම කරුණු වලින් වඩාත් හොඳින් අප අවධාරණයට ගතයුතු වන්නේ ආදර්ශවත් මවක් පියෙක් වීමටනම් තමා අනිවාර්යයෙන්ම ආදර්ශවත් භාර්යාවක්ද ස්වාමිපුරුෂයකුද විය යුතු බවයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.