Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි පාර්ශ්වයේ නව ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්සී හිමි

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පදවියට ශාස්ත්‍රපති ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පත්ව සිටිති. මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මෙම පදවිය සඳහා ධම්මදස්සි හිමියන් පත්කරනු ලැබ ඇත.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික උපෝෂථාගාරයේදී රැස්වූ අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව මගින් ධම්මදස්සි හිමියෝ ඒකමතිකව මෙම පදවිය සඳහා තෝරා පත්කරගනු ලැබූහ.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපනපති හා අධ්‍යාපන ඩිප්ලෝමාව සමත්ව ඇති උන්වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිමිනමකි. මහනුවර කීර්තිමත් බෞද්ධ විදුහලක් වන විද්‍යාර්ථ විදුහලේ ගුරුවරයකු ලෙස වසර හයක පමණ කාලයක් සේවය කළ උන්වහන්සේ නිට්ටඹුව සාරිපුත්‍ර භික්ෂු අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළහ.
1958 සැප්තැම්බර් 03 දින ආණමඩුව ප්‍රදේශයේ උපත ලද උන්වහන්සේ 1976 වසරේදී පැවිදි බිමට එක්ව 1979 දී උපසම්පදාව ලැබූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.