Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසුනත් - දේශයත් රැක්මට කැපවූ වාරියපොල නා හිමි

ස්වාධීන වූත්, නිවහල් වූත් දේශයක, දැයක අබිමන් වූ උරුමය වෙනුවෙන් සිය දිවි නො තකා මෙහෙවර කළ අති උදාර විරුවණගෙන් අප මවුබිම නො හිස් ය. එවන් විරුවන් පිළිබඳ දැයක් ජාතිහිතෛශී හැඟුමෙන් පිබිදී එන මෙවන් සමයෙක වදනේ පරිසමාප්ථාර්ථයෙන් ම විරුවන් වන උතුමන්ගේ වත, ගොත වත්මන් පරපුරට දායාද කිරීම මහඟු මෙහෙවරකි.

රාජ්‍ය වර්ෂ 1815 මාර්තු මස දෙවැනි දින සිරිලක් දිවම හිරු නොබසින සුදු අදිරද කිරුළට නතුකොට කන්ද උඩරට දී වහල් ගිවිසුම අස්සන් තැබීමට පෙරාතුව බලකාමයෙන් උමතු වූ ඉංගී‍්‍රසි සෙනවියකු සිය කතිර කොඩිය ඔසවා කළ සදාචාර නොවූත්, විනය විරෝධි වූත් ක්‍රියාවට එතැන සිටි සිංහල නිළමේවරුන් නිහඬව සිටියද, පසෙකට වී ළතැවිල්ලෙන් වැඩ සිටි වාරියපොල ශ්‍රී සුමංගල අනු නා හිමියෝ වහා පෙරට පැන කඩු, තුවක්කු, බයිනේතු අතින් ගත් ඉංගී‍්‍රසි හේවායන් ද, සෙනෙවිවරුන් ද තඹයකට මායිම් නොකැර අහසේ ලෙලදෙන ඉංගී‍්‍රසි කොඩිය බිමට ඇද පාගා සිහ නද නගමින් සිංහල ජාතික කොඩිය ඔසවා පරදේශ් පිරිස් අන්ද මන්ද කළ සැටි සිංහල වංශ කථාවේ ස්වර්ණමය වූ අකුරෙන් ලියැවී ඇත.

ශාසනික වූත් ජාතික වූත් යුග මෙහෙවරක් කළ වාරියපොල ශ්‍රී සුමංගල බුදුපුතුණුවෝ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවමැදිහත් පත්තුවේ දෙවමුල්ල කෝරළයේ වාරියපොල ග්‍රාමයේ හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාලගේ පුතකු ලෙස ඉපිද කිරිහාමි නමින් හැඳින් වූ අතර, එවකට අස්ගිරි විහාරයේ, නාවින්නේ ධම්මදස්සී, ගණනායක හෙරණපාණන්ගේ මඟ පෙන්වීමෙන් අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහ නා සමිඳුන්ගේ මූලිකත්වයෙන් සසුන් ගත වූහ.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු සමයේ ලක් දිවට වැඩි උපාලී මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍යාම දේශීය භික්‍ෂූන් වහන්සේලා ද, ධම්මපාල මහ නා සමිඳුන් ද මූලිකත්වයෙහි තබා රාජ්‍ය වර්ෂ 1753 නිකිණි මස අව අටවක් දින අස්ගිරි මහා විහාර ගෙඩිගේ භූමියේ බද්ධ සීමා මාලකයේදී උපසම්පදාව ලද වාරියපොල හිමියෝ කර්මාචාර්ය, අනුකාරක කාරක නායක අනුනායක යන පූජිත ශාසනික තනතුරු වලින් පිදුම් ලදහ.

සුදුහුම්පොල රාජ මහා විහාරය, වාරියපොල ශෛලතලා රජ මහා විහාරය වැනි පූජනීය විහාරස්ථානයන්හී අධිපති ලෙස ද කටයුතු කර ඇති අතර වාරියපොල භික්‍ෂු පරම්පරාව ද බිහි කළහ. අනතුරුව සිංහල බෞද්ධ රජ කිරුළේ මුදුන් මල් කඩවූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාරව ද වැඩ සිට ඇත.

සිය යටත් විජිතයන්හි සාරය උරා බීමේම නියුතු ඉංගී‍්‍රසි අදිරදවාදීන්ගේ සැබෑ මුහුණුවර ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පසක් වූ විට ඔවුනට විරුද්ධව 1818 දී වීර කැප්පෙටිපොල ගේ නායකත්වයෙන් ඇති වූ ඌවේ කැරැල්ල සමයේ දී තේවාව භාරව සිටි වාරියපොල අනුනාහිමියෝ දන්ත ධාතූන් වහන්සේ ඉංගී‍්‍රන් අතට පත් නොකරමියි යන අදිටනින් උන්වහන්සේ ද සඟවාගෙන කැළෑවැදී කුසට අහරක් වත් හරිහැටි නැතිව දහදුක් වින්දේ කැරළි නායක වීර කැප්පෙටිපොල අතට පත් කිරීමේ අභිලාෂයෙන් බවද කියැවේ. එහෙත් 1818 නොවැම්බර් මස 02 වැනි දින බ්‍රිතාන්‍ය හැත්තෑතුන්වෙනි රෙජිමේන්තුවේ එත්සයින් සූට්බ්රේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොලේ දී දැය පාවාදෙන පිරිසකගේ ඔත්තුවකට අනුව දළදා වහන්සේ ද සමග මුන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලදී.

ස්වකීය මාතෘභූමිය වෙනුවෙන් කළ හැකි උදාරතම මෙහෙවර නොසැලී කළ ජාතියේ පිනට පහළ වූ මුරදේවතාවුන් වහන්සේ දළදා හිමි සොරකම් කිරීමේ චෝදනාව මත යුද්ධාධිකරණය ඉදිරියට පමුණු වන ලදින් යාපා පටුනේ සිර කළ ද 1821 අප්‍රෙල් මස 13 වැනිදා ඉන් නිදහස් වූ බවක් ද සඳහන් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.