Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කායානුපස්සනා සතිපට්ඨානයෙන් සිහිය වැඩීම

ඉධ භික්‍ඛවේ, භික්‍ඛු කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙයිය ලෝකේ අභිජඣා දොමනස්සං....

බුදුරජාණන් වහන්සේ විසින් සත්වයාගේ විශුද්ධිය පිණිස දේශිත ඒකායන මාර්ගයක් ඇත. ඒ සතර සතිපට්ඨානය වන්නේ ය. මහණෙනි, මෙම සර්වඥතා ශාසනයෙහි මහණ තෙමේ කෙළෙස් තවන වීර්ය ඇතිව මනා නුවණින් හා සිහියෙන් යුතුව ලෝක සංඛ්‍යාත මේ ශරීරයෙහි ලෝභ, ද්වේශ සංසිඳුවමින් කය අනුව නුවණින් බලමින් වාසය කරන්නේ ය. (මහා සතිපට්ඨාන සූත්‍රය)

ධර්මය නොදත් අශ්‍රතවත් පෘතග්ජනයන් විසින් මෙකල භාවනා තුළින් අධිගම (මාර්ග ඵල) ලැබිය නොහැකි යැයි නොයෙක් අදහස් ප්‍රකාශ කරන්නේ ය. ඔවුන් එසේ ප්‍රකාශ කරනුයේ කෙළෙස් වලට වසඟවීමෙන් හා භාවනා කටයුතු කිරීමට තම තමන් තුළ පවතින කුසීතකම නිසා ය. ඒ තුළින් සිදුවන්නේ නෛර්යාණික සසුන අවලංගු කිරීමකි. ශාසනික ප්‍රතිපත්තීන්හි නිරත වන අයකු තුළ වූව ද භාවනා කටයුතු වලින් අධිගම නොලැබේ යැයි කුකුසක් පහළ වේ නම් ඔහුට භාවනා සමෘද්ධි කර ගැනීමට නොහැකි වන බව ද අප සිහියේ තබාගත යුතු ය. එසේම සසුනෙහි මූලික පරමාර්ථය වන සසර දුක අවබෝධ කොට නිවන් සාක්ෂාත් කරගැනීම පිළිබඳ ද ඔහු තුළ දැඩි කැමැත්තක් ද පැවතිය යුතු ය. එ නිසා සතර සතිපට්ඨාන ප්‍රගුණ කිරීමට කැමති ප්‍රඥාවන්තයන් විසින් තමා මෙම භාවනා කර්මස්ථානයෙන් කෙසේ හෝ ප්‍රතිඵල ලබා ගනිමි යැයි සිතා ඒ සඳහා සූදානම් විය යුත්තේ ය.

නිවන අරමුණු කොට භාවනාවක් වශයෙන් සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයා විසින් මුලින්ම ඒ සඳහා අවශ්‍ය පූර්ව කෘත්‍ය හොඳින් සම්පූර්ණ කරගත යුතු ය. එනම් තිසරණ සරණයේ පටන්, ශක්තිමත් ආර්ය සීලයක පිහිටීම, තෙරුවන් වන්දනාව, තෙරුවනට ජීවිතය පූජා කිරීම, ආර්යයන් වහන්සේ සමාකර ගැනීම, දෙවියනට හා ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම, හා පිළිවෙළින් බුද්ධානුස්සති, මෛත්‍රීය, අසුහානුස්සති හා මරණානුස්සති භාවනා ප්‍රගුණ කිරීම සිදු කළ යුත්තේ ය. මේ පූර්ව කෘත්‍ය නොවඩා නිවන් අරමුණු කරමින් කෙරෙන භාවනා කර්මය අතරමග ඇතිවන බොහෝ බාධා නිසා අත්හැර දැමීමට සිදුවන බව මතකයේ තබාගත යුත්තේ ය.

මනා කොට අවසන් කරන ලද පූර්ව කෘත්‍ය ඇති යෝගියා මුලින්ම ස්වාභාවික හුස්ම රැල්ලට සිහිය පිහිටවිය යුතු ය. එහිදී සිදු කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස වායුව ඇතුළුවන පිටවන ස්වභාව පිළිබඳ සිතින් බලා සිටීමය. ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳව සිහියෙන් වසන යෝගියාට නොයෙක් ආධ්‍යාත්මික හා බාහිර අරමුණු ප්‍රකටව දැනෙනු ඇත. විශේෂයෙන් දැනගත යුතු කාරණය නම් මෙම ආධ්‍යාත්මික හා බාහිර නොයෙක් අරමුණු භාවනා කාර්ය නිසා පැමිණෙන ධර්ම නොව, උපතේ සිට මරණය දක්වා පැමිණෙන්නා වූ විවිධ අරමුණු බවත් ය. මෙතෙක් කලක් ඒ කිසිවක් පිළිබඳ සිහිය යොමු නොකළ නිසා ඒ සියල්ල සාමාන්‍ය දේ බවට පත්ව පැවතිණි. ආශ්වාස හා ප්‍රශ්වාසයට සිහිය ගෙන ඒමත් සමඟ මෙතෙක් කලක් පටන් වේගයෙන් ගලන ගංගාවක් සේ ගලා ආ මෙම සියලු දැනීම වැඩියෙන් ප්‍රකට වන බව දත යුතු ය. මෙහි කායානුපස්සනා නම්, තම සිතට අරමුණු වන නොයෙක් වෙනත් බාහිර හා අභ්‍යන්තර අරමුණු දුරුවන අයුරින් කය පිළිබඳ මෙනෙහි කිරීමය. මෙය උපේක්‍ඛාව ප්‍රගුණ කිරීම යැයි දතයුතු ය. යෝගියා හුස්ම දෙස සිහියෙන් යුතුව බලා සිටින විට කයෙහි වෙවුලන ගතියක් දැනීමට පිළිවන. එවිට වෙව්ලනවා, වෙව්ලනවා යැයි මෙනෙහි කළ යුතු ය. එවිට හටගත් ඒ ගතිය ඇති වී නිරුද්ධ වී යනු ඇත. තමාට එහි ඇති අනිත්‍යතාවම ප්‍රකට වන්නේ ය. විටෙක එක් අරමුණක් මෙනෙහි කර එහි නිරුද්ධිය ප්‍රකට වන විටම තවත් අරමුණක් ප්‍රකට විය හැකි ය. එවිට යෝගියා සිදුකළ යුත්තේ හුස්ම රැල්ලට සිහිය යොමු කිරීමට යෑම නොව එම දැනුණු අරමුණ මෙනෙහි කිරීමෙන් පසුව හුස්ම රැල්ලට සිත ගෙන ඒම ය. මේ ආකාරයට කයෙහි දැනෙන නැමෙන, තදවන ගති ස්පර්ෂ වන ගති ආදී සියලු දැනීම් අරමුණු වන පිළිවෙළටම මෙනෙහි කළ යුතු ය. යම් විටෙක කණට බාහිර ශබ්දයක් ඇසෙන විට ශබ්දය ඇසෙන්නේ කෙහෙන්ද යැයි නොසොයා ශබ්දයක්, ශබ්දයක් යැයි මෙනෙහි කළ යුතු ය.

මෙහිදී දැනෙන අරමුණු එකක් හෝ අත්නොහැර දැනෙන ආකාරයටම ඒවා මෙනෙහි කිරීමට වගබලා ගත යුත්තේ ය. එසේම කයෙහි දැනෙන මෙම වෙවුලන ගති, තදවන ගති, නැමෙන ගති, හැපෙන ගති, ආදී සියල්ල සතර මහා ධාතූන් ගේ ක්‍රියාකාරීත්වයම බව යෝගියා වටහා ගත යුත්තේ ය. මේ අතරතුර බාහිර වශයෙන් නහයට ගන්ධ, දිවට රස, කයට පහස, වැනි දෑ දැනීමට ඉඩ ඇත. ඒ සියල්ල ද ඇලීම් ගැටීම් දුරුවන ලෙස යෝනිසෝමනසිකාරයෙන්ම මෙනෙහි කළ යුතු ය. යෝගියාට දැනුණා වූ මෙම සියලු බාහිර ආධ්‍යාත්මික සියලු දැනීම් කෙරෙහි සිහිය පිහිටුවීම නිසා, ඒ සියලු දැනීම් වල නිරෝධයම ප්‍රකට වන බව දත යුතු ය. මෙම කර්මස්ථානය කායානුපස්සනාව වූවත් අනෙකුත් අනුපස්සනා තුන ද එයින් නිරායාසයෙන්ම ප්‍රගුණ වනු ඇත. හුස්ම රැල්ලට සිත යොමු කර සිටින යෝගියාට සමහර විට කයෙහි යම් ස්ථානයක් කසන ගතියක් දැනිය හැකි ය. මෙහිදී අප එම සිරුරෙහි කසන ස්ථානය කැසීමට ගිය හොත් භාවනාව සිදු නොවන්නේ ය. එහිදී ඒ අරමුණ කෙරෙහි ගැටීමක් ඇති නොකර කසනවා, කසනවා යැයි මෙනෙහි කිරීම සිදු කළ යුත්තේ ය. එවිට ඒ ගතිය නිරුද්ධ වී යනු ඇත. තවද නොයෙක් දුක් වේදනා, උපේක්‍ෂා වේදනා හෝ සුඛ වේදනා දැනෙන්නට හැකි ය. සමහර විට තමාගේ දණ හිසෙහි, කොන්දෙහි, අත් පාවල වේදනාකාරීත්වය ඇතිවිය හැකි ය. එවිට, එහි නොගැටී උපේක්‍ඛා සහගතව වේදනාවක්, වේදනාවක් යැයි සිහියෙන් යුතුව මෙනෙහි කළ යුතු ය. එවිට දැනුණු වේදනා නොදැනී අනිත්‍යතාවට, පත්වන අයුරු ප්‍රකට වන්නේ ය. එමෙන්ම කයට දැනෙන හිරිවැටීම, දහඩිය දැමීම, කැසීම, රස්නෙ ගති ආදී සියල්ල ද එසේම දත යුතු ය. සමහර විට වැඩි වේලාවක් භාවනා කරන විට සැපයක් දැනුණ ද එයද උපේක්‍ඛාවෙන් බැහැර කළ යුතු ය. මේ අවස්ථාවක කයට තද ගතියක් දැනෙන විට මෙය පඨවි ධාතුව යැයි ද දහඩිය දැමීම දැනුණු විට ආපෝ යැයි ද, රස්නෙ ගති දැනෙන විට තේජෝ වශයෙන් ද සිරුරෙහි නලියන ගතිය, වෙව්ලන ගතිය ආදිය වායෝ වශයෙන් ද යෝගියාට අවබෝධ විය යුතු ය.

කයට මෙසේ නොයෙක් වේදනා හිරිවැටීම් දැනුණා සේම විටින් විට සිත දුවන ගතියක් ද ඇතිවන්නේ ය.සිතට අරමුණු වන නොයෙක් සිතිවිලි අරමුණු වන පිළිවෙළට කෙළෙස් තවන විරියෙන් යුක්තව, ඇලීම් ගැටීම් දුරු වන අයුරෙන් මෙනෙහි කිරීම ද යෝගියා සිදුකළ යුත්තේ ය. පුද්ගල සිතෙහි ස්වභාවය නම් සිත එක් අරමුණක රඳවා ගැනීමට අපහසු බවය. භාවනා කාර්ය සිදුකරන විට මෙම ස්වභාවය ප්‍රකට වනු ඇත. එම නිසා සිත දුවන ගතියක් දැනුණු විට සිත දුවනවා දුවනවා යැයි මෙනෙහි කළ යුතු ය. එවිට දුවන ගතිය දුරු වී නැවත ආශ්වාසයටම සිහිය පිහිටුවිය හැකි ය. මෙසේ සිතෙහි ඇති සියලු සිතන ස්වභාවය දැනෙන පිළිවෙළට එකකදු අත් නොහැර මෙනෙහි කළ යුතු ය. තවද යම් අවස්ථාවලදී සිතෙහි හටගන්නා වූ ආශා සිතිවිලි, තරහ සිතිවිලි, සොනස්සුන් ගති, උදාසීන ගති, සැක සංකා ආදී ධර්ම ඇලීම් ගැටීම් දුරුවන අයුරින් මෙනෙහි කළ යුතු ය. මෙසේ තමාට දැනෙන පිළිවෙළට මෙම බාහිර හා ආධ්‍යාත්මික අරමුණු සිහියෙන් යුතුව මෙනෙහි කරන විට කලින් ප්‍රකටව දැනුණු අරමුණු නොදැනී යන තත්ත්වයක් ඇති වන්නේ ය. ඒ සමඟම හුස්ම රැල්ල ද ක්‍රමයෙන් සියුම්ව නොදැනී යන තත්ත්වයකට පත් වන්නේ ය. මෙහිදී තමා උවමනාවෙන් හුස්ම නොසෙවිය යුතු ය. මෙම කොටස කායානුපස්සනා කර්මස්ථානයේ මුල් පියවර අවසන් වීමය. දැන් යෝගියා දෙවන පියවරට පිවිසිය යුතු ය. මෙහිදී කළ යුත්තේ තමා භාවනාව සඳහා අසුන් ගෙන සිටින ස්වභාවය නිමිත්තක් ලෙස ගැනීමය.එනම් තමාගේ කයත් වාඩි වී සිටින අසුනත් අතර ඇති ස්පර්ශ වන ස්වභාවය සිතට ගෙන එම දැනෙන ගතිය දෙස සිතින් විමසා බලමින් හිඳීම්, හැපීම්, මෙනෙහි කිරීම ය. මෙහිදී හිඳීම්, හැපෙමි වශයෙන් අතුරු සිදුරු නොමැතිව මෙය හොඳින් සිතට වැටහෙන අයුරින් මෙනෙහි කළ යුතු ය. මෙසේ මෙනෙහි කිරීමේ දී අතුරු සිදුරු පැවතුණහොත් වෙනත් නොයෙක් අරමුණු පැමිණිය හැකි ය. මෙහිදී සමහරුන්ට නොයෙක් වර්ණවත් වූ ආලෝක, අලංකාර රූප ආදිය පෙනිය හැකි ය. මේවාට මුලා නොවිය යුතු ය. එහිදී ඒ සියල්ල සිතෙහි හටගත් සංස්කාර යැයි දත යුතු ය. බොහෝ වේලාවක් හිඳීම්, හැපීම් මෙනෙහි කරන විට තමාගේ කය බොහෝ සැහැල්ලු වී යනු ඇත. කය පුළුන් පුළුන් ගොඩක් සේ සැහැල්ලු වී යනු ඇත. අනතුරුව කය සම්පූර්ණයෙන්ම සංසිඳී යනු ඇත. එනම් කයෙහි තිබූ සියලු දැනීම් නොදැනී ගොස් තමාට කයක් පවතිනවාද නැද්ද යැයි සිතා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. මෙසේ කය සම්පූර්ණයෙන්ම සංසිඳුණු පසු තමාට සිත පමණක් පවතින බව දැනෙනු ඇත.

මින්පසු මෙම කර්මස්ථානයේ තුන් වන පියවරට පිවිසීමට අවස්ථාව බව දත යුතු ය. කය පිළිබඳව පැවැති සියලු දැනීම් දුරු වී, සිත පමණක් ඉතිරි වූ විට සිත නිමිත්තක් ලෙස ගෙන මෙනෙහි කළ යුත්තේ ය. එය ප්‍රගුණ කළ යුත්තේ සිත පවතින බව තමාට දැනෙන අයුරට ය. එහිදී දැනෙනවා, යනුවෙන් අතුරු සිදුරු නොමැතිව සිත දෙස යෝනිසෝමනසිකාරය ඇති කරමින් සිහිකළ යුත්තේ ය. මෙලෙස වේගයෙන් සිත අරමුණු කොට මෙනෙහි කරන විට ක්‍රමයෙන් සිත ද පවතින බව නොදැනෙන තරමට අරමුණු නොවී යනු ඇත.

මේ අවස්ථාවේ ජීවිතයේ කිසිදින අත් නොදුටු සුවිශේෂ ස්වභාවයකට ඔබ පිවිසුණු බව දතයුත්තේ ය. සතර සතිපට්ඨාන භාවනාවේ ස්වර්ණමය අවස්ථාවක් වන මෙම අවස්ථාව පිළිබඳ නිසි ආකාරයෙන් තවදුරටත් තේරුම් ගැනීමට නම් භාවනාවේ හසල අත්දැකීම් ඇති ගුරුවරයෙකුගේ උපදේශ ලබාගත යුතු අතර ඉහතින් දක්වන ලද සෑම විස්තරයක්ම කර්මස්ථානයක් ලෙස ප්‍රගුණ කිරීමට ගුරු ඇසුර අත්‍යවශ්‍ය බව දත යුත්තේ ය.

තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.