Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිත අරමුණු ඉටු කරගත හැකි නොවරදින දැහැමි පිළිවෙත

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනාථපිණ්ඩික උද්‍යානයෙහි වැඩ වාසය කරන කල්හි භික්‍ෂූ සංඝයා අමතා මෙසේ දේශනා කොට වදාරා ඇත. මහණෙනි! යම් කිසි භික්‍ෂුවක් ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පංචවිධ ගුණයන්ගෙන් යුතුව වාසය කරනු ලබන්නේ යැයි සලකන්න. මේ භික්‍ෂුව තමා මරණින් මතු විශාල ධනස්කන්ධයක් ඇති ක්‍ෂත්‍රිය කුලයක උපත ලබනුයේ නම් එය මහා භාග්‍යයක් වේ යැයි මෙනෙහි කරන්නේ ය. මෙසේ ඇති වූ අදහස මේ භික්‍ෂුව විසින් තම සිත් තුළ වගාකර ගනිමින් ද නැවත නැවතත් වගාකර ගනිමින් ද, චිත්ත සන්තානය තුළ මේ සිතිවිල්ලට වගා වර්ධනය කර ගනියි. මෙසේ නැවත නැවතත් මෙනෙහි කරනු ලැබුවා වූද, නිරතුරු වගාවර්ධනය කරනු ලැබුවාවුද බෙහෙවින් පුරුදු පුහුණු කරනු ලැබුවාවුද කර්ම රැස් කිරීම්, මේ භික්‍ෂුවට තමා බලාපොරොත්තු තබා ඇති ස්ථානයෙහි උපත ලබාදීමට යොමු කරයි. එවැනි ස්ථානයක උපත ලබාදීමට යොමුවන මාර්ගයද මෙයම වේ. එමෙන්ම මේ භික්‍ෂුව, ධනයෙන් ආඩ්‍ය වූ බ්‍රාහ්මණ කුලයක හෝ මහත් ධනස්කන්ධයකින් යුත් පවුලක හෝ උපත ලබාගැන්මේ මහත් අභිලාෂයෙන් සමන්විත සිතිවිලි වගා කරනු ලබන්නේ නම් හෙතෙම මරණින් මතු එවැනි උත්පත්තියක්ම ලබනු ඇත.

‘තවද මහණෙනි ! යම්කිසි භික්‍ෂුවක් ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන ගුණාංගයන්ගෙන් සමන්විතව වාසය කරනු ලබන්නේ යැයි සලකන්න. චාතුර්මහාරාජිකාදී දිව්‍ය භවනයන් වාසය කරන දෙවිවරුන් දීර්ඝායුෂ්ක මෙන්ම මනහර ද වන අතර ඉතා පී‍්‍රතියෙන් කල්ගෙවනු ලබන්නේ වේ යයි ද මේ භික්‍ෂුවට ශ්‍රවණය කිරීමට ලැබෙත්ම, තමා ද මරණින් මතු එවැනි දෙවිවරුන් මධ්‍යයෙහි උපත ලබනුයේ නම් යෙහෙකැයි ඔහුට සිතක් පහළවන්නට පුළුවන. මේ භික්‍ෂුව විසින් මේ සිතිවිල්ල නැවත නැවතත් ඇති කරගනු ලබයි. එමෙන්ම මේ සිතිවිල්ල වගාකරනු ලබයි. මෙසේ වගාකරන ලද්දා වූද, වඩන ලද්දාවූද පුරුදු පුහුණු කරන ලද්දාවූද මේ සිතුම් මාර්ගය මෙතෙම බලාපොරොත්තු වන ස්ථානයේ උපත ලබාදීමට සමත් වේ.

මේ අන්දමින් මේ භික්‍ෂුව විසින් ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන ගුණ සමුද්‍රයෙන් ජීවිතය සකස්කොටගෙන තාවතිංස, යාම, තුසිත, පරනිම්මිත වසවත්ති, නිම්මානරති යනාදී දිව්‍ය භාවනයන්හි උත්පත්තිය ලැබීම කෙරෙහි යොමු කරන ලද සිතිවිලි නොකඩවා වගාකරනු ලබනුයේ නම් මොහු එවැනි දිව්‍ය භවනයන්හි වුවද උපත ලබනු ඇත.

‘තවද රූප බ්‍රහ්ම ලෝක සොළසෙහි උපත ලැබීම වෙනුවෙන් යොමුවූ තදබල ආශාවක් මේ භික්‍ෂුව තුළ බලපවත්වනුයේ නම්ද, එමෙන්ම ශ්‍රද්ධා, සීල, සූත, චාග, පඤ්ඤා යන ගුණ ධර්මයන් ජීවිත අංගයන් මෙන් මේ භික්‍ෂුව විසින් පුරුදු පුහුණු කරනු ලැබ ඇත්තේ නම් මෙතෙම තම අභිලාෂය පරිදි එවැනි රූප බ්‍රහ්ම ලෝකයන්හිම උපත ලබනු ඇත.’

‘එමෙන්ම මහණෙනි! යම්කිසිවකු විසින් තම ජීව රුධිරය ශ්‍රද්ධා, ශිල, සුත, චාග, පඤ්ඤා යන සිතුවිලිවලින් පෝෂණය කරගනු ලබනුයේ නම්, එමෙන්ම අරූපි බ්‍රහ්ම ලෝකයන්හි උපත ලැබීම වෙනුවෙන් යොමු වූ සිතිවිලි තම විඥානය තුළට කාවද්දනුයේ නම් ද මෙතෙම සතර අරූපී බ්‍රහ්ම ලෝකවල උපත ලබනු ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.’

මේ සියල්ලටම වඩා ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන උත්තරීතර ගුණයන්ගෙන් යුක්ත භික්‍ෂුවට ප්‍රත්‍යක්‍ෂ ඥානය මගින් තමා විසින්ම අවබෝධ කරගනු ලැබීමෙන් චිත්ත විමුක්තිය ලබා එම චිත්ත විමුක්තියෙන් යුතුවම, අවබෝධ ඥානයෙන් ලබාගත් විමුක්තියෙන් (ආශවයන් ක්‍ෂය කිරීමෙන් ලබාගත් ආශව රහිත වූ) යුතුවම ජීවත්වීම යෙහෙකැයි සිතෙන්නට පුළුවන. මෙවැනි සිතක් පහළ වූ කල්හි තමා විසින්ම ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කරගැන්මෙන් මේ භික්‍ෂුව චිත්ත විමුක්තිය, අවබෝධ ඥානයෙන් ලබා ගත් චිත්ත විමුක්තිය (ආශවයන් ක්‍ෂය කිරීමෙන් ලබාගත් ආසව රහිත වූ) ලබාගැන්මෙන් ජීවත් වේ. මේ භික්‍ෂුව අන් කිසිම ස්ථානයක නැවත උත්පත්තිය නොලබනු ඇත. මේ වනාහි සිල්වත් දිවියේ අවසාන ඵලය වේ. තවද සත්‍ය වශයෙන් මේ වනාහි මේ භික්‍ෂුවගේ අවසාන උපත වේ.

බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකරත්ම රැස්ව සිටි භික්‍ෂු පිරිස ඒ අසා ඉමහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්වූහ. සිත් කාවදින සුලු, ශ්‍රේෂ්ඨතම වූ ධර්ම දේශනයෙහි අන්තර්ගත කරුණු අප චිත්තාභ්‍යන්තරය තුළ කාවැදී යන අතර අවසාන විමුක්තිය ලබාගැන්ම සඳහා පමණක් නොව මේ ජීවිතය හා සම්බන්ධ වූ අපගේ තදබල ආශාවන් හා අපේක්‍ෂාවන් වූවද සාක්‍ෂාත් කර ගැන්මෙහි බාහිර දෙවිකෙනෙකුගේ ආධාර නොපතා තම තමන්ගේ උත්සාහය මත විශ්වාසය තැබීමට ද මෙය අපට අනුබල දෙයි. මේ සූත්‍රය මගින් පැහැදිලි කරනු ලබන වැදගත් කරුණක් වේ. එනම් තම අවසාන ජයග්‍රහණය වන විමුක්තිය ලබාගැන්ම උදෙසා වූවද කෙනෙකුට තම තමා කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය වනුයේ නම් මෙලොව පවත්නා ඊනියා සැපත හා පෘථග්ජනයින් විසින් බෙහෙවින් අගයකොට සළකනු ලබන තත්ත්වයන් ලබා ගැන්මට බාහිර කෙනෙකුගේ අධාරය කිසිසේත් අවශ්‍ය නොවන බවයි. කෙනෙකු ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන ගුණාංගයන්ගෙන් යුක්ත නම්, මෙතෙම ලෞකික වශයෙන් බලාපොරොත්තු වන සියලු සැපතක්ම පාහේ ඔහුට ඉතා පහසුවෙන් ළඟා කරගත හැකි වේ.

දැන් අපි මේ පංචවිධ ගුණාංගයන් (පංච බල) ගැන සලකා බලමු. ප්‍රථමයෙන්ම අපි ශ්‍රද්ධාව කෙරෙහි සිත යොමු කරමු. ශ්‍රද්ධාව නැති කෙනෙකු තුළ නියම ශ්‍රද්ධාව ඇති කිරීම, බුද්ධ ධර්මයට අනුව මහඟු ක්‍රියාවකි. අන්ධ භක්තිය එසේත් නොවේ නම් ශාස්තෲ භාෂිතයෙහි හෝ චිරන්තන අදෘෂ්ඨීන් කෙරෙහි තද විශ්වාසය තැබීම හෝ මින් අදහස් නොකෙරේ. මෙහිලා අවශ්‍ය වනුයේ විද්‍යාඥයෙකු හෝ ගවේෂකයෙකු තුළ පවත්නා ආත්ම විශ්වාසය වේ. මෙවැනි ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා ස්වකීය අතීත හා වත්මන් අත්දැකීම් උපයෝගී කරගෙන සත්‍ය වශයෙන්ම තමා නියම ප්‍රගති මාර්ගයෙහි ගමන් ගන්නේදැයි තෝරා බේරා දැන ගැන්මට සමත් කෙනෙක් වේ. මෙවැනි තැනැත්තා තම විශ්වාසයෙහි තදින් පිහිටා, ස්වකීය ජයස්ථම්භය කරා හැකි තරම් ඉක්මනින් ළඟා වීම සඳහා වැඩිදුරටත් වීර්යයෙන් යුතුව ක්‍රියා කරයි. ප්‍රඥාව මතම ගොඩනැඟුණු ශ්‍රද්ධාව නොමැති තැනැත්තා, අඳුරු කාමරයක් තුළ තමා නොදන්නා යමක් සෙවීමෙහි ලා නිරතවූවෙක් වැන්න. අනෙක් අතට, ප්‍රඥාව මත ගොඩනැඟුණු ශ්‍රද්ධාව දියුණුව ළඟා කර ගැන්මෙහි නියැලුණු යෝගාවචරයාහට දිනුම් කණුව කරා පැමිණීම සඳහා මග පෙන්වන අතර ඒ අනගි පී‍්‍රතිය සහ පාරිශුද්ධත්වය කරා යොමු වූ ගමනෙහි පළමු පියවර පමණක් නොව සෑම පියවරක් ම ගැනීමට ඔහු පොළඹවනු ලැබේ. අභිධර්ම දේශනයට අනුව ශ්‍රද්ධාව වනාහි සෑම කුසල චෛතසිකයකටම පොදුව ශෝභන චෛතසිකයන් දහනවයෙන් එකකි. තවද ජයස්ථම්භය කරා යොමු වූ සෑම අවංක පරිශ්‍රමයක්ම ශෝභන චෛතසිකයකි. ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහා මෙන්ම අනෙක් අතට ගුණදම් වගා සඳහා ද ශ්‍රද්ධාව අවශ්‍ය වේ. සූත්‍ර දේශනා කිහිපයකදීම බුදුරජාණන් වහන්සේ මෙම කරුණ දේශනා කොට වදාරා ඇත. ආලවක යක්‍ෂයාට ධර්මය දේශනා කරන අවස්ථාවේදී ද, මිනිසෙකුට මෙලොවදී ලබාගත හැකි වටිනාම ධනය ශ්‍රද්ධාව වේ යයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. තථාගතයන් වහන්සේ විසින් ගෙනහැර පානා ලද විචිත්‍ර මෙන්ම පැහැදිලි වූද උපමා කෙරෙහි සිත යොමු කරත්ම, ශ්‍රද්ධාවේ ඇති වැදගත්කම කෙනෙකුට අවබෝධ වේ. ශ්‍රද්ධාව බීජයක් වැනි ය. ගොවියෙකු තම කුඹුරේ වපුරන බීජයෙන් කාර්යයන් දෙකක් ඉටුවේ. මේ බීජය පළමුකොට පොළෝ පසෙහි මුල් ඇදීමට පටන්ගෙන පසුව මුදුනින් අතුරිකිලි විහිදුවයි. එමෙන්ම මනුෂ්‍ය සන්තානය නමැති කුඹුරේ වපුරන ලද ශ්‍රද්ධා බීජයේ මුල් ශීලය වේ. බීජය වැඩී ඉන් හටගන්නා වූ අතුපතර වනාහි සමාධිය හා ප්‍රඥාව වේ. ධාන්‍ය වැපිරීමෙහි නිරත වූ ගොවියෙකුට ධාන්‍ය බීජයක් නොමැතිව, ගොවිතැන් කළ නොහැක්කාක් මෙන් ආධ්‍යාත්ම වගා කිරීමෙහි නිරත වූ තැනැත්තාට ද ජීවිත දුක්වලින් නිදහස්වීම පිළිබඳ මාර්ගය දක්වන බුද්ධ දේශනයෙහි අන්තර්ගත කරුණු වල දක්නට ලැබෙන ක්‍රියාත්මක භාවය හා නිරවද්‍යතාවය කෙරෙහි විශ්වාසයක් නොමැතිව නියම වටිනාකමකින් යුත් කිසිවක් නිපදවිය නොහැකි බව, ශ්‍රද්ධාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද බීජ උපමාව විවරණය කරන පැරණි ආචාර්යවරු පවසත්. පුරාණ වෘත්තාන්තයන්හි කියවීමට ලැබෙන අපවිත්‍ර ජලය පවිත්‍ර කිරීමෙහි සමත් මාණික්‍යයට, ශ්‍රද්ධාව උපමාකොට ඇත. යම්කිසි දෙයක් කෙරෙහි යමෙකු තුළ ඇදහීමක්, භක්තියක් පවත්නේ නම් එම දේ පිළිබඳව ඇතිවිය හැකි සැකය, වැරදි හැඟීම් නමැති අපවිත්‍ර දෑ පහව යනු ඇත. තවද, ශ්‍රද්ධාව වනාහි මිථ්‍යා දෘෂ්ඨීන් නමැති ඕසයන් තරණය කොට ක්‍ෂේම භූමිය වෙත ළඟාවීමට ආධාර වන යාත්‍රාවක් හා සමාන වේ. තවද මේ වනාහි රාගය නමැති කුළු හරකා විසින් ලුහුබඳිනු ලැබූ කල්හි ශීලය නමැති ශක්තිමත් වෘක්‍ෂය කරා ඔසවාලිය හැකි ශක්තිමත් වෘක්‍ෂ ශාඛාවක් ද වැනි ය. තවද මේ වනාහි ශික්‍ෂාකාමී දිවියට හානි කරනු ලබන අවිශ්වාසය නමැති ආශිවිෂයාගේ ඇතුල්වීම වළක්වනු ලබන දොරටුවක් ද වැනි ය.

තවද මේ ශ්‍රද්ධාව කුණාටු සහිත කාල ගුණයක් පවත්නා අවස්ථාවේ දී නෞකාවක් නැංගුරමට අල්වා බැඳ තබන ශක්තිමත් දම්වැලක් ද වැනි ය. විනාශකාරී සැකය නමැති භයානක කුණාටුව පවත්නා අවස්ථාවේ දී මේ ශ්‍රද්ධාව මගින් කෙනෙකු ත්‍රිවිධ රත්නයට ඇලුම් කිරීමෙහි යොමු කරවයි. තවද ශ්‍රද්ධාව වනාහි හස්ති රාජයෙකුගේ හොඬවැලක් වැනිය. මේ විශේෂ ශරීරාවයවය හේතුවෙන්ම ළඟාකර නොගත හැකි වූ උසස් දේ කෙරෙහි ළංවිය හැකිවේ. කුසල කර්මයන්හි යෙදීම හේතුවෙන් සුගතිවල උත්පත්තිය ලබමින් අන්තිමේ දී සසර ගමන අවසන්කොට නිවන් අවබෝධ කිරීමට ශ්‍රද්ධාව මගින් අවශ්‍ය දෑ සැලසේ. ශ්‍රේෂ්ඨ බෞද්ධ ලේඛකයෙකු විසින් පවසන ලද පරිදි විශ්වාසය හෙවත් ශ්‍රද්ධාව වනාහි බුදු දහමට ඇතුළු වියහැකි දොරටුව මෙන් වන අතර ප්‍රඥාව වනාහි සංසාර සංගරය තරණය කිරීමෙහි ලා මිනිසාට උපකාර වන යාත්‍රාව වේ. සප්ත ආර්ය ධනයන් අතුරින් ශ්‍රද්ධාව පළමුවැන්න වේ. තවද ඒ වනාහි පංච බලයන් අතුරින් ද පළමුවැන්න වේ. සත්‍ය වශයෙන්ම ශ්‍රද්ධාව වනාහි පාලක ඉන්ද්‍රිය වන අතර වීර්යය, අවංකබව, ඔත්තප්පය සතිය, සමාධිය හා ප්‍රඥාව පිළිබඳ බලවේගයන්, මේ ශ්‍රද්ධාව හා සම්බන්ධව පවත්නා ආධ්‍යාත්මික බලවේගයන්, වටා කාන්දමක් කෙරෙහි ඇදී යන්නාක් මෙන් එක්රැස් වෙති. කරුණු මෙසේ සළකා බලමින්, අප තුළ තැන්පත් ව පවත්නා ශ්‍රද්ධා නමැති ගිනි පුළුඟුව දල්වා ආලෝකමත් කර ගැන්මෙහි ලා අප විසින් වෙර වැඩිය යුතු වේ. එමඟින් අප තුළ පවත්නා ලෝභ, දෝෂ, මෝහ නමැති අපවිත්‍ර මළ සම්පූර්ණයෙන් සේදී යෑමට කරුණු සැළසෙනු ඇත. තවද අප මනසිකාරයෙන් තොරව සිටින අවස්ථාවන්හි අප චිත්ත සන්තානයන් තුළ පැන නඟින්නාවූ නීවරණයන් හා කෙලෙස් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අප තුළ ශ්‍රද්ධාව, පවත්නා කල්හි එමඟින් නැතිවී, විනාශ වී යෑමට ද කරුණු සැලසේ. අප විසින් ළඟා කර ගැන්මට මහත්සේ පරිශ්‍රමය දරන, එහෙත් කලාතුරකින්ම මේ උපමාවෙහි සඳහන් දිය පහරෙහි ගහනව සිටින්නා වූ කිඹුලුන් වැනි ජලචර සතුන්ට මිනිස් සන්තානයේ පවත්නා ක්ලේශ යන්ව සමාන කර ඇති අතර, වීර මිනිසාට සමාන කරනු ලැබ ඇත්තේ සම්පක්‍චඥන ශ්‍රද්ධාව වේ.

ළඟා කර ගැන්මට කටයුතු සැලසෙන නිශ්චල, පිවිතුරු, සමාධිගත, චිත්තයාගේ හටගැන්ම ද අප තුළ ශ්‍රද්ධාව ඇතිවීමත් සමඟම සිදුවේ. ශ්‍රද්ධාව සයාකාර වේ. ඉන් පළමුවැන්න වනුයේ සම්පසාධන ලක්‍ඛණ ශ්‍රද්ධාවයි. මෙය චක්‍රවර්තී රජකෙනෙකු සතුව පවත්නා මාණික්‍යයට සමාන කරනු ලැබේ. මේ මාණික්‍යය අපවිත්‍ර ජලයෙහි බහාලු කල එම ජලය පවිත්‍ර වේ. එමෙන්ම කෙනෙකු තුළ මේ ශ්‍රද්ධාව ඇති වූ කල්හි ඔහුගේ චිත්ත සන්තානය තුළ පවත්නා පංච නීවරණ ධර්මයන් යටපත් වී, තාවකාලික වශයෙන් සිත පවිත්‍රත්වයට පත්වේ. ශ්‍රද්ධාව පිළිබඳව පවත්නා ප්‍රභේදයන් අතුරින් දෙවැන්න වනුයේ සම්පක්‍චÁදන ලක්‍ඛණ ශ්‍රද්ධාව වේ. කිඹුලුන් වැනි ජලචර සතුන්ගෙන් ගහනවූද, වේගයෙන් ගලාබසින්නා වූද දිය පහරට අසු වී ගොඩ ඒම සඳහා තදින් සටන් කරන තැනැත්තෙකු දක්නට ලැබෙන එක්තරා ශක්තිමත් මිනිසකු අනතුරට භාජන වූ තැනැත්තාගේ ආධාරයට පැමිණ ඔහු එම අනතුරින් ගලවා ගොඩබිම කරා ගෙනයයි. සම්පක්‍චන්‍දන ලක්‍ඛණ ශ්‍රද්ධාව කෙනෙකු කුශල කර්මයන්හි යෙදීමට පොළඹවනු ලබන බලවේගයක් වැනි ය. එමනිසා, මෙමඟින් සංසාරය පිළිබඳ පවත්නා සතර ඕඝයන් ජයගැන්මට හා අභිභවනය කිරීමට ද අවස්ථාව සැලසේ.

ඕකප්පන ශ්‍රද්ධාව තුන්වැන්න වේ. මේ ශ්‍රද්ධාව හටගනු ලබන්නේ, දස සංයෝජන ධර්මයන් අතුරින් සංයෝජන තුනකින් නිදහස්ව සෝවාන් මාර්ගයට පැමිණි උත්තමයන් වහන්සේ තුළ පමණි.මෙවැනි උත්තමයෝ කවර කලෙකවත් අපායේ නූපදිත්. සෝවාන් උත්තමයෝ කවර කලකවත් අපායගාමී නොවෙත්. උන්වහන්සේ විසින් පංච ශීලය මහත් ඕනෑකමින් ආරක්‍ෂා කරනු ලැබේ. කිසිම බ්‍රහ්මයෙක්, මාරයෙක් හෝ දෙවියෙක් මෙවැනි ආර්යන් වහන්සේලා නියම මගින්.

සයාකාර ශ්‍රද්ධා අතුරින් ආගම ශ්‍රද්ධාව සතරවැන්න වේ. මේ වනාහි බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු විසින් තමන් වහන්සේ කවදා නමුත් බුදු බව ලබාගන්නේය යන තද අධිෂ්ඨානයන් යුතුව නියත විවරණ ලබන අවස්ථාවෙහි, උන්වහන්සේ තුළ ඇතිවන ශ්‍රද්ධාව වේ. මෙසේ විවරණ ලබාගැන්මෙන් පසු උත්පත්තිය ලබන කවර භවයකදීවත් උන්වහන්සේ නියත මිථ්‍යාදෘෂ්ටිකව නූපදනාසේක. අධිගම ශ්‍රද්ධාව වනාහි පස්වැන්න වේ. මේ අධිගම ශ්‍රද්ධාව වැඩි වශයෙන්ම රහත් වහන්සේලා හා අනිකුත් ආර්යයන් වහන්සේ තුළ පවත්නා අතර ඒ වනාහි බුද්ධ, ධම්ම හා සංඝ රත්න කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්ධාව වේ. මේ වනාහි උසස්තම වූ ශ්‍රද්ධාව වේ. අවසාන වශයෙන් ඇත්තේ පසාද ශ්‍රද්ධාව වේ. මේ වනාහි පෘථග්ජනයන් තුළ සුළු වේලාවක් පවත්නා ශ්‍රද්ධාව වේ. මේ වනාහි යහපත් දෑ කෙරෙහි ඇති වන විශ්වාසය වන අතර මෙය ඉතා ඉක්මණින් වෙනස්වී යයි.

මෙසේ අප විසින් ශ්‍රද්ධාව පිළිබඳ සුපරීක්‍ෂාකාරීව ක්‍රියා කළ යුතු වේ. ප්‍රඥාවෙන් තොරව ක්‍රියාත්මක වන ශ්‍රද්ධාව හේතුවෙන් අප අවිචාරවත් වන අතර ශ්‍රද්ධාවෙන් තොරව පවත්නා ප්‍රඥාව අප ශඨකපට පුද්ගලයින් කරයි. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමබරව පවත්නා කල්හි ඒ තත්ත්වය කුණාටු සහිත කාලගුණයක් පවත්නා විට නෞකාවක් නැංගුරමට තදින් බැඳ තබනු ලබන ශක්තිමත් යදමකට උපමා කළ හැක. සැකය හෙවත් විචිකිච්ඡාව නමැති විනාශකාරී කුණාටුවලදී මේ ශ්‍රද්ධාව මගින් කෙනෙකුගේ සිත ත්‍රිවිධ රත්නය කෙරෙහි අලවා තබයි. ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පංච බල අතුරින් දෙවැන්න ශීලය වේ. යම්කිසි ශීලයක පිහිටා සිටීමෙන් කෙනෙකු බලාපොරොත්තු වනුයේ තමාට මෙන්ම අන් අයට ද හිංසානොකර ජීවත්වීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙනෙකු අවිහිංසාව පුරුදු කරනු ලබනුයේ නම් හෙතෙම තවත් කෙනෙකුට කයින් හෝ වචනයෙන් හිංසා නොකරනු ඇත. නියම වශයෙන් මෙතෙම සමස්ත ලෝකයටම අභය දානය දෙන්නෙකි. මෙවැනි අවිහිංසාවාදී සිතක් ඇති තැනැත්තාට කිසිම දුෂ්කරතාවයක් නොමැතිව චිත්ත සමාදානය ළඟාකරගත හැක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන කොටස වන සමාධිය වෙත යොමුවීමට සුදුසු තත්ත්වයකට මනස මෙසේ ශීලයෙහි පිහිටා සිටීම මගින් පත්වේ. තවද ශීලයේ පිහිටා සිටීම මඟින් කෙනෙක් මෙලොව වසා පවත්නා දුක් වේදනා අවම කිරීමට මඟ පාදාගනියි. සැබවින්ම මේ වනාහි ඒකාග්‍රතාවයට හා චිත්ත සමාදානයට ද මාර්ගය වේ.

එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කරා පැමිණි දේවතාවෙක් මෙසේ ප්‍රශ්න කරන ලදී.

කිංසු යාව ජරා සාධු - කිංසු සාධු පතිට්ඨිතා

කිංසු නරානං රතනං - කිංසු චොරෙ මූහරං

කෙනෙකු ජරාවට පත්වන තුරා ඔහුගේ යහපතට හේතුවෙමින් පවත්නේ කුමක්ද?. කෙනෙකු තමාගේ සැනසීමට උදෙසා පිහිටා සිටිය යුත්තේ කුමක්හිදි? මිනිසාට ඇති වටිනාතම රත්නය කුමක්ද? සොරුනට පැහැරගත නොහැකි දුලබ දෙය කුමක්ද? මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මෙසේ විය.

“සීලං යාව ජරා සාධු - සද්ධා සාධු පතිට්ඨිතා

පඤ්ඤා නරානං රතනං - පුඤ්ඤං චොරේ ධුහරං “ “ජරාවට පත්වන තුරු කෙනෙකුට සීලයම ප්‍රයෝජනවත් වේ. ශ්‍රද්ධාවෙහි මනාසේ පිහිටීම බෙහෙවින් වැදගත් වේ. මනුෂ්‍යයාට ලබාගත හැකි ඉතාමත් වටිනා රත්නය ප්‍රඥාව වන අතර කෙනෙකු එකතුකරගත් පුණ්‍ය කර්මයන්ම සොරුනට පැහැර ගැනීමේ දුෂ්කර වේ.”

සැබවින්ම මහලු වියට පත්වන තුරු කෙනෙකුට අන් කිසිවක් නොව ශීලයම ප්‍රයෝජනවත් වේ යයි බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේ කුමන හේතුවක් නිසා ද? අනිත්‍ය ලක්‍ෂණ කොට ඇති මෙලොව සියල්ලක්ම කාලය සමඟ වෙනස්වීමට භාජනය වේ. ළදරුවෙකුට උචිත ආහාර තරුණයෙකුට නොසෑහේ. එමෙන්ම තරුණයෙකුට සුදුසු ආහාර පාන වර්ග මහලු තැනැත්තෙකුට හිතකර නොවේ. පහසුවෙන් දිරවිය හැකි ආහාර වර්ගම මහලු තැනැත්තාට හිතකර වේ. මෙසේ සලකා බලත්ම පුද්ගලයාගේ වැඩීමත් සමග ඔහු අනුභවයට ගන්නා ආහාරවල පවා වෙනසක් ඇතිවිය යුතු බව අපට පැහැදිලි ය. ඇඳුම් පැළඳුම් සම්බන්ධව මෙන්ම අනික් දෑ සම්බන්ධයෙන් ද කරුණු මෙසේ වේ. මෙසේ කල්පනා කර බලත්ම වෙනස්වන සුලු අනෙක් වස්තූන් මෙන් ශීලය වෙනස් නොවන අතර එය සෑම කල්හිම කෙනෙකුට හිතකර අන්දමින්ම පවත්නේ ය.

මීළඟට අපි චාග ගුණය ගැන සලකා බලමු. චාගය පිළිබඳව බෞද්ධ මතය සම්බන්ධව අද දින නොයෙක් දෙනා විසින් නා නා මත දරනු ලැබේ. සිල්වත් අයට පමණක් ඒ ඒ දෑ පිරිනැමීම සුදුසුවේය යනු සාමාන්‍ය විශ්වාසයයි. මේ විශ්වාසය පිළිගත හැක්කක් මෙන්ම පිළිගත නොහැකි ද වේ. දෙන ලද දානයට ලෞකික වශයෙන් ආපසු යමක් බලාපොරොත්තුවෙන් දෙනු ලබන තැනැත්තෙකු නම් ඇත්ත වශයෙන්ම ශීලවන්තයෙකු උදෙසාම ඔහුගේ දානය පිරිනැමිය යුතු වේ. ඒ වනාහි සාරවත් අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ගොවියා, සාරවත් භූමියකම තම බීජයන් වැපිරිය යුතුවාක් මෙනි. කෙනෙක් මහත් ඕනෑකමින් බලාපොරොත්තුවන දෑ ළඟා කර ගැන්මට ආධාර වන පංච බල අතුරින් සතර වැන්න වනුයේ ශ්‍රැතිය වේ. ඇසූ පිරූ තැන් ඇති බව යන්න මෙහි ඥත්ථිය වන නමුදු මෙතැන්හි ලා මේ වචනයෙන් අදහස් කෙරෙනුයේ ධර්මය උගෙනීමම වේ. බෞද්ධයෙකු හට සචීය සමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඒ දැනුම එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක කිරීම මගින් ජීවිතයේ දී ලබා ගැනීමට හැකි උපරිම පී‍්‍රතිය ළඟාකර ගැන්මට නම්, ඔහු ප්‍රථමයෙන් බුද්ධ දේශනය පරිපූර්ණ වූද, එමෙන්ම මනාසේ පිහිටුවන ලද සතියෙන් ද යුතුව කියවිය යුතු වේ. පූර්ණ අවධානයෙන් යුතුවම කියවිය යුතු වේ. මේ අන්දමින් ධර්මය පරිශීලනය කරන තැනැත්තා තමා කියවන ලද දේ මනාසේ ධාරණය කරගන්නා අතර සුතධර වේ. මෙවැන්නාගේ මනස ජලය කාන්දුවන නළයක් මෙන් නොව මනසට ඇතුල් කරගත් දේ බොහෝ කල් රඳා පවත්වා ගැන්මේ සමත්වේ.

පංච බලයන් අතුරින් පස්වැන්න වනුයේ ප්‍රඥාව වේ. සියලුම යහ ගුණදම් අතුරින් ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛස්ථානය දෙවා වදාරා ඇත. ප්‍රඥාව වනාහි නොකැළැල් සීලයෙහි හා මානසික දියුණුවේ ප්‍රතිඵලය වේ. ප්‍රඥාව මගින් සියලු ක්ලේශයන් ක්‍ෂය කළ හැකි වේ. මෙමඟින් සියලු දුක් නැතිකොට බෝධි ඥානය ලබාගත හැකි වේ. එමනිසා පඤ්ඤාය පරිසුජ්ජති යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ප්‍රඥාව මගින් කෙනෙකුගේ පාරිශුද්ධත්වය ඇතිවනු ඇත.

ප්‍රඥා විධි අතුරින්, චින්තාමය ප්‍රඥාව දෙවැන්න වේ. මේ වනාහි ඒ ඒ දේ ගැන මෙනෙහි කිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රඥාව වේ. තුන්වැන්න වන ආය කෝසල ඥානය වනාහි කෙනෙකුට ස්වකීය දියුණුව සලසාගත හැකි අන්දම පිළිබඳව ඇති දැනීම වේ. කෙනෙකුගේ දියුණුව සලසා ගැන්මට ඉවහල් වන්නා වූ කරුණු තිස් අටක් ගැන බුදුරජාණන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දී දේශනා කොට වදාරා ඇත. මෙසේ කෙනෙකුගේ ප්‍රගතියට හේතුවන කරුණු හතක් ගැන මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙන අතර ව්‍යග්ග පජ්ජ සූත්‍රයේ දියුණුවට ඉවහල් වන කරුණු සතරක් පිළිබඳව සඳහන් වේ. අපාය කෞශල්‍යය ඥානය හෙවත් පිරිහීමට හේතුවන කරුණු පිළිබඳව ඇති දැනීම සතර වැනි ඥාන දර්ශනය වේ. පිරිහීම් මාර්ගයෙන් වැළකී සිටින අන්දම පිළිබඳව පරාභව සහ වසල සූත්‍ර මගින් බුදුරජාණන් වහන්සේ බෙහෙවින් කරුණු දක්වා ඇත.

පස්වනුව එනුයේ උපාය කෞශල්‍ය ඥානය හෙවත් ස්ථානෝචිත ප්‍රඥාවයි. අනෙක් ඥාන විධි අට සැට මීට වඩා උතුම් ඒවා වන අතර, මේවා කෙනෙකු තුළ පවතිනුයේ කලාතුරකින් පමණක් වේ. මේවා අතුරින් කම්මස්ස, කථා ප්‍රඥාව ලත් තැනැත්තාට හේතුඵල ධර්මතාවය පිළිබඳව පවත්නා වෙනස් කළ නොහැකි සත්‍යය ගැන වැටහීමක් ලැබෙනු ඇත. සච්චානුලෝමික ප්‍රඥා නමින් හැඳින්වෙන චතුරාර්යය සත්‍යය පිළිබඳ වැටහීම මගින් ඇතිවන භවනාමය ප්‍රඥාව මගින් යථාභූත ඥාන දර්ශනය පහළ වේ. කරුණු මෙසේ සලකා බලත්ම, ශ්‍රද්ධා, ශීල, සුත, චාග, පඤ්ඤා යන ගුණයන් කෙනෙකු සතුව පවත්නේ නම් ඔහුට ලෞකික වශයෙන් තමාගේ බලාපොරොත්තු පමණක් නොව අවසාන ජයග්‍රහණය වන නිවනද සාක්‍ෂාත් කර ගැන්මට අවස්ථාව සැලසේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.