Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කයට-මනසට-සුව දෙන සිල් කුසල්

අපට හැදෙන ලෙඩදුක් ගැන සිතන විට අප විසින් අවසානය යොමු කළ යුතු අංශ දෙකක් ඇතැයි සිතේ. එනම්, ලෙඩ නොවැළෙඳන්නට හා ලෙඩ වැළඳුණු විට පිළියම් යොදන්නට හෙවත් සුවකර ගන්නට වගබලා ගැනීමයි. මෙය එක් අතකින් කෙළින් ම පුද්ගල චර්යාව හෙවත් චරණය පදනම් කොට පවතින්නක් බව පෙනේ. එකල්හි පුද්ගලයාගේ කය හා සිත යන දෙකට හිතකර චර්යාවේ යෙදීමත්, අහිතකර චර්යාවෙන් වැළකීමත් වැදගත් වෙයි.

අපි මේවා චාරිත්‍ර හා වාරිත්‍ර ලෙස හඳුන්වමු. අප දන්නා පරිදි චාරිත්‍ර වාරිත්‍ර යන්න චාරිත්ත - වාරිත්ත, සරිත් – වරිත් හා සිරිත් - විරිත් යනුවෙන් ද භාවිතයේ යෙදී ඇත. සිරිත් යනු සැරිය යුතු දහම් ද, විරිත් යනු වැරිය යුතු දහම් ද ලෙස අර්ථකථනය කර තිබේ. සැබවින්ම ඒ අර්ථකථනයට අනුව සිරිත් යනු අප විසින් අපේ යහපත පිණිස හේතුවන ලෙස කරන්නට සුදුසු හොඳ, යහපත්, ගුණවත්, පින් සහිත කටයුතු වන කුසල් ලෙස හැඳින්විය හැකි ය. විරිත් යනු අප විසින් අපේ අයහපත පිණිස හේතු වන හෙයින් කරන්නට නරක, අයහපත්, දුගුණවත්, පව් සහිත කටයුතු වන අකුසල් ලෙස හැඳින්විය හැකි ය.

කුසල් යනු කෝසල්ල, කෞශල්‍ය හෙවත් දක්ෂතා ( Skills ) ලෙසද, අකුසල් යනු අක්කෝසල්ල, අකෞශල්‍ය හෙවත් අදක්ෂතා ලෙස ද අර්ථ ගන්වා ඇත. මෙහිදී විශේෂයෙන් ම පුද්ගලයාගේ දියුණුව පිණිස හේතුවන කායික හා මානසික ක්‍රියාකාරිත්වය හෙවත් දැනුම දක්ෂතාව යි. පුද්ගලයාගේ පිරිහීම පිණිස හේතු වන කායික හා මානසික ක්‍රියාකාරිත්වය හෙවත් දැනුම කිසිසේත් දක්ෂතාව හැකියාව හෝ කුසලතාව නොවන බව තරයේ සිතට ගත යුතුය. සාමාන්‍ය වහරෙහි එන පව් හා පින් යනු අදක්ෂතා හා දක්ෂතා යි. පොදු වහරට අනුව මෙය ආගමික චින්තනයක් වන අතර දාර්ශනික අර්ථයෙන් ගත් කළ ධර්මානුගත චින්තනයක් බව කිය හැකි ය.

කුසල් දහම්හි සරමින්, අකුසල් දහම් වරමින් දිවි මඟ සකසා ගැනීම ධර්මානුකූ®ල බවට ආගමික චින්තනය අනුදැන ඇත. අනෙක් අතට කායික හා මානසික සෞඛ්‍ය පිණිස වැරැදි දිවි පැවතුම් වරා, නිවැරැදි දිවි පැවතුම්හි සැරීමෙන් කටයුතු කිරීම වැදගත් වන බවට අනුදැන තිබේ. මේ අනුව පිළිගත හැකි වන්නේ මිනිස් ජීවිතයක් සාර්ථක වීම පිණිස කායික හා මානසික සෞඛ්‍යයත්, කුසලාකුසල කාර්යාවලියත් සඳහා අනුගමනය කළ යුතුªවන්නේ එක ම මඟක් වන බව යි. චාරිත්‍රමය හා වාරික්‍රමය ප්‍රතිපත්ති විෂයයෙහි බයිබලය, ත්‍රිපිටකය, කුරානය වැනි ආගමික මූල ග්‍රන්ථයන්හි ඇති සමාන්තර මතිමතාන්තර වලින් ඉහත දැක්වුණු තර්කය සාධනය කළ හැකි බව පෙනේ.

පහත දැක්වෙන පරිදි දස කුසල්, දස අකුසල් සහ පන්සිල් පිළිබඳ විග්‍රහයෙන් ධර්ම සංකල්පයක් පිළිබඳ විවරණයක්, ලෙඩදුක් විෂයයෙහි කෙතරම් අදාළ වන්නේදැයි සසඳා බලන්නට හැකිවනු ඇතැයි සිතේ.

බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් පුරා දෙසන ලද ධර්මස්කන්ධය පුළුල් වපසරියක් ආවරණය කරගෙන ඇත. සැබවින් ම ඇතැම් විට ගිහියන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස පවා දෙසා වදාළ සූත්‍ර වල ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ම¼ගට යොමු කර විමුක්තිය සඳහා හේතුකාරක අනුපිළිවෙළ ක්‍රමයක් දක්වා තිබේ.

මංගල, මෙත්ත, සිඟාලෝවාද, පරාභව ආදී බෙහෙවින් ජනපි‍්‍රය සූත්‍ර කිපයකින් වුවත් ඒ බව පැහැදිලි කළ හැකිය. කෙසේ වෙතත් මෙහිදී අරමුණු කැරෙන්නේ ගිහියාගේ නිත්‍ය ශීලය හැටියට ගැනෙන පන්සිල් මඟින් කවරකුට හෝ විමුක්ති සුවයක් ලද හැක්කේ කෙසේ දැයි විමසා බැලීම යි. එහිදී දස කුසල්, දස අකුසල් සහ පන්සිල් යන සංකල්ප තුන සැසඳීම බෙහෙවින් වැදගත් වෙති යි සිතේ. ඒ අනෙකක් නිසා නොව ඒවා ඕනෑ ම බෞද්ධයකුට ඉතා සරල සහ මූලික ව්‍යවහාර වන හෙයිනි.

අප කාටත් මැනවින් හුරු පුරුදු වුවත්, හුදෙක් මතක් කර ගැනීම සඳහා දස අකුසල් මෙසේ අරුත් ගැන්වීම මැනව යි හැඟේ. අකුසල් නම් වැරැදිය. අපි කයින්, වචනයෙන් හා මනසින් අකුසල් හෙවත් වැරැදි කරමු.

කයින් කැරෙන්නේ පණ නැසීම, අන්සතු දේ ගැනීම හා කාමයේ වරදවා හැසිරීම යි. වචනයෙන් කැරෙන්නේ බොරුකීම, කේලාම් කීම, පරුෂ බිණීම හා හිස් වචන දෙඩීම යි. සිතින් කැරෙන්නේ දැඩි ලෝභය, ක්‍රෝධය සහ මිථ්‍යා දෘෂ්ටිය යි.

දස අකුසල් සමඟ සසඳමින් දස කුසල් යනු කවරේ දැ යි හඳුන්වා දිය හැකිය. පුන පුනා වට්ටෝරු ගත නොකළත්, කුසල් යනු දස අකුසලින් වැලකීම බව ධර්මය අර්ථකථනය කරන තන්හි දක්වා තිබේ. එනම්, දස කුසල් සිදුකිරීම චාරිත්‍ර ශීලය යි. දස අකුසල් වලින් වැළකීම චාරිත්‍ර ශීලය යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.