Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ සර්වඥ වූ සේක් ද?

ක්‍රි.පූ. 6 වන සියවසය වන විට බුද්ධ කාලීන භාරත සමාජය තුළ සර්වඥතාඤාණය පිළිබඳ විවිධ මතභේද පැන නැගී තිබුණි. බුදුරජාණන් වහන්සේ සර්වඥතාඤාණයෙන් යුක්ත වූ සේක්ද? නැද්ද? යන දාර්ශනික ගැටලුව එදා පටන් පැවතගෙන එන්නකි. බුදුරජාණන් වහන්සේ අනෙක් භාරතීය ආගමික නායකයන් මෙන් තමන් වහන්සේ සර්වඥ යැයි කිසි දිනෙක ප්‍රකාශ කොට නැත. එසේ වුවත් නොයෙක් නිකායගත සාධක අනුව උන් වහන්සේ සර්වඥතාඤාණයෙන් යුක්ත වූ බව නම් ඉතා පැහැදිලි කරුණකි.

අංගුත්තර නිකායේ සඳහන් පරිදි ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ශට් ශාස්තෘන් අතරින් පූර්ණ කස්සපටත් නිගණ්ඨනාථ පුත්තයන්ටත් සර්වඥතාඤාණය තිබූ බව ඔවුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කොට ඇත. ජෛන ග්‍රන්ථ වල දැක්වෙන අන්දමට ජෛන මහා වීරතුමා (නිගණ්ඨනාථපුත්ත ) තමන් සර්වඥයැයි ප්‍රකාශ කොට ඇත. එබැවින් එතුමාගේ සව්වෝ එතුමා පවසන සියල්ල සත්‍ය යැයි ඇද වූහ. ශිවඥාන නීලකේශි වැනි ද්‍රවිඩ ග්‍රන්ථ අනුව බලන කල මක්ඛලිගෝසාල ද සර්වඥතාඤාණයෙන් යුක්ත වූ බව මහාචාර්ය බෂාමි පවසයි. නමුත් ඒ පිළිබඳව සූත්‍ර වල සඳහනක් නැත.

මජ්ක්‍ධිම නිකායේ තේවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේට සර්වඥතාඤාණය ආරෝපණය කරන අය මුසාවක් තෙපලන බවත් තමන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් (එනම් පුබ්බේනිවාසානුස්සති ඤාණය චුතූපපාත ඤාණය , ආසවක්ඛ්‍යා ඤාණය) යුත් අයෙකු ලෙස හැඳින්වීම වඩාත් සුදුසු වන බවත්ය. මජ්ඣිම නිකායේ (ම.නි) සන්දක සූත්‍රයේදී උන් වහන්සේ ආගම් කොටස් දෙකකට බෙදා දක්වති.

ඉන් එකක් නම් “අබ්‍රහ්මචරිය වාද ‘’ ලෙස හැඳින්වෙන බොරු ආගම්ය. අනෙක නම් අනස්සායිත බ්‍රහ්මචරිය ලෙස හැඳින්වෙන විශ්වාසය තැබිය නොහැකි ආගම්ය. ශාස්තෘන් වහන්සේට සර්වඥතාඤාණය ආරෝපණය කරන ආගම් මෙසේ විශ්වාසය තැබිය නොහැකි ආගම් යටතට ඇතුළත් කොට ඇත. ම. නිකායේ දේවදහ සූත්‍රයේදී තවදුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේට නිතරම පවත්නා සර්වඥතා ඤාණයක් නොමැති බවත් ත්‍රිවිද්‍යාවන්ට අනුව සමාපත්තීන් වලට සමවැදී ලෝකයේ කරුණු දැන ගන්නා බවත්ය.

මේ අනුව පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ මෙන් සර්වඥ යැයි පිළිගැනීමට කැමැත්තක් නොදැක්වූ බවයි. මීට හේතුවක් ලෙස සැලකිය හැක්කේ සර්වඥා ඤාණය යන්නට එදා භාරතීය සමාජය තුළ මුල් බැසගෙන තිබූ අර්ථකථනයයි. එදා සර්වඥතාඤාණය ලෙස හැඳින්වූයේ ඇවිදින විට, නිදන විට වැඩ කරන විට වාඩි වී සිටින විට, අවදිව සිටින විට යනාදි නොයෙක් ක්‍රියාකාරකම් කරන අවස්ථා වලදී සියල්ල දන්නා, සියල්ල දකින ඤාණයක් ලෙසයි. එකවර සියල්ල දනියි. සියල්ල දකියි. යන ඤාණයෙන් යුත් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු තමන් වහන්සේට විද්‍යාමාන නොවන බව බුදුරජාණන් වහන්සේ පැවසූ අයුරක් කොසොල් රජුට දැන ගන්නට ලැබී ඇති බව මජ්ඣිම නිකායේ කරන්ණ කත්ථල සුත්‍රයේ දැක්වේ. එසේම සියලු අවස්ථාවලදී සියල්ල දනියි. දකියි යන සර්වඥතාඤාණය ම.නි. සන්දක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උපහාසයට ලක්කොට ඇත.

සර්වඥතාඤාණයෙන් යුත් පුද්ගලයා ‘සර්වඥ ‘ එසේත් නැතහොත් ‘සබ්බඤ්ඤ ‘ යනුවෙන් හැඳින්වේ.

එනම් සියලු දේ දැන ගැනීමට හැකි ඤාණ ශක්තියෙන් යුත් පුද්ගලයා සර්වඥ බවයි.

බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් එය ලෝක සබ්බ යන දෙපදයෙන් වඩාත් අර්ථවත් වේ. මිලින්ද ප්‍රශ්නයේදී මිලිඳු රජතුමා නාගසේන ස්ථවිරයන් වහන්සේගෙන් අසන්නේද බුදුන් වහන්සේ සර්වඥ ද ? නැද්ද? යන්නයි. එහිදී නාගසේන හිමියන්ගේ පිළිතුර වන්නේ බුදුරජාණන් වහන්සේගේ සියල්ල දන්නා නුවණ ආවර්ජන ප්‍රතිබද්ධ බවයි. එනම් උන් වහන්සේට අවශ්‍ය නම් අවශ්‍ය තන්හිදී සර්වඥතා ඤාණය ලබාගත හැකි බවයි. මිලින්ද ප්‍රශ්නයේ සඳහන් මෙම පිළිතුර ඔස්සේ යමින් සූසන් නම් පඬිවරයා බුදුරජාණන් වහන්සේ සර්වඥ යැයි ඔප්පු කර දක්වයි.

බුද්ධ දේශනා වල අරමුණ කම් සැප පිළිබඳව කලකිරීමට (නිබ්බිදාය) නොඇලීමට (විරාගය) නිරෝධයට , සම්බෝධියට සහ අවසාන වශයෙන් නිර්වාණගාමී මාර්ගයට පුද්ගලයා යොමු කරවීමයි. එහෙයින් අතිශයින් ඤාණ පථයෙන් ඉක්ම වූ දාර්ශනික ගැටලු විසඳීම බුදු දහමේ අරමුණ නොවේ.

අව්‍යාකෘත ප්‍රශ්න වලදීද බුදුරජාණන් වහන්සේ නිහඬව සිටියේ එම ප්‍රශ්න විසඳීම තුළින් නිර්වාණගාමී මාර්ගය උදා නොවන බැවිනි.

කෙසේ වෙතත් සර්වඥතාඤාණය පිළිබඳව විමසීමේදී බුදුන් වහන්සේ එම ඤාණයෙන් යුක්ත වූ බව පිළිගැනීමට හේත වු කාරණා රාශියක් සූත්‍ර දේශනා වල අන්තර්ගත වේ. එම ඤාණය නම් එදා භාරතීය සමාජයේ තිබූ අර්ථකථනයෙන් නොව සබ්බ ලෝක යන ව්‍යවහාරයන් දෙක අනුව බව කිව යුතුය.

මෙම වචන දෙකෙන්ම කියැවෙන්නේ එකම අදහසකි. එනම් චක්ඛු, සෝත , ඝාන, ජිව්හා ශරීර යන ෂට් ආයතන සහ රූප , ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ යන ඒවායේ බාහිර අරමුණු වල ස්වභාවය පිළිබඳ යථා දැනුමයි. සංයුක්ත නිකායේ ලෝක සුත්‍රයේදී ලෝකය යනු කුමක්දැයි යන්න පිළිබඳ කදිම විවරණයක් බුදුන් වහන්සේ සපයා ඇත. එනම් ඉමස්මිං යෙව බ්‍යාමමත්තේ කලේබරේ ...”

මේ සිත් පිත් සහිත බඹයක් පමණ වූ සිරුරෙහිම ලෝකයත්,ලෝකයේ කට ගැනීමත්, ලෝක නිරෝධයක් , නිරෝධයට පැමිණෙන මගත් දක්වමි යනු එහි අදහසයි.

මේ අනුව ලෝකය යනු අප පංචස්කන්ධයම වන බව පැහැදිලිය.ලෝකය නිර්මාණය වන්නේ ඉහත දැක්වූ ෂට් ආයතනයත් ඒවාට ආරම්මණයන් ගොදුරු වීම නිසා ඇති වන ක්‍රියාකාරිත්වයක් තුළිනි.

ඒවා නොමැති නම් ලෝකය ද නැත. ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයත් එමගින් ස්පර්ශයත් ස්පර්ශය හේතුකොටගෙන වේදනාවත් එමගින් තෘෂ්ණාවත් යනාදි වශයෙන් හේතු ඵල වාදිව ලෝකය ඇති වන අයුරු පෙන්වා දිය හැකිය. මෙය නම් ලෝකය පහළ වීමයි. මේ අනුව ලෝකය නම් සියල්ල බවත් සියල්ල නම් ෂට් ආයතනයත් ඒවායේ බාහිර ආරම්මණත් බව සැලකිය හැකිය.

සකුළුදායි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමන් වහන්සේ අපරාන්තය පිළිබඳ ගැටලු චුතූපපාත ඤාණයෙන්ද පූර්වාන්තය පිළිබඳ ගැටලු පුබ්බේ නිවාසානුස්සති ඤාණයෙන් ස්මරණය කරන බවයි. එසේම ම.නි. මහා සීහනාද සූත්‍රයේදී උන් වහන්සේ තමන් තුළ ඇති දස බල ඤාණ මොනවාද ? යන්න විග්‍රහකොට දක්වති. තවද තමන් වහන්සේට අනාගතය පිළිබඳ බෝධිජ ඤාණයක් ඇති බව දීඝ නිකායේ පාසාදික සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරති. කේවට්ට සූත්‍රයේ දැක්වෙන පරිදි එක්තරා භික්ෂුවකගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට බ්‍රහ්මයාට නොහැකි වී එය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැන ගන්නා ලෙස ඔහු කියා සිටියි.

මේ අනුව බුදුන් වහන්සේ තුල තිබූ ඤාණ පථය කොතරම් පුළුල් වූවක් ද යන්න අපට සිතා ගත හැකිය. එබැවින් ඉහත දැක් වූ නිකායගත සාධක අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ සැබවින්ම සර්වඥතාඤාණයෙන් යුක්ත වූ බවයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.