Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හේතු ඵල වාදයෙන් සමාජ ගැටලු වලට විසඳුමක්

දුරාතීතයේ ජීවත් වූ මිනිසාගේ අවශ්‍යතා ඉතා සරල හා ලුහුඬු ඒවා විය. ඔහුට මූලික අවශ්‍යතා වශයෙන් ඇවැසි වූයේ , කුසට ආහාර, ඉනට වතක් හා වාසයට ගුහාවක් නැතිනම් පියස්සක් පමණකි. මේ සියල්ල නොඅඩුව - අසළින් පැතිර තිබූ වන ගහනයෙන් සපුරා ගැනීමට හැකි වුවා පමණක් නොව ජීවත් වීමට එතරම් ශ්‍රමයක් වැය කරන්නටද ඔහුට ඇවැසි නොවීය.

එහෙත් නූතන සමාජයේ මෙම යාන්ත්‍රණය ඉහත යුගයට වඩා බොහෝ සෙයින් සංකීර්ණ තත්ත්වයක පවතී. මෙය, ‘මාස්ලෝ ‘ නමැති සමාජ විද්‍යාඥයා ඉතා පැහැදිලි අන්දමින් විග්‍රහ කොට ඇත. එක්තරා ප්‍රස්ථාරික ක්‍රමයකට වර්ධනය වන එම අවශ්‍යතා, පංචකයකට වර්ගීකරණය කොට ඇත. මිනිසාගේ පළමු අවශ්‍යතාව , ශාරීරික අවශ්‍යතා (Physiological Needs) ලෙස හඳුන්වා ඇත. එම සාධකය සපිරුණු විට ඔහුට තමාගේ ආරක්‍ෂාව හා දේපළ වල සුරක්‍ෂිතභාවය රැකගැනීමේ අවශ්‍යතාව වන ආරක්‍ෂණ අවශ්‍යතා(Safety Needs)ඇති වෙයි.

ඉන් පසු ඔහුට ‘ තමාද සැලකිය යුතු පුද්ගලයෙක් ය ‘ යන හැඟීම ඇතිවීම නිසා සමාජ අවශ්‍යතා  (Social Needs) පැන නඟියි. අනතුරුව සමාජය තමන් පිළිගැනීමේ අවශ්‍යතාව (Esteem Needs ) ඇති වෙයි. එයද සපිරුණු විට, ඉහළම තලය වන ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව (Self Actualisation Needs) ඇති වන අන්දම , මාස්ලෝ විසින් ඉතා පරිපූර්ණ අන්දමින් විග්‍රහකොට ඇත.

මෙසේ ඉහතින් විස්තර කරන ලද මනුෂ්‍ය අවශ්‍යතා යම් හෙයකින් ඉටු කර ගැනීමට අවහිරතාවයක් ඇති වූවහොත්, ඉන් ගැටලුවක් පැන නගිනු ඇත. එක් එක් සමාජ පන්ති වලට තමන්ගේ සාපේක්‍ෂ අවශ්‍යතා ඉටු නොවීමට යම් - යම් හේතු සාධක බලපෑම් එල්ලවනුයේ, විවිධ අයුරිනි. කෙසේ වුවත් මෙවැනි දෑ එක්කෝ අනවශ්‍ය , අවශ්‍ය නැතිනම් අත්‍යවශ්‍ය ඒවා විය හැකිය. ඒ කුමක් නමුත් තමන්ට හැඟෙන අන්දමට තම අවශ්‍යතා ඉටු නොවුණහොත් එසැණින් ගැටලුවක් හට ගනු ඇත. සමාජයේ නා- නා ගැටලු හට ගැනෙනුනේ, ඒ අන්දමිනි.

සමාන මානසික මට්ටම් වලදී බොහෝ දෙනා කණ්ඩායම් වශයෙන් බෙදුණු විට ත්‍රස්තවාදය වැනි ගැටලු පවා හට ගැනෙනු ඇත.

මා විසින් ඉහතින් විස්තර කරනු ලැබුවේ සමාජ ගැටලු පැන නගිනා ආකාරය පිළිබඳවයි. බෞද්ධ දර්ශනයේ සූත්‍ර පිටකයේ චක්කවත්තී සීහනාද හා කූටදත්ත වැනි සූත්‍ර වල ද , සමාජ ගත දුක හටගන්නා ආකාරය තාර්කික ලෙස පෙන්වාදී ඇත. මෙකී ගැටලු නිරාකරණයේදී බෞද්ධ හේතු ඵල න්‍යායයෙන් හෙවත් ප්‍රතීත්‍ය සමුත්පාදයෙන් ගත හැකි ආභාෂය අල්ප නොවේ. නූතන මනෝ විද්‍යාඥයින් විග්‍රහ කරන ගැටලු විසඳීමේ විද්‍යාත්මක ක්‍රමයද ඒ තුළම අන්තර් ගත වී තිබීම ආශ්චර්ය ජනකය. මා ඉන් අදහස් කරන්නේ නූතන බටහිර විද්‍යාවත් බෞද්ධ ඉගැන්වීමත් එක හා සමානය යන්න නොවේ. මන්ද, එය එසේ ප්‍රකාශ කළ හොත් එය අන්තගාමී ප්‍රකාශයක් වනු නොඅනුමානය.

පටිච්චසමුප්පාදය තුළ ඇත්තේ හේතු ඵල පිළිබඳ මූලධර්මයකි.

බුදුරජාණන් වහන්සේ එය ද්වාදසාකාරයකින් ඉදිරිපත් කොට ඇත්තේ අපූර්වත්වයක්ද විදහා පාමිනි. සරු දේ සරු හැටියට ගැනීමට නොදන්නාකම හෙවත් අවිද්‍යාව නිසා, සංඛාර හට ගනී. මෙහි ‘සංඛාර ‘ යනු ඒ ඒ ඉන්ද්‍රියයනට ගෝචර වන අරමුූණු වලට අනුරූපව චේතනා පහළ වීමයි. ඒ අන්දමට හේතු ප්‍රත්‍ය නියාමයට අනුකූලව පිළිවෙලින් විඤ්ඤාණ , නාමරූප , සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව , ජාති ජරා මරණ ආදිය ඇති වන අයුරු විස්තර වී ඇත. ප්‍රතීත්‍ය සමුප්පාදයේ සියලු අංග, එකකට එකක් සාපේක්‍ෂව එයට ඉදිරියෙන් ඇති අංගයට ඵලය වෙයි.එහි මූල සූත්‍රය මෙයයි.

ඉමස්මිං සති ඉදංහොති
මෙය ඇති කල්හි මෙය වෙයි

ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
මෙය උපදින කල මෙයද උපදියි

මේ මූල ධර්මයම පහත දැක්වෙන විද්‍යාත්මක ක්‍රමයෙන්ද තවදුරටත් පැහැදිලි වනු ඇත.

AB රේඛාව උස ද මිටි ද යන අර්ථය දිය හැක්කේ, CD හා EF රේඛා දෙක පවතින ස්වභාවය අනුවය. AB රේඛාව CD ට සාපේක්‍ෂව උසයි. EF රේඛාවට සාපේක්‍ෂව මිටියි. මෙම සරල රේඛා තුන හොඳින් නිරීක්‍ෂණය කොට බැලුවහොත් ඒවා එකිනෙකට සාපේක්‍ෂ පමණක් නොව, පූර්ව- අපර සම්බන්ධයක්ද ඒ තුළ පවතින බව පෙනී යයි. ඉහත සූත්‍රයේ ද්වාදසංග ක්‍රමයේද අවිද්‍යාව නිසා සංස්කාර ද සංඛාර නිසා විඤ්ඤාණද ආදී වශයෙන් පෙර - පසු හේතු - ඵල වන මූලධර්මය අනුව, ජීවියාගේ දුක්ඛ ප්‍රභවය , භවයෙන් භවයට ගමන් ගන්නා ආකාරය පැහැදිලි වෙයි.

බුදුන්වහන්සේ ගොවියකු සම්බන්ධ උපමාවකින්ද මෙය තව දුරටත් පැහැදිලි කොට ඇත. ගොවියා ගොයම් ගසින් සරු අස්වැන්නක් අපේක්‍ෂා කරයි. මෙහිදී ඵලය ගොයම් ගස නම් ඒ ඵලය සඳහා හේතු වශයෙන් වී ඇටය, ජලය, පොහොර , පස, වාතාශ්‍රය හා ගොවියාගේ ශ්‍රමය ගත හැකිය. අස්වැන්නේ අඩු වැඩි වීම් සඳහා මේ හේතු සියල්ල බලපානු ඇත. අස්වැන්න නොලැබී යෑමටද මේ හේතු සාධක ම බලපාන බව වටහා ගත හැකිය.

මේ මුළු ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නිරීක්‍ෂණය, උපකල්පනය, පරීක්‍ෂණය , දත්ත රැස් කිරීම , දත්ත විශේලේෂණය , අර්ථ නිරූපණය හා නිගමන කරා එළැඹීමයි.

උක්ත කරුණු සැලකිල්ලට ගෙන බලන විට නූතන විද්‍යාත්මක ක්‍රම හා බෞද්ධ විද්‍යාත්මක චින්තනය අතර සමානත්වයක් දැකිය හැකිය. කෙසේ වෙතත් සමාජයේ සදාචාරය හා අධ්‍යාත්මික සංවර්ධනය, භෞතික විද්‍යාවෙන් ඉටු නොවේ.

සමාජ ගැටලු නිරාකරණයට බෞද්ධ විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කරගත හැකි බව මින් පැහැදිලි වෙයි. මන්ද නූතන විද්‍යාවේ දියුණුව එක් අතකින් සමාජයට යහපතක් වන අතර, අනෙක් අතින් සමාජ පරිහානියකටද හේතු භූත වන බැවිනි.

හේතු - ඵල ධර්මතාවේ (පටිච්ච සමුප්පාදයේ ) මූල සූත්‍රය මම මුලදී සඳහන් කළෙමි. එහි නිශේධන ධර්මයද සැලකිල්ලට ගැනීමෙන් නූතන සමාජ ගැටලු වලට බලපාන හේතු සමාලෝචනය කොට එම හේතු ප්‍රත්‍ය අභාවයට යැවීමෙන් එම ගැටලු විසඳා ගත හැකි වන අයුරු පැහැදිලි කළ ඛ්ැකිය.

ඉමස්මිං අසති - ඉදං නහොති
මෙය නැති කල්හි , මෙය නොවෙයි

ඉමස්ස නිරෝධා - ඉදං නිරුජ්ඣති
මෙය නැතිවීමෙන් මෙය නිරුද්ධ වෙයි

අනුලෝම පටිච්චසමුප්පාදයෙන් ලෝකයේ පැවැත්මද පටිලෝම පටිච්ච සමුප්පාදයෙන් ලෝකයේ නැවැත්මද අර්ථවත් වන අන්දම පැහැදිලිය.

සමාජ දුකට එකම පිළිසරණ අධ්‍යාත්මික සංවර්ධනයයි. සමාජ , ආර්ථික , දේශපාලන ආදී සියලු ගැටලුවලට විසඳුම් මේ න්‍යාය තුළ අන්තර්ගත වී ඇත. සමාජය භෞතික වශයෙන් දියුණු වන තරමට , එයට සාපේක්‍ෂව එහි ගුණධර්ම පිරිහෙන අන්දමද මින් හොඳින් පැහැදිලි වෙයි. සම්බුදු පියාණන් වහන්සේ හේතු ඵල න්‍යාය දේශනා කළේ සත්ත්වයාගේ දුක මුළුමනින්ම අහෝසි කොට, ඔහු නිවන කරා යොමු කිරීමටයි. ඒ කෙසේ වෙතත් මේ මූලධර්මය අපගේ මෙලොව ජීවිතයට අදාළ කර ගැනීමෙන් යහපත් සමාජයකට අඩිතාලමද යොදාගත හැකි අන්දම පැහැදිලිය.

බෞද්ධ දර්ශනයෙන්, විද්‍යාව පහළ වන්නේ එලෙසිනි. බෞද්ධ විද්‍යාත්මක චින්තනය ඒ අනුව පටිච්ච සමුප්පාද ධර්මතාව තුළින්, මනාව හඳුනාගත හැකි වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.