Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙලෙස් වලාකුළෙන් මිදී ලොව බබලන සදක් වන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යෝච පුබ්බේ පමජ්ඣිත්වා
පච්චා සෝ නප්ප මජ්ක්‍ධති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා

කාරුණික පින්වතුනි

මජ්ක්‍ධිම නිකායේ රාජ වග්ගයට අයත් ගාථාවකි ඉහත දැක්වූයේ අපේ බෞද්ධ කථා බෞද්ධ ජනතාවට නිතර දෙවේලෙහි අසා පළපුරුදුයි.

“අහිංසක “ නමින් උපන් කුමරා ඉතා දක්‍ෂ ලෙස ශිල්ප හැදෑරුවා. ඔහු හා සම වයසේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයන් තුළ මේ කුමාරයාගේ තිබූ දක්‍ෂතාවය නිසා ඊර්ෂ්‍යාවක් ඇති වුණා.

ඉතින් මේ දක්‍ෂ ලෙස ශිල්ප හදාරන අහිංසක කුමාරයාගේ අධ්‍යාපන කටයුතු අඩාල කරන්නට නොයෙක් ආකාරයෙන් කටයුතු කළද , එසේ උත්සාහ කළ පිරිස කණ්ඩායම් තුනක් ලෙස ගුරුවරයාට කේලාම් කියන්නට පටන් ගත්තා. නැති වැරැදි ඇති කර පෙන්වීමටයි, ඔවුන් උත්සාහ කළේ .

අහිංසක කුමාරයා තම ගුරුවරයාටත් ගුරුවරයාගේ බිරියටත් මවුපියන් සේ සැලකූ® කුමාරයෙක්,

කෙසේ වුවත් අර පළමු කණ්ඩායම මේ අහිංසක කුමාරයා පිළිබඳ නැති වැරැදි මතු කර තම ගුරුවරයාට කියන වේලාවේදී ගුරුවරයා ඒ කිසිවක් පිළි ගත්තේ නෑ.

ටික දිනක් ගතවීමෙන් පසු අහිංසක කුමාරයා ගැන දෙවැනි කණ්ඩායමත් අර පළමු කණ්ඩායම කී විස්තරයම කියන්නට පටන් ගත්තා. පෙර සේම මේ කණ්ඩායම කියූ කරුණුත් ගුරුවරයා පිළිගත්තේ නෑ.

තවත් ටික දිනක් ගත වී මෙන් පසු තෙවැනි කණ්ඩායමත් අර පළමු දෙවැනි කණ්ඩායම් කී කරුණුම කියන්නට පටන් ගත්තා.

ඒ තෙවැනි කණ්ඩායමක් පිට මං කළත් මේ ගුරුවරයාගේ හිත ද එවිට තරමක් වෙනස් වුණා.මොවුන් සඳහන් කළ කරුණු ගැන සිතන්නට පටන් ගත්තා.

අහිංසක කුමාරයා තම ගුරු පියාණන්ටත් ගුරු මෑණියන්ටත් ඉතා භක්තියෙන් සමීපව සංග්‍රහ උපස්ථාන කරනවා. සැකය කෙනකුගේ හිතට ඇතුළු වුවහොත් ඒ තුළින් මහා විනාශයක් සිදුවිය හැකියි. සැකය ඒ තරම්ම මිනිසුන්ගේ ජීවිත වලට බලපානව.

සැකයෙන් යුක්තව කෙනකුගේ ජීවිතය දෙස බලන විට ඒ සැකයට සමාන ලෙස පුද්ගලයාගේ ක්‍රියාකාරකම් පෙනෙන්නට වීම නිසා නොයෙක් ආකාරයේ ව්‍යවසන වලට පත් වනවා. ඉතින් අහිංසක කුමාරයා ගැන දැන් සිය ගුරුවරයා බලන්නේද සැකයෙන්.

කොයිතරම් හොඳ යහපත් පුද්ගලයකු වුවත් විවිධ ආකාරයේ උපක්‍රමශීලි තත්ත්ව නිසා ඒ යහපත් පුද්ගලයාගේ ජීවිතය විනාශ කිරීමේ මාර්ගය සකස් කරන්නට සමාජයේ සිටින සමහර අය උත්සාහ ගන්නවා.

එදා තමන්ගෙන් ශිල්ප හැදෑරූ මේ අහිංසක කුමාරයා විනාශ කරන්නට ගුරුවරයාට සැකය මුල් වුණා. කුමාරයා තුළ වැරැදි ඇතැයි සිතූ නිසා ගුරුවරයා උපක්‍රමයක් වශයෙන් කල්පනා කළා. මිනිසුන් දහසක් මරා ගුරු පූජාවක් තබන්නට යැයි කියා එමගින් ඔහුට දඬුවම් දෙන්නට

මෙසේ මිනිසුන් මරා කටයුතු කිරීමේදී අවසානයේදී රටේ රජතුමාගෙන් නියෝගයක් නිකුත් වෙනවා. මේ අපරාධකරුවා අල්ලා ගැනිමට , එමෙන්ම මේ ශිෂ්‍යයාගේ දයාබර මෑණියන් තවත් අතකින් මේ පුතා සොයා ගෙන යනවා මේ විපතින් බේරා ගැනීමට.

මේ අතර බුදුරජාණන් වහන්සේ, මොහු අංගුලිමාල වැරැදීමකින්වත් තම මව මරණයට පත් කළා නම් ඔහු පංචානන්තර්ය කර්මයට හසු වන බව බුදු නුවණින් දුටුවා .ඒ නිසා ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඔහු බේරා ගැනීමට කටයුතු කළා.

බුදුරදුන් අතර ඔහුට තමන්ට ළංවීමට නොහැකි අයුරින් අධිෂ්ඨාන කළා. දැන් මොහු බුදුරජාණන් වහන්සේ පසු පස හඹා ගෙන එනවා . එහෙත් මොහුට බුදුරජාණන් වහන්සේ වෙතට ළං වීමට නොහැකියි .ඊට පසුව මොහු බුදුරජාණන් වහන්සේට කියනව නවතින්න කියලා. එවිට මොහුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නැවතී සිටින්නේ ඔබත් නතර වන්න කියලා. එවිට මොහු කල්පනා කරනවා මේ ශ්‍රමණයා බොරු කියන්නෙ නෑ.

එහෙත්, මේ ශ්‍රමණයා ගමන් කරන ගමන් නැවතුණා කියන්නේ ඇයි? කියලා බලන්න පින්වතුනි! අංගුලිමාලට බුදුරජාණන් වහන්සේ පිහිට වූ ආකාරය. මේ කුමාරයාගේ මොහොතකට පෙර අදහස වුණේ දහස් වැනියාත් මරල ඇඟිල්ලක් අතට ගැනීමයි. නමුත් මොහොතින් මොහුගේ අදහස වෙනස් කළා. මේ ශ්‍රමණය, බොරු කියන්නේ නෑ. මම යනවා. ශ්‍රමණයාත් යනවා. ඉතින් මම නැවතිලයි ඉන්නෙ, ඔබත් නවතින්න කියල මමත් කියනවා. මෙහි තේරුම කුමක්ද? කියල. දැන ගැනීමේ අවශ්‍යතාව ඔහු තුළ ඇති වුණා. එවැනි උපක්‍රම අපේ ජන සමාජයේ අපේ අම්මල කරනව නේ.

තමන්ගේ අතෙහි සිටින කුඩා බිළිඳා යමක් ඉල්ලා හඬන විට ඒ හැඬීම නතර කරවන්න යොදන උපක්‍රමයේ හැටි කල්පනා කර බලන්න. දකුණු අතේ තිබෙන යමක් ඉල්ලා අර බිළිඳ හඬන කොට උපක්‍රමශීලිව වම් අතට අරගෙන කියනව අන්න කපුට අරගෙන කියා කියලා. කුඩා බිළිඳකු වුවත් ඒ දරුවාගේ මනස හිත ඒ අවස්ථාවේදී වෙනස් වෙනවා. කිසාගෝතමියගේ දරුවා මරණයට පත් වූ වෙලාවේ ඒ මළ කඳ කරේ තියාගෙන ආ කිසා ගෝතමියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සනීප කරන්න නම් නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න කියලා. බලන්න කවුරුත් මැරිල කියල සඳහන් කළ ඒ දරුවගේ මළ සිරුර අරගෙන ආවම බුදුරජාණන් වහන්සේ නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි අනුශාසනා කළහ.

එවිට අර හිතේ එතෙක් පැවති අදහස වෙනස් වුණා. ඒ වෙනස්වීමත් සම¼ඟ ඇයට සහනයක් ඇති වුණා. මෙසේ නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි දේශනා කළාම ඇය ඇවිද ඇවිද නොමළ ගෙයක් සෙව්වා. එයින් ඇයට වැටහුණා හැම නිවසකම මරණයට පත් වූ අය සිටින බව .මේ අයුරින් අංගුලිමාල , කිසාගෝතමී, පටාචාරා ආදි කතා වලින් අපට පේනව පුද්ගලයාගේ මනස වෙනස් කරල යහපත් මාර්ගයට පත් කරන්න අවශ්‍ය අවබෝධය, බුදුරදුන්ගෙන් ලැබුණා.

අහිංසක හෙවත් අංගුලිමාල යහමඟට යොමුවුණේ ඒ මනස වෙනස් කිරීමේ පිළිවෙත නිසයි. සාහසික ගති පැවතුම් වෙනුවට ශාන්ත සංවර ගති පැවතුම් සිත තුළ ඇතිවුණා. බුදුරජාණන් වහන්සේගේ පිහිට - පිළිසරණ නිසා, රහත් භාවයට පත්වුණා. එසේ බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසූ බොහෝ දෙනා වැරැදි මඟෙන් නිවැරැදි මඟට යොමු වී නිවන් දුටු කතා පුවත් අපේ ශාසන ඉතිහාසයෙහි බොහෝ සඳහන් වනවා.

මේ නිසා පින්වතුනි අප කල්පනා කළ යුතු වන්නේ, උත්සාහ කළ යුතු වන්නේ අපේ අතින් යම් යම් වැරැදි අඩු පාඩු සිදු වුණත් ඒවා සියල්ල මඟ හරවාගෙන පසුකාලීනව හෝ යහපත් නිවැරැදි මාර්ගයෙහි ගමන් කිරීමටයි.

යෝච පුබ්බේ පමජ්ඣිත්වා
පච්චා සෝ නප්ප මජ්ඣති

යමෙක් මුල දී පමා වී කටයුතු කළත් පසුව නොපමාව කටයුතු කළොත් ඒ පුද්ගලයාගේ ජීවිතය බබළනවා . “සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා ඔහු මේ ලෝකයෙහි බබළනවා. වළාකුලෙන් මිදුණු සඳ මෙන් බැබළීමට පටන් ගන්නවා.වැරැදි වලින් වැසි ඇති ජීවිතයක් යහපත් පිළිවෙතට පිවිසීමෙන් බබළනවා යන්න, මෙහි සාමාන්‍ය අදහසයි.

පින්වත, ඔබත් ඔබේ ජීවිතයේ මෙතෙක් යම් යම් වැරැදි අඩුපාඩු සිදු වුවා නම්, ඒවා මඟ හරවාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.