Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය

තංගල්ල හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය වැඩි දියුණු කිරීමේ විශේෂ සංවර්ධන සැලැස්මක් දැන් ක්‍රියාත්මකයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආගමික කටයුතු අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන පූජා නගර සංවර්ධන අමාත්‍යාංශයේ අනු දැනුම යටතේ විහාරස්ථානය වැඩි දියුණු කිරීමේ කටයුතු විහාරාධිපති වීරකැටියේ නාලක හිමියන්ගේ අනුශාසනා ඇතිව විහාර කාර්ය සාධක සමිතිය මගින් සිදුකරගෙන යයි.

කොළඹ කතරගම ප්‍රධාන බස් මාර්ගයේ තංගල්ල නගරය පසු කොට කිලෝමීටරයක් පමණ කතරගම දෙසට ගමන් ගන්නා විට තංගලු වෙල්යාය ආරම්භයේ හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටා තිබේ. කතරගම දෙවියන් දෙවිනුවර සිට කතරගමට ගිය ගමනේ ඓතිහාසික වැදගත් කම් රාශියකට සම්බන්ධකමක් ඇති හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටි භූමියේ හේනක් තිබී ඇත.

මෙහි තිබූ පැලේ මදක් විවේකී සුවයෙන් කල් ගෙවා කතරගම දෙවියන් නික්ම ගොස් ඇත. හේනේ පැලේ දෙවියන්ගේ කඩුව අමතක වී යාමෙන් හේනකඩුව යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. ශ්‍රී ස්කන්ධ කුමාර දිව්‍යරාජ භවන පිහිටි මෙම ස්ථානයේ විහාරයක් කරවා ඇත.

අදත් කතරගම යන හැම කෙනෙකුම මෙම ස්ථානයේ වාහනය නතර කොට දෙවියන්ට පුද පඬුරු කැපකොට කතරගම යාමද කතරගම ගොස් ආපසු එන විට ද පඬුරු කැපකොට නික්ම යාමද සිරිතක් කරගෙන ඇත.

තෙරුවන් සරණ සහ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මෙම විහාරස්ථානය වන්දනා කරන අයට ලැබෙන බවට බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී.

අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙන මෙම විහාරස්ථානය වැඩි දියුණු කොට මතු පරපුරට දායාද කොට දීම අරමුණ බව විහාරාධිපති හිමිපාණෝ පවසති. විහාර සංවර්ධන සැළැස්ම යටතේ ප්‍රධාන වාහල්කඩක්, අනුවාහල්කඩක්, පාරට මුහුණ ලා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත විහාර මන්දිරයක් , බෝධීන් වහන්සේ ආශි‍්‍රතව මකර තොරණක්, දාන ශාලාවක්, වන්දනාකරුවන් වෙනුවෙන් කාමර සංකීර්ණයක් කතරගම දේවාලය හා පරිවාර දේවාල. රැසක් ඉදිකිරීම අරඹා ඇත. සමහර ඉදිකිරීම් වල වැඩ අවසාන වෙමින් පවතී.

සියලුම ඉදිකිරීම් කටයුතු මේ වසරේ මාර්තු මාසය අවසාන වෙන විට නිමකිරීමට අපේක්ෂා කෙරේ.

මහා සඟරුවන විසිනමක් පමණ වැඩ සිටින මෙම විහාරස්ථානයේ සිරි අරියවංස සාමණේර භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයද පවත්වාගෙන යයි. දහම් පාසල ද ප්‍රධාන තැනක් ගනී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදේශ රැසක මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකෙරෙන ප්‍රධාන පෙළේ වෘත්තිය පුහුණු මධස්ථානයක්ද මේ වන විට මෙහි ඉදිකරගෙන යයි. පූජා නගර සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ පෙරහැර මාවතක් සකස් කිරීමටද සැළසුම් කොට ඇත. බෞද්ධ පොත් පත් හා තොරතුරු මධ්‍යස්ථානය ඉකුත් දා විවෘත කෙරිණ.


පැරැණි විහාර මන්දිරය හා චෛත්‍යය


ඉදි වන ප්‍රධාන වාහල්කඩ


පැරැණි ධර්ම ශාලාව


ඓතිහාසික බෝ සමිඳු


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.