Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය සිරි මා බෝ ප්‍රතිසංස්කරණ අරමුදලට ටිකට් පතක්

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වටා ඇති ප්‍රාකාර බිත්ති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල, ස. ණ. ස. සංවර්ධන බැංකුව හා එක්ව ටිකට්පත් විකිණීමේ ව්‍යාපෘතියන් ආරම්භ කර ඇත.

එහි පළමු ටිකට්පත අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා වෙත විකිණීම පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුකෙරුණි.

දැනට අබලන් තත්ත්වයේ පවතින ජය ශ්‍රී මහා බෝ සමිඳු ප්‍රාකාර බිත්තියේ තිබූ පරිදි පැරණි කැටයම්, අනු රූ සහිතව ඉපැරණි ලක්‍ෂණයන් විදහා දැක්වෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංරක්‍ෂණ අරමුදල සැලසුම් කර ඇත.

ඒ සඳහා රුපියල් කෝටි 03 ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති අතර වැය වන මෙම මුදල සොයා දීමට ස. ණ. ස. සංර්ධන බැංකුව ඉදිරිපත්ව ඇත. ස. ණ. ස. ව්‍යාපාරයට සම්බන්ධ ලක්‍ෂ 8 ක් පමණ වන සාමාජික සාමාජිකාවන් අතරේ රු. 100/- වටිනා ටිකට්පත් අලෙවි කිරීමෙන් රුපියල් කෝටි 03 ක මුදල සොයා ගැනීමට සැලසුම්කර ඇත.

බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත මේ වන විටත් ආරම්භ කර ඇති අතර මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු නිමකිරීම සැලසුම් කර ඇත.

බෝධිප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්‍ෂණය යටතේ සිදුකරන බව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපති කේ. එච්. ජේ. විජේදාස මහතා පැවසීය.

ස. ණ. ස. ව්‍යාපාරයේ නිර්මාතෘ පී. ඒ. කිරිවන්දෙණිය ස. ණ. ස. සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී නිමල් මාමඩුව, සහකාර සාමාන්‍යාධිකාරී කේ. ජී. ලීලානන්ද, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ප්‍රාකාර අරමුදලේ සභාපති කේ. එච්. ජේ. විජේදාස මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.