Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආගම කවිය හා ජීවිතය

අතීතයේ පුද්ගල ජීවිතය - කවිය ආගමික සංකල්පනා පිළිබඳ සටහනකි. නිරන්තරයෙන්ම ජීවිතය තුළ එදිනෙදා කටයුතු වල බහුල බව පොදු දෙයකි. බුදු දහම නම් පුද්ගලයාගේ පරම නිෂ්ටාවට මාර්ගයක් වුවත් එය ලැබෙන්නේ වර්තමාන කාර්යයන්හි යහපත් බව තුළිනි.

මේ කාරණයෙහිදී අතීත බොදුනුවන් අවබෝධයෙන් කටයුතු කළ බව පෙනේ. එහෙයින්ම ඔවුන්ගේ ජීවිත මෙන්ම සියලු කටයුතු වල ප්‍රතිඵල සාර්ථක වූ බවපෙනේ. ඊට මූලික වූයේ ඔවුන් බුදුදහමින් ලද පන්නරයයි. බෞද්ධ ඌරුව මතම දිවි ගෙවූ ඔවුහු ලැබූ භවය පමණක් නොව, එමඟින් මතු භවයන්ද තෘප්තිමත් කර ගත්හ.

බොහෝ දෙනාගේ අදහස වර්තමාන බෞද්ධයා, උප්පැන්න සහතිකයෙන් බෞද්ධ බවයි. ඒත් ඔවුන් බෞද්ධ වන්නේ උපදින්නටත් පෙර සිටය. ළමයෙකු බිහි කරන්නට සිටිනා බෞද්ධ මවක්, ඊට පෙර භික්‍ෂූන් වඩමවාගෙන සෙත් පිරිත් දේශනා කරවා ගනියි. මෑණියන් පිරිත් දේශනා අසා පිරිත් පැන් බීමෙන්ද, පිරිත් ගුණය මිශ්‍රිත වාතාශ්‍රය මඟින්ද කුස තුළ සිටින දරුවා ආශීර්වාදය ලබා ගන්නේ පෙකිනිවැල හරහාමය. එතනදීම තිසරණයේ ආසිරි ලැබූ දරුවා බොදුනුවකු වන බව පෙනේ. එදා සිට මරණය දක්වා එය ගහට පොත්ත මෙන් කා වැදී ඇත. කොතරම් ඔවුහු පරිසරය මඟින් වෙනස් කළත් අර්හත්ධජය (සිවුර) දුටු ගමන් කීකරු සේ සිටී. එබැවින් ඒ ආශිර්වාදය ලබන්නාවූත් ආගම දහම දිවි දෙවැනි කොට සලකන අතර එම ආසිරි නොලැබූවෝ ආගම ගරහති. පිළිකුල් කරති. පාවා දෙති.

මෙලොව එලිය දකින දරුවාට නාමයක් තැබීමට පන්සලේ හාමුදුරුවන් ළඟට ගෙන ගිය පසු තැබූ නම්ද විශේෂය. පිරිමි අයෙක් නම්, සීලදාස, කරුණාපාල, ජිනදාස, මෛත්‍රීපාල මෙත්තසේන , ගුණපාල , ගුණදාස, බුද්ධදාස , ධර්මසේන, සංඝදාස,වේ. කාන්තාවක නම් සීලවතී, කරුණාවතී, දයාවතී, ගුණවතී ආදියයි. ඒවායෙහි අර්ථය කල්පනා කළ ඔවුහු ඒ අනුවම කල් ගෙවූහ. එබැවින් ඉතා හොඳ අයෙකු විය. ඒ නිසා ආත්මතෘප්තියෙන් දිවිගෙවා අන්‍යයන් අතර ජනාදරයට පත්වෙමින් ගරු බුහුමන්ද ලැබීය. එහෙත් වත්මන් දරුවන්ට අර්ථ රසය කුමක් වුවත් ශබ්ද රසය පමණක් බලා තබන නම් හා අර්ථ කීපයක් පමණක් දක්වමි. ටෙරාසා (- ) , නිශා (අඳුර ) , මායා (අසත්‍ය) නීටා (-) තිවංක / කිවංකා (තුන් කුදු / තුන් කුදී ) තුරංග (අශ්වයා ) යනු කීපයකි. මෙසේ බොහෝ නම් ඔබ දනී. ඒ නම් නිතර නිතර කීමෙන් සිද්ධි වෙමින් සිද්ධිය මන්ත්‍රයන් වෙමින් ඔවුන් ඒ තත්වයන් මුහුණ දෙන බව දෙමාපියෝ නොසිතති.

කුමන නමක් හෝ දරන ළමයා මවක උකුළේ නැළවෙන විට එදා මව කළේ දරුවා කැමති වන තාලයකින් ගීයක් කීමයි. ගීතය අසන්නවුන් ධ්‍යාන ගත කරවන මාධ්‍යයකි. පියංකර නම් පේ‍්‍රත දරුවෙකු හඬන විට

මා සද්දං කරි පියංකර - භික්ඛු ධම්මපදානි භාසති
අපි ධම්ම පදං විජානිය - පරිමුංවේම පිසාච යෝනියා

යනුවෙන් නැළ වූ බව බණ පොතේ සඳහන් වේ. මේ ක්‍රමය දත් පැරණි දරුවන් නැළවීමට භාවිතා කළ ගීයක් නම්

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

ගලින ගලට පැන ගෙන එන දරුවා අම්මා හෝ තාත්තා නොව “ බබා” දැක දුවන බව කීමෙන් මානසිකව අභිමානය හා පෞරුෂය කුඩා වියේම මනසට යොමු කරවයි. වත්මනේ මේ වෙනුවට කරන්නේ දරුවා ගෙදර හිර කරවාගෙන ඔහුව කුසීත කිරීමයි.

ගෙමිදුලේ සෙල්ලම් කරන දරුවා සනසනු පිණිස මව්වරුන් කී කවි වලින් එකකි නම්

අම්බලමේ පිනා පිනා
වලං කඳක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

(සසරේ අනන්ත කාලයක් ඇවිද සිද්ධාර්ථ නමින් අවසන් අම්බලම නමැති භවය ලැබූ පින්වත් නායකයාණෝ, පින් පව් නමැති කද රැගෙන පැමිණ අතර ඒ දෙකම විනාශ කළෙන් මට සතුටුය )

අදහස නොවැටහුනත් මෙයි අර්ථය - අර්ථ සිද්ධියක්ම කෙරෙන අයුරු පෙනේ. මේ සියලු කවි තුළ ඇත්තේ බුදු දහමින් ලද ආභාෂය නොවේද? ඒ දරුවා අකුරු කියවන විට ‘’ ං” ඉගැන්වීමට භාවිත කළ කවියකි මේ.

බිංගේ ගාවා - පින්කම් ඇත්තේ
දවුලේ සද්දේ - ඩං ඩුං ඩං ඩුං
ගංටා නාදේ - ටං ටං ටං
ලේනුන්ගේ ඒ - ටිං ටිං ටිං ටිං

(මෙහිද ඇත්තේ ආගමික වටපිටාවකි)

පසුව පාසලේ අධ්‍යාපනය හැදෑරීමේදී ඒ දරුවා භාවිතා කළේත්, නම් පොත, මගුල් ලකුණ , බුද්ධ පද්‍ය වැනි ආගමික මුහුණ වර ගත් ග්‍රන්ථය විභාග වලට පෙනී සිටිමේදීද වත පිරිත් දේශනා කරවා ගත්තේ බෞද්ධ ඌරුව නිසාය.

කෙමෙන් වැඩිවියට පත් දරුවා යෝජනා විවාහ ගිවිසීමේ දීත් භාවිත කලේ බුදු දහමේ ආශීර්වාද මිශ්‍රිත කවි ගීය.

පළමු බෝමැඩ දෙවනු අනිමිස තෙවනු සක්මනෙ මංගලම් (අෂ්ඨක)

බාහුං සහස්ස මහිනිම්මිත සායුධං තං (ජයමංගල ගී)

මේවා භාවිතයෙන් ඔවුන් බුදුදහම හා සංයෝග කරවයි. සත්සතියේ අපූර්වත්වය බලය හා ජයමංගල ගී වල බලය තුළින් ‘ නව දිවියට ‘ ආසිරි ගන්වයි. ඔවුන් ජීවත් විය යුතු අන්දමත්

අතුරු මිතුරු දඹ දිවතුරු
රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිම
හාල්පතක් ගරාලා - බටු කොරහක් කපාලා
ඉහළ ගෙටත් බෙදාලා - පහළ ගෙටත් බෙදාලා

යනුවෙන් කෙලි සෙල්ලම් වයසේදීම ඉගෙන ගනී. මෙයද සතර සංග්‍රහ වස්තූන් ආශ්‍රයෙන් යෙදී ආගමික මුහුණුවරක් ගනී. අවාහ විවාහ ගිවිසගත් ඔවුහු දිවි ගෙවූයේ ධාර්මික වෘත්තීන් කරමිනි. ඒවා නම් පැල් රැකීම හේන් වගාව පතල් කැනීම පාරු පැදීම කරත්ත පැදවීම කෘෂිකර්මාන්ත ආදියයි. ඒවා කරන අතරතුර මහන්සිය හා පාලුව මැකීමට භාවිතා කළ කවි ඒ ඒ නම් වලින්ම ජනපි‍්‍රය විය. ඒවා කලින් හදා කටපාඩම් කළ ඒවා නොව, ඒ මොහොතේම සිතට ආ අදහස් ප්‍රකාශණයකි. එහෙත් බුදු දහමින් ලද පන්නරයක තරම ඒ සියලු කවි කෙසේ හෝ බෞද්ධ පරිසරයක් ගොඩ නංවයි. සියලු කවි නොදක්වමි. කීපයක් නම් ,

ඉන්නෙත් දුම්බරයි මහකලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්න ට

(පතල් කවි)

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපං හපුතල් යනවා (කරත්ත කවි)

‘ණය ‘ වී නොගෙවූ කළ ගොනකු වී ණය ගෙවන බව දක්වමින් කර්ම සංකල්පයත් අණන සුඛය පිළිබඳවත් විවරණයක් කරයි.

ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැඟී වරෙන්

මෙය ප්‍රේම කවියකි. නමුදු ආගමික සංකල්පනා තුළින් හික්මවනු ලැබූවකුගේ අදහස් පෙළකි. ඉහත දැක්වූයේ කීපයකි. මෙසේ ඕන තරම් කව් ගී අපට අවටින් ලද හැකිය. ඒ සියල්ලම සාක්‍ෂි දරන්නේ පැරණි අයගේ ආකල්ප හා කුසලතාවල නොමද ආගමික ඇල්මයි.

ඔවුහු විනෝද වූ අවස්ථාවලද භාවිතා කළ කවි ඉහත කාරණා සාධාරණය කරයි. මේ කවියද වැඩිහිටි ගෞරවය පෙන්වන්නකි

පරණ පරණ අය මිසක පදින්නේ
තරුණ තරුණ අය බලා සිටින්නේ
උරණ උරණ සිතුනාද බොලන්නේ
සරණ සරණ ගෙන පදිමු බුදුන්නේ (ඔංචිලි වාරම්)

එසේම පැරැන්නන්ගේ ප්‍රස්ථා පිරුළු වුවද ආගමික සම්ප්‍රදාය හා ආකල්ප මිශි‍්‍රත කරයි.

අජාසත්ත වගේ
අටපහ නොදත් එකා
හය හතර නොදත් එකා
අපි වෙස්සන්තරලයැ
මූ දෙව්දත්තර වගේ
පින් පව් නොහඳුනන එකා
මාර දූතයො වගේ
මූ මූසිල වගේ
බුදුන්ටත් දෙව්දත් හිටියනේ

ආදිය ඉන් කීපයකි

තවද ඔවුන් ගමන් බිමන් ගියේත් අටමස්ථානය සොලොස්මස්ථානය හා සිරිපා කරුණා කිරීමටය. එහිදී භාවිතා කළ ‘ තුන්සරණ ‘ ආදියත් ආගමික මුහුණුවරයමය. ඒ කවි කවුරුත් දන්නා නිසා නොලියමි.

පෙර සිටි ග්‍රන්ථ කර්තෘවරයෝද ඒවා ලිවීමේදී ආගමික මුහුණුවරක් ගත් බව පෙනේ. ඒවායින්ද කලේ ජනතාව හික්මවීමයි. එවැනි කෘති කීපයක් නම්,

බුත්සරණ , දම්සරණ , සඟ සරණ , අමාවතුර, පූජාවලිය , සද්ධර්මරත්නාවලිය , සද්ධර්මාලංකාරය, ජාතක පොත, ලෝකෝපකාරය , සුභාෂිතය , මුවදෙව්දාව , සසදාව, සඳ කිඳුරු දාව , ගුත්තිලය , කුසදාව , නම් පොත මගුල්ලකුණ, ලෝවැඩ සඟරාව කීපයකි. මේ ග්‍රන්ථ හුදෙක් ආධ්‍යාත්මික ගුණ පෝෂණයටම උපකාර වෙති. ඒ ග්‍රන්ථ වෙනුවට අද භාවිතා කරන ග්‍රන්ථ නිසා ඔවුහු පසු කලෙක පශ්චාත්තාප වෙනු නොඅනුමානය.

මෙසේ දැහැමි දිවි ගෙවා මරණයට සූදානම් වන මොහොතේ පවා භික්‍ෂූන් වඩමවා ආසන්න බණ - පිරිත් මෙන්ම ජීවදාන පින්කම් පෙන්වන්නේ උතුම් ආගමික සංකල්පයකි. අවසාන මොහොතේ එවැනි දේට සිත යොමා සුගතියට යන්න ඔවුන් උත්සාහ ගත්තා විය හැකිය. මැරුනට පසුත් භාවිතා කලේ වෙස්සන්තර ජාතකයි.

මෙසේ උපත - පැවැත්ම , විපත යන කාරණත්‍රයෙහිම බෞද්ධයාට කවියත් ආගමත් බැඳී තිබූ අන්දම ආනන්දනීයයි. ජීවිතය හා තම කටයුතු වලදී අතීතයේ තිබූ ආගමික පසුබිම සිතින් කයින් වදනින් නැවත දළු ලන්නේ නම් අපේ වර්තමාන යුගයේ අයද මීට වඩා මිනිස් බවින් ඵල නෙලනු නොඅනුමානය.

රට ද - දැයද , ආගමද ඒ ඵලයන්ගෙන් හැඩවීම බැබළීම , අර්ථ සිද්ධ කිරීම හා ආසිරි වැඩීම සිදු කරයි. එයට ඔබ යොමුවීමට තිසරණ සරණම පිහිට වේවා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.