Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත සනසන ‘අනණ’ සුවය

දිනක් අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට ගිහි ජනතාවගේ හිතසුව පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන ලෙසට ඉල්ලීය. එම ඉල්ලීම පිළිගත් උන් වහන්සේ ගිහි ජනතාවට පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට හේතුවන අණන සූත්‍රය දේශනා කරන ලදී. මෙම සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය වශයෙන් පෙන්වා දිය හැකිය. අගාරික ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් මෙහි ඇතුළත් වේ. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි.

අණන සූත්‍රයේ තුන් වන කාරණය වන්නේ අණන සුඛයයි. මෙය සූත්‍රය ඒ නමින්ම නම් කර තිබීමෙන් පෙනී යන්නේ එම කරුණට වැඩි සැලකිල්ලක් දක්වා ඇති බවයි. කිසියම් පුද්ගලයෙක් අනුන්ට කිසිම මුදලක් ණය නොවීම නිසා සිතේ ඇතිවන සතුට අණන සුඛය යනුවෙන් හඳුන්වයි. මනෝරථපූරී නමැති අංගුත්තර නිකාය අට්ඨ කථාවේ මෙම අණන සුඛය විග්‍රහ කර ඇත්තේ මෙසේය. “ අණනොස්මිති උප්පජ්ජනක සුඛං අණන සුඛං නාම” යනුවෙනි . ඒ අනුව මම ණය කාරයකු නොවෙමි. යනුවෙන් තමාගේ සිතේ ඇතිවන සතුට අණන සුඛයි. අණන යන වචනයෙන් ණය නැත යන අදහසත් සුබ යන වචනයෙන් සතුට වින්දනය යන අදහසත් ලැබේ.

ණය වීම හෙවත් ණය ලබා ගැනීම එක් රටකට, එක් ප්‍රදේශයකට එක් ජන කොටසකට එක් කාලයකට පමණක් සීමා වුවක් නොවේ. ක්‍රි.පූ. හය වන සියවසේ උතුරු ඉන්දීය සමාජය තුළද ණය කාරයන් සිටිය බව සමහර ජාතක කථාවලින් සහ සූත්‍ර වලින් පෙනේ. කිසියම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් ණයක් ලබා ගෙන ණය දුන් පුද්ගලයා දුටු විට ඔබට මම ණය නැතැයි පවසමින් පැන දුවන්නේ නම් එය වසලයෙකුගේ ලක්‍ෂණයක් බව වසල සූත්‍රයේ සඳහන් වෙයි. තමා ලබා ගත් ණය මුදල ගෙවීමට අපොහොසත් වූ සමහර පුද්ගලයන් තම බිරිය හෝ දියණිය ණය දුන් පුද්ගලයාට පාවා දුන් බව සමහර ජාතක කථාවල සඳහන් වෙයි. අනුරපුර යුගයේ සිටි වෝහාරිකතිස්ස රජතුමා ණය බරින් මිරිකී සිටි භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් සත් ලක්‍ෂයක් ගෙවා එම ණයෙන් නිදහස් කළ බව මහා වංසයේ 33 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙයි. (මෙම භික්‍ෂූන් වහන්සේ ණය ලබා ගත්තේ කිනම් කරුණක් සඳහා ද යන්න පැහැදිලි නැත )

අණන සුඛය හෙවත් කිසිවකුටවත් ශත පහක්වත් ණය නොවීම නිසා විඳින මානසික සතුට ලබා ගැනීමට සෑම පුද්ගලයකුටම හැකියාව ඇත. මෙම සතුටට බාධා පමුණුවන කරුණු කීපයක් සමහර සූත්‍රවල ඉගැන්වේ. මෙයින් සිඟාලෝවාද සූත්‍රයේ ඇතුළත් අපාය මුඛ හය වැදගත් වෙයි.

සුරාපානයට පුරුදුවීම
අවේලාවේ වීථි සංචාරය කිරිම
දුසිරිතයට හේතු වන උත්සව වලට ඇදී යාම
සූදුවට යෑම
පාප මිත්‍ර සේවනය
අලස වීම

මෙම කරුණු හයටම සීමාව ඉක්මවා ඇදී යාම නිසා තමා උපයන මුදල මේ සඳහා ප්‍රමාණවත් නොවේ. ඉහත කී අයහපත් ක්‍රියා නතර කිරීමටද නොහැකි වෙයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු ණය කාරයකුවීමයි.

දීඝජානු කෝලිය සිටු පුත්‍රයාගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේ මෙලොව දියුණුවට හේතුවන කරුණු හතරක් ගැන සඳහන් වෙයි. උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යා මිත්තතා හා සමජීවිකතා යන එම කරුණු හතරෙන් දෙවන කාරණය හා හතරවන කාරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු නොකළහොත් එම පුද්ගලයාට අණන සුඛය විඳීමට නුපුලුවන. ආරක්ඛ සම්පදා හෙවත් ඉපයූ ධනය හරියාකාරව ආරක්ෂා කර නොගතහොත් ඔහුගේ එදිනෙදා වියදමට අනුන්ගෙන් අතමාරු ගැනීමට සිදුවෙයි. සමජීවිකතා හෙවත් අයවැය දැනගෙන වියදම් නොකළහොත් ඔහුටද අනුන්ගෙන් ණය ලබා ගැනීමට සිදුවෙයි. මේ නිසා අණන සුඛය ඔහුගෙන් පලා යයි.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් ණයකාරයන් බවට පත්වන්නේ තරගකාරිත්වය නිසාය. අනුන් පරයා ඉස්මතු වීමට බොහෝ දෙනෙක් ආශා කරති. අලුතින් නිවසක් ඉදිකිරීමේ දී මෙම ලක්ෂණය බොහෝ දුරට දැකිය හැකිය. අසල්වාසීන්ගේ නිවාස හා සමාන නිවසක් හෝ ඊටත් වඩා විශාල හා අලංකාර නිවසක් සාදා ගැනීමට අකැමැති වන්නේ කිනම් පුද්ගලයා ද? දක්ෂ හා ප්‍රසිද්ධ මේසන් හා වඩු බාස්වරු සම්බන්ධ කර ගෙන ඒ පළාතේ නොමැති ආකාරයේ නිවසක් සෑදීමට පටන්ගනියි. නිවස සාදා ගෙන යන විට මුදල් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව වැටහෙයි. නිවසේ ඉදිකිරීම් අතර ම¼ග නතර කිරීමට ද නුපුළුවන. අවසානයේ දී රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ණය ලබාගැනීමට ඔහුට සිදුවෙයි. තමාගේ වත් පොහොසත්කම් වලට හා ආදායමට සරිලන සේ නිවසක් ඉදි කිරීමට සූදානම් වූවා නම්, ඔහුට ණයකාරයකු වීමට සිදු නොවෙයි. අනුන් පරදා නැගී සිටීමට ඇති ආශාව නිසා අණන සුඛය නමැති මිතුරා ඔහුගෙන් ඈත්වෙයි.

ණය වී ඉදි කළ නිවසට ගෙවදීම සඳහා විශාල උත්සවයක් සූදානම් කිරීමෙන් ඔහු තව තවත් ණය බරින් මිරිකෙයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන ආගමික කටයුතු ඉතා සුළුවෙන් සිදුකොට ඥාතින් අසල්වාසීන් හා හිතවතුන් වෙනුවෙන් එකම දිනයක අවස්ථා දෙකකදී සාද පවත්වති. එසේ නොමැතිනම් දින කීපයක්ම මේ සඳහා ගත කරති. මත්පැන් සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. මේ සඳහා ප්‍රමාණවත් මුදලක් තමා ළඟ නොමැති නම් ගිනි පොලියට හෝ අනුන්ගෙන් මුදල් ලබා ගැනීමට එම පුද්ගලයාට සිදුවේ.

බොහෝ දෙනකු ණය කාරයන්බවට පත්වන තවත් එක් කරුණක් වශයෙන් විවාහ මංගල උත්සව පෙන්වා දිය හැකි ය. තමාගේ් හෝ තම නිවසේ පුද්ගලයකුගේ විවාහය විශාල ඥාති හිතවතුන් පිරිසක් මැද ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වීමට කී දෙනෙක් සිහින මවනවාද? මීට පෙර තම ඥාතී හිතමිතුරු ගෙදරක සිදු නොකළ ආකාරයේ හෝ එම පළාතේ් සිදු නොවුණු ආකාරයේ හෝ ම¼ගුලක් ජයටම ගැනීමට අකැමැති වන්නේ කවුද? මේ සඳහා ප්‍රමාණවත් මුදලක් තමා ළඟ නොමැති නම් දස අතේ ණය වී හෝ අවශ්‍ය මුදල් උපයා ගනියි. මඟුල් ;ගදර අවසන් වී ණය ගෙවීමට පටන් ගනියි. ණය දුන් පුද්ගලයා නිවසට පැමිණෙන විට ණයකරු නිවසේ සැඟවෙයි.

ලබාගත් ණය මුදල පිළිබඳ නිතර නිතර සිහියට එයි. මේ නිසා මනස විකෘති වී මානසික රෝහලක ප්‍රතිකාර ලැබීමට සිදුවෙයි. දුරදිග නොබලා තමාට ඔරොත්තු නොදෙන ආකාරයට ණය ලබා ගෙන ඒවා ගෙවීමට නොහැකි වූ විට ණය හිමියාට මෙලොවදීම අත්වන විපාක ජනමාධ්‍ය වලින් අසන්නට ලැබෙයි.

තමාට වාහනයක් නොමැතිකම බලවත් අඩුවක් වශයෙන් සලකන සමහර පුද්ගලයෝ ණය වී හෝ වාහනයක් ලබා ගැනීමට උත්සාහ කරති. මෙවැනි පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ තමාගේ් මිතුරන්ට නොමැති ඥාතීන්ට නොමැති අසල්වාසීන්ට නොමැති ආකාරයේ වාහනයක් ලබා ගැනීමටයි. සමහර විට එම වාහනය මිල අධික එකක් වීමට ද පුළුවන. බොහෝ දෙනෙක් වාහනයක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ තමා කුමන තරාතිරමක පුද්ගලයෙකු ද යන්න අනුන්ට පෙන්වීම සඳහා ය. කෙසේ හෝ වාහනයක් මිලදී ගත් පසු එය නඩත්තු කිරීම සඳහා තමා උපයන මුදල ප්‍රමාණවත් නොවීමට පුළුවන. එවැනි අවස්ථාවලදී ණය මුදලක් ලබා ගැනීමට ඔහු උත්සාහ කරයි. අවසානයේදී ඔහු ණයකාරයෙකු බවට පත්වෙයි.

අණන සුඛය විඳීමට බාධා පමුණුවන තවත් කරුණු තුනක් පිළිබඳව පරාභව සූත්‍රයේ සඳහන් වෙයි. ස්ත්‍රී ධූර්ත වීම හෙවත් ස්ත්‍රීන්ට අධික ලෙස ලොල් වීමත් සුරාධූර්තවීම හෙවත් සුරාවට බොහෝ සේ ලොල් වීමත් අක්ඛ ධූර්තවීම හෙවත් සූදුවට බොහෝ සේ ලොල්වීමත් නිසා උපයන ධනය ඒ සඳහා ප්‍රමාණවත් නෙවෙයි. කාමභෝගී ජීවියක් ගත කිරීම සඳහා කාන්තාවන් ඇසුරු කිරීමේ දී ඔවුන් ඉල්ලන ඉල්ලන දේ ලබා දිය යුතුය. මේ නිසා ඔහුගේ ආර්ථික ශක්තියත් ශරීර සෞඛ්‍යයත් පිරිහෙයි. සුරාවට ලොල් වූ පුද්ගලයාට මිතුරන් ගෙන් අඩුවක් නැත. ඔවුන් සතුටු කිරීම සඳහා ද සුරාව වෙනුවෙන් මුදල් වැය කළ යුතු ය. බුද්ධ කාලයේ සිට විශාල ධනයකට හිමිකම් කී මහධන සිටුපුත්‍රයා සුරාවට ලොල් වීම නිසා තමාගේ ධනය පිරිහී මහ පාරේ හිඟා කන තත්ත්වයට පත්විය. නල කුමරු සූදුවට ඇබ්බැහි වීම නිසා ඉතා දුක්ඛිත තත්ත්වයකට පත් වූ ආකාරය නල දමයන්ති කථාවෙන් පැහැදිලි වෙයි. මෙම නරක පුරුදු තුනෙන් ම අවසාන ප්‍රතිඵලය වන්නේ එම පුද්ගලයා ණයකාරයකු බවට පත්වීමයි. මේ අයහපත් පුරුදු අත්හැරිය නොහැකි නිසාත් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් තමා ළඟ නොමැති නිසාත් සාමාන්‍ය පොලියට හෝ ගිනි පොලියට ණය ලබා ගැනීමට ඔහු පෙළඹෙයි. එසේ ලබා ගන්නා ණය ගෙවන දිනයක් පේන තෙක් මානයේවත් නැත. මෙවැනි පුද්ගයින්ට අණන සුඛය විඳීමට ඛ්ැකි වන්නේ කවදා ද?

සමහර පුද්ගලයෝ අධ්‍යාපන කටයුතු, වගා කටයුතු, අවමංගල කටයුතු හා නිවසට වටිනා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ද පුද්ගලයන්ගෙන් හෝ බැංකු වලින් ණය ලබා ගනිති. නියමිත දිනවලදී නියමිත ආකාරයට ඒවා ගෙවා ගැනීමට නොහැකි වූ විට මනස අවුල් වෙයි. අණන සුඛය හෙවත් තමා අනුන්ට ශතයක්වත් ණය නැතැයි යනුවෙන් සිතේ ඇතිවන සතුට භුක්ති විඳීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ ඉගැන්වීම් වල දක්නට ලැබේ. ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ආර්ථික විද්‍යාඥයා හා මුදල් කළමනාකරණය පිළිබඳ විශේෂඥයා වන බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති උපදෙස් හරියාකාරව පිළිපදින්නේ නම් ඕනෑම පුද්ගලයෙකුට අණන සුඛය විඳීමට හැකිය. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පහත සඳහන් ගාථාවෙන් උපයන ධනය වියදම් කළ යුතු ආකාරය ගැන කියැවෙයි.

ඒකෙන භොගෙ භුඤෙජය්‍ය
ද්විහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති

මේ අනුව සෑම පුද්ගලයෙක්ම තමා උපයන ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් ආහාර පාන සඳහා වියදම් කළ යුතුය. කොටස් දෙකක් තමාගේ ගොවිතැන් වෙළඳාම හෝ වෙනත් ස්වයං රැකියා සඳහා යෙදිය යුතු ය. ඉතිරි කොටස හදිසි අවස්ථාවකදී ගැනීම සඳහා තැන්පත් කළ යුතුය. එසේ කරන පුද්ගලයන්ට සුළු මුදලක්වත් ණයවීමට අවශ්‍ය නොවෙයි.

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන සමජීවිකතා ප්‍රතිපත්තිය ද අණන සුඛය ලැබීමට හේතුවකි. අයවැය දැනගෙන කටයුතු කිරීම මෙයින් අදහස් කැරෙයි. වර්තමාන සමාජයේ බොහෝ දෙනකු තුළ දක්නට නොලැබෙන්නේ ද මෙම ලක්ෂණයයි. රුපියල් පනහක ආදායමක් ඇති පුද්ගලයා රුපියල් හැටක වැඩ යොදා ගනියි. රුපියල් දාහක් ඉපැයූ පුද්ගලයා රුපියල් දෙදාහක වැඩ යොදා ගනියි. එවිට එම පුද්ගලයා අනිවාර්යයෙන්ම ණය මුදලක් ලබා ගත යුතු ය. අයට වඩා වැය අඩු කර ගන්නේ නම් ඔහුට ණය වීමට සිදු නොවෙයි. ඉපසූ මුදලින් කොටසක් ඉතිරි කර ගැනීමට ද හැකි වෙයි. එම නිසා අණන සුඛය විඳීමට කැමැති පුද්ගලයා සමජීවිකතා ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු ය.

යම්කිසි පුද්ගලයකු බැංකුවකින් හෝ පුද්ගලයකුගෙන් ණය මුදලක් ලබාගෙන එය ඉක්මණින්ම ගෙවා අවසන් කළහොත් ඔහුට සිතේ් නිදහසක් ඇත. ඒවා ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ් සිතට නිදහසක් නැත. දිවා රාත්‍රි දෙකේම ණය මුදල ගැන මතක් වෙයි. කෑම බීම නිදා ගැනීම පවා හරියාකාරව සිදු නොවෙයි. මෙයට පිළියමක් වශයෙන් පස්වෙනි සිල් පදය කඩා බිඳ දමයි.

සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර වල අඩංගු ඉගැන්වීම් ද අප්පකිච්ච හෙවත් වැඩ ටිකක් යොදා ගැනීම, සුභරෝ හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, සල්ලහුකවුත්ති හෙවත් සැහැල්ලු ගති පැවතුම් ඇත්තකු වීම, අල්පේච්ඡතාව හෙවත් ටිකක් කැමැති වීම, යථාලාභ සන්තුෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ආදි ගුණධර්ම තමාගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ නම් එම පුද්ගලයාට අණන සුඛ විඳීම ඉතා පහසු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.