Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම හෙළි කළ පරිසර සුරැකුම

ගසක් යට ඉපිද ගසක් යට දි ලොවුතුරා බුද්ධත්වයට පත්ව ගසක් යටදී පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේ තරම් පරිසරයට ආදරය කළ පරිසරය සේවනය කළ හා පරිසරය රැක ගැනීම සැම දෙනාගේම පරම වගකීම බව ලොවට පහදා දුන් වෙනත් ආගමික ශාස්තෘවරයෙකු ලොව පහළ වී නැත. උන් වහන්සේ විසින් මීට වසර 2500 කට පමණ පෙර දේශනා කර වදාළ පරිසරය සුරැකීමේ අත්‍යවශ්‍යතාව වර්තමානයේ ලොව උසස් ලෙස අගැයීමට ලක්ව ඇත.

බෞද්ධ දර්ශනය අනුව ප්‍රධාන වශයෙන් පරිසරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ ‘භෞතික පරිසරය’ හා ‘සමාජ පරිසරය’ යනුවෙනි. භෞතික පරිසරයේ පදනම වන්නේ භූමිය, ජලය, ගින්න හා වාතයයි. මෙම පරිසරයට අදාළ වූ තුරුලතා ඇළ දොළ, ගංගා වැව්, පොකුණු දියඇළි ආදි බොහෝ සම්පත් වෙයි. භෞතික පරිසරය උපයෝගී කර ගනිමින් ගොඩනැගී ඇති සමාජයීය පරිසරයේ ප්‍රධාන ස්ථානය මිනිසාට හිමිවෙයි. සියලු සත්ත්වයෝ එහි සාමාජිකයෝ වෙති. මිනිසා විසින් නිර්මාණය කර ගෙන ඇති සංස්කෘතික වටපිටාව නිසා ඔහුට එහි විශේෂත්වය හිමි විය.

මෙත් සිත මුල් කරගත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සමූහයා සමග ගමින්ගමට සදහම් චාරිකාවේ නියැලුණේ පරිසරයේ ආශ්වාදය මගින් ශක්තිය හා ධෛර්යය ලබා ගනිමිනි. ඊට සමගාමීව උන්වහන්සේ තම ශ්‍රාවක සමූහයාට අදාල විනය නීතිරීති වත් පිළිවෙත් හඳුන්වාදීමේ දී ද පරිසරය කෙරෙහි දක්වා ඇති විශේෂත්වය මනාව පිළිබිඹු වෙයි. ඒ අතර උපසපන් භික්ෂූන් වහන්සේට තුරුලතා කැපීම්, සිඳීම් හා ඊට හානි පැමිණවීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සහ තණකොළ මත කෙළ ගැසීම හා ඉඳුල් වතුර දැමීම පවා අවැත් වරද ලෙස දක්වා තිබීම දක්නට ලැබෙයි. පුද්ගලයකුට හොඳ කායික, මානසික සුවපත් භාවයකින් යුක්තව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ලැබීම, මංගල කරුණක් ලෙස මහා මංගල සූත්‍ර දේශනාවේදී දක්වා වදාළහ. අසීමිත පරිභෝජනයට පෙළඹණු මිනිසා ස්වභාව ධර්මයාගේ දායාද වූ මහා පොළවෙත්, එහි රසයෙන් බිහි වූ තුරුලතා ආදියෙත් සරුසාරබව නැති කර ගත් අන්දම අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාළහ. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට මනුලොව මවුකුස පිළිසිඳ ගැනීමට සුදුසු පරිසය එනම් කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහබැලුම් විමසා බැලීමේ පිළිවෙත තුළින්ද පැහැදිලි වන්නේ පරිසරයේ යෝග්‍යතාව ගැන උන්වහන්සේ තුළ පැවැති අවධානය බව උගත්තු පවසති. පරිසර සංරක්ෂණය අරමුණ කර ගනිමින් ආරාම ළිං පැන් පොකුණු, ජලාශ ඉදිකිරීම, උයන්වතු වන වගා කිරීම ආදිය අඛණ්ඩය පින් ලැබෙන පුණ්‍ය කර්ම බව වනරෝප සූත්‍ර දේශනාවේ දක්වා ඇත. ඊට සමගාමීව තමාට මොහොතකට හෝ සෙවණ දුන් ගසේ අතු කඩා දමන කපා දමන තැනැත්තා මිත්‍රද්‍රෝහී පුද්ගලයෙකුගේ් තත්ත්වයට බුදුදහම හෙළා දකියි. පිරිසුදු බව අවධාරණය කරන බුද්ධ දේශනාව ජලය මත කෙළ ගැසීම, මල මුත්‍රා දැමීම ආදි දේ නොකළ යුතු බව අවධාරණය කරයි.

පරිසරයේ නිහඬතාව, චිත්ත විවේකය හා භාවනා කටයුතු සඳහා බෙහෙවින් යෝග්‍ය වෙයි. ඒ අනුව නිශ්ශබ්දතාව ඉතා ඉහළින් අගය කළ භාග්‍යවතුන්වහන්සේ ශබ්ද දූෂණයෙන් තොරව ලැහැබ් තුළ වාසය කිරීම, බොහොසෙයින් පි‍්‍රයකළ බව පෙනෙයි. එවැනි වන පියස මුණ ගැසුණු සැම විටම පාහේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ සමග ඒවායේ විසීමට බුදුන් වහන්සේ පෙළඹුණු අන්දම පැහැදිලි ය. වන ලැහැබ්, උයන් වතු ආශි‍්‍රතව පිහිටා තිබූ ඉසිපතනය උරුවෙල වන පෙදෙස, රජගහනුවර, පරිල්‍යෙය වනය , වාලිය පර්වතය, ගිජ්ජකූඨය ආදි ආරාම සෙනසුන් බුදුරදුන්ට ඉතා පි‍්‍රයමනාප ස්ථාන විය. එම ස්ථානවලින් කායික මානසික සුවපත්බව, නිශ්චලබව හා සන්සුන් බව රැක ගැනීමට ශ්‍රාවක සංඝයා වහන්සේට ලබා ගත හැකි පිටුබලය අති විශාල ය. පරිසරයට කිසිදු අවස්ථාවක කුමන අන්දමේ හෝ අලාභ හානියක්, විනාශයක් නොකළ භාග්‍යවනතුන් වහන්සේ ඉන් ලොවට දුන් ආදර්ශය, අති විශිෂ්ඨ ය. සිය දහස් ගණින් මහා සංඝරත්නය පිරිවරා ගමින් ගමට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ පරිසරය දූෂණයෙන් තොරව තබා ගැනීම පිළිබඳ ආදර්ශවත්ව ක්‍රියා කළ සේක.

මිනිසා දැඩි තණ්හාවෙන් අසීමිත පරිභෝජනයට පෙළඹීම නිසා මහ පොළොවේ රසය හීන විය. එපමණක් නොව පොළවේ රසයෙන් හටගත් තුරුලතා ආදියේ සාරවත් බව ද ඔහු විනාශ කර ගත් අන්දම, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්හ. වර්තමානයේ මේ මොහොත දක්වාම ද එය එසේ ම සිදුවෙමින් පැවතීම නිසා බොහෝ රටවල් මෙන්ම අපේ රට ද මුහුණ පා ඇති පරිසර ප්‍රශ්න ඉතා සංකීර්ණ ය.

ආත්මාර්ථකාමී අදමිටු පිරිස් විසින් ස්වකීය පෞද්ගලික වාණිජ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මහා වනාන්තරවල තිබූ වටිනා ගස් කොළන් දහස් ගණනින් බිඳ හෙළා, මුදල් උපයා ගත්හ.

එම අදමිටු පිරිස ස්වකීය වාණිජ අරමුණු සපුරා ගනිද්දී, වන සම්පත් විනාශ වීමෙන් විවිධ දේශගුණික විපර්යාස ඇති විය. මේ හේතුවෙන් අහිංසක මහජනතාව කරදරයට පීඩනයට පත් විය. මුහුදු වෙරළබඩ තිබූ හුණුගල් තට්ටුව, කොරල් පර තට්ටුව, කඩොලාන ආදී ස්වාභාවික සම්පත්, සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ලැබ ඇත. මේ හේතුවෙන් 2004 දෙසැම්බර් මස මුහුද ගොඩ ගැලීමේ දී මුහුදු බඩ ප්‍රදේශවල ඇතිවූ විපත අතිශය ශෝක ජනක ය.

ගංගා, ඇළ, දොළ ආදියේ මහා පරිමාණ වැලි ගොඩදැමීම හේතුවෙන්, ඒවා පිටාර ගලා වරින් වර රටට සිදුවන ජීවිත හානි ඇතුළු පාඩු බොහෝ ය. මැණික් ගරා ගැනීම සඳහා හොර රහසේ හිතුමතයට පතල් කැණීම මඟින් ප්‍රජාවේ පැවැත්මට ඉතා විශාල හානි සිදු වනු පෙනෙයි. ගෙදර දොර එක්වන පොල් කටු, පොල් කෝම්බ, ටින් කැබලි ආදිය අපරීක්‍ෂාකාරීව අතන මෙතන දමා, අතිශය භයානක විවිධ රෝගකාරක මදුරුවන් බෝවීමට සලස්වන පිරිසක් ද වෙති. නිවසින් බැහැරට දැමිය යුතු කුණු කසළ, ප්ලාස්ටික්, පොලිතීන් හා වෙනත් අපද්‍රව්‍ය මහා මාර්ගයට ගෙනැවිත් දමනු ලැබ, පරිසරයට කරන බලවත් හානිය ඉතා කනගාටුදායක ය.

එසේම පරිසරයේ නිසංසල බව දුරු කරන විවිධ ශබ්ද හා මහා පරිමාණ කර්මාන්තශාලා තුළින් පරිසරයට මුදා හරින විවිධ අපද්‍රව, දුම් රැළි ආදිය පරිසරය විශාල ලෙස දූෂණය කරමින් තිබේ. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මවන මහා ශබ්ද බහුලව පවතී. මේ සෑම දෙයකින්ම සිදුවන්නේ පරිසරයේ ස්වාභාවික බව, ගුණාත්මක බව හා නිසසල බව විනාශ වී එය දූෂණය වීම යි.

දස මසක් මවු කුස හොත් ලේ කැටි බිළිඳා මෙලොව එළිය දැක ළදරු, ළමා ආදී අවස්ථා ඔස්සේ පරිසරය තුළ හැදී වැඩෙයි. උස් මහත් වූ පසු ඔහු, විවිධ වූ දස්කම් දක්වන්නේ පරිසර ආභාෂය හා උදව්ව ලබමිනි.

ඒ හා සමගාමීව තමාට අභිමත පරිදි භෞතික පරිසරය පාලනය කර ගැනීමට ඔහු සමත්ව සිටියි. දැඩි ආයාසයකින් තම අසීමිත ආසාවන් සපුරාගැනීමේ නොනිමි අරගලයක නිරතවනු පෙනෙයි.

මිනිස් වර්ගයාට මෙන්ම සියලු සත්ත්ව වර්ගයාට ජීවත්වීමේ අයිතිය ඇති බව බුදු දහම මඟින් පෙන්වා දී ඇත. ඒ මූලික අයිතිවාසිකම් සුරැකීම බෞද්ධ ප්‍රතිපත්තිය යි. නමුත් මිනිසා සීමාව ඉක්මවා පරිසරය තමන්ගේ පරිභෝජනයට උපයෝගී කර ගැනීමට පසුබට නොවෙයි.

දැන හෝ නොදැන මිනිසා සිදුකරන මෙම පරිසර හානිය, සියලු සත්ත්ව වර්ගයාට මෙන්ම, තමන්ට ද, භයානක ප්‍රතිඵල අත්පත් කර දෙන්නක් බව ඔහු තේරුම් ගෙන නැත. මේ හේතුවෙන් සියලු සත්ත්ව සමූහයා, මෙන්ම මිනිසාද මිහිතලයෙන් වඳවී යන තත්ත්වයකට පත්වනු ඇතැයි, උගත්හු පවසති. පරිසරයේ විනාශය සියල්ලෙහි විනාශය යි. එබැවින් බුදු දහමේ ඉගැන්වෙන අන්දමින් පරිසරය රැක ගෙන අපිත් සුරැකෙමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.