Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පව්කම් දුරැලා දහමෙහි නො පමා වෙමු

මංගල සූත්‍රාගත හත්වන ගාථා ධර්මය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

“ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදෝ ච ධම්මේසු
එතං මංගල මුත්තමං”

මෙම ගාථාවෙහි මංගල කරුණු තුනක් ඇතුළත් වෙයි. සියලු පාප ධර්ම වලින් වැළකීම, මත් පැනින් වෙන්වීම, ධර්මයෙහි අප්‍රමාදීව යෙදීම යන කරුණු උතුම් මංගල කාරණා වන බවයි, එහි අදහස. මෙම මඟුල් කරුණු ගැන විමසා බලා ඒවා අප ජීවිත තුළින් ක්‍රියාත්මක කළ යුතු යි.

මෙහි පළමු මංගල කාරණය වන්නේ සියලු පාප ධර්ම වලින් වැළකී සිටීමයි. ජීවිතයේ කළ කී දේ පිළිබඳ අප සිත අපට දෝෂාරෝපණය කරනවා නම් ඒ සියල්ල පාප ධර්ම ගණයට වැටෙයි. එසේම ඔබ කළ යම් ක්‍රියාවක් පිළිබඳ ඔබ සිතමින් තැවෙයි නම් කනගාටු වෙයි නම් තමන්ගේ සහ අන්‍යයන්ගේ අයහපත පිණිස හේතුවන ඒ සියල්ල පාප කර්මයි. මෙම පාප කර්ම අපේ සිත මුල් වී සිදු වෙයි. කය, වචන තුළින් පාප කර්ම සිදු වෙයි.

මෙහිදී, සිතින් සිදුවන අභිධ්‍යා (දැඩි ලෝභය) ව්‍යාපාද (තරහා) මිථ්‍යා දෘෂ්ටි (වැරැදි දැකීම්) යන පාප කර්ම මෙන්ම, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී විවිධ චිත්ත පීඩා ගෙන දෙන පාප කර්ම ද සිත මුල් වී සිදු වෙයි. මේ තුළින් සිත කිලිටි වන අතර, විශාල වශයෙන් අසහනකාරී ගති ද ඇති කරවයි.

සේම, වචනය මගින් සිදුවන බොරුව, කේළම, සැඩ පරුෂ වචන හා වැඩකට නැති වචන ආදිය නිසා මිනිසා කෙළෙසීමට පත් වෙයි. මේවා වාග් දුසිරිත් හෙවත් වචනයෙන් සිදුවන පාප කර්ම වෙයි. මේ හැරුණු විට කයින් සිදුවන පාප කර්ම ගණයට සතුන් මැරීම, සොරකම හා කාම මිථ්‍යාචාරය හඳුන්වා දිය හැකි ය. මේ සියලු දුසිරිත්වලින් මිනිසා අපවිත්‍ර වෙයි. මිනිසාගේ නොමිනිස් ගති මතු වෙයි. ඉන් මිනිසා දිනෙන් දින පරිහානියට පත් වෙයි.

එම නිසා පින්වත ඔබ ඔබේ සිත පාප කර්ම වලින් ආරක්‍ෂා කර ගන්න. කරුණාව, මෛත්‍රීය වැනි ශෝභන චෛතසික වලින් ඔබේ සිත අලංකාර කර ගන්න. එය ඔබට මෙන්ම ඔබ අවට පරිසරයට ද ශාන්තියකි. එමෙන්ම ඔබේ කය, ඔබේ කට, නරක පාප කර්ම වලින් ආරක්‍ෂා කර ගන්න.

එසේම ඔබ අවට සිටින අන් අය ද ඉන් වළක්වා ගැනීමට උනන්දු වන්න. එවිට ඔබ ‘ආරති විරති පාපා’ යන මංගල කාරණය ක්‍රියාත්මක කළා වෙයි. එසේම ඉතා සියුම් මානසික තෘප්තියක් ඉන් ඇති වෙයි. එය ඔබේ මෙලොව ජීවිතයට මෙන්ම, පරලොව ජීවිතයට ද යහපත් බලපෑමක් ඇති කරයි.

පාප ධර්ම වලින් වෙන්වීමත් එහි නිතර නොවීමත් සසර නැවැතීමට හේතු වෙයි. පි‍්‍රය දෙයෙහි ඇලීමත් අපි‍්‍රය දෙයෙහි ගැටීමත් නිවනට බාධකයකි. පාපයට හේතුවකි. ගාථාවෙන් ඇලීම් ගැටීම් දුරලීම ද අදහස් කැරෙයි.

ඊළඟ මංගල කාරණය මජ්ජපානා ච සඤ්ඤචො යන්නයි. මත්පැන් බීමෙන් වැළකීම පුද්ගල ඉන්ද්‍රිය සංගමයට හේතුවක් බව, මින් කියැවෙයි. මත් පැනින් මුලා ගතිය, සිහි විකල ගතිය ඇති කරවයි. මේ සිහි මඳ ගතිය ඇති වූ විට, නොකළ හැකි අපරාධයක් නැත.

අද මඟුල් ගෙය මත්පැන් නිසා අවමඟුල් ගෙයක් බවට පත් වී ඇත. එසේම අවමංගල අවස්ථා මත් වතුර මගින් මඟුල් ගෙවල් බවට පත් කරගැනීමට බොහෝ දෙනා උත්සාහ ගනිති. උපන්දින සාදයේ දී දරුවාගේ අභිවෘද්ධි අවස්ථාවලදී එය සැමරුමට පළමුව ගෙන එන්නේ මත් වතුරයි. මෙයින් මවුපියන් දරුවන්ට ගෙන දෙන්නේ ආශිර්වාදයක් නොවෙයි. විශාල ශාපයකි,

විශාල නරක ආදර්ශයකි. මත්පැන නිසා මිනිසාගේ සිහි කල්පනාගතිනැති වී යයි. කාලය, ධනය, කීර්තිය වියැකී යයි. ඉන්ද්‍රිය දුර්වලතා ඇතිවී, ඉක්මණින් රෝගී වෙයි. පවුල් අවුල් වීමේ මූලික හේතුවූ, මත් වතුරයි. එසේම මිනීමැරීම්, මංකොල්ලකැම්, ස්ත්‍රී දුෂණ වැනි සියලු අපරාධවලට මුල

වන්නේ මත්පැන් , මත්ද්‍රව්‍ය බව අද සමාජ සමීක්‍ෂණවලින් හෙළි වී ඇත. මත්පැන් භාවිතයත් සමඟ පුද්ගලයාගේ සිහි කල්පනාව විනාශ වී යයි. මිනිස් ගති වියැකී යයි. තිරිසන් තත්ත්වයට වැටෙයි. ඉන් මෙලොව ජීවිත අවාසනාවන්ත අවමංගල්‍ය තත්ත්වයට පත්වෙයි. ඒ නිසා ඒ අයගේ පරලාව ජීවිතද බෙහෙවින් අවාසනාවන්ත වෙයි. එම නිසා පින්වත, ඔබේ ජීවිතය මත් රකුසාගෙන් ආරක්‍ෂා කර ගන්න. එය දෙලොව සැනසෙන උතුම් මංගල ජීවිතයක් බවට පත් කර ගන්න.

මෙම ගාථාවෙහි අවසාන මංගල කාරණය වන්නේ ‘ අප්පමාදො ච ධම්මේසු ‘ යන්නයි. සිතේ පවතින ගුණධර්ම මනා පරීක්‍ෂාවෙන් යුතු වූ බාධාවකින් තොරව අතරමග නතර නොවී නොකඩවා ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීම මෙම මංගල කරුණෙන් ගම්‍ය වන ගුප්තාර්ථයයි. එසේම ධර්මයෙහි පමා නොවීම මංගල ජීවිතයකට හේතු වන බව මින් කියැවෙන ප්‍රකට අදහසයි.

ධර්මයට අනුව දිවි පැවැත්ම නොපමාව කර ගෙන යන්නේ නම්, එය මනුෂ්‍යයාගේ දෙලොව ට සැනසුමකි.

ඔබ ධර්මානුකූලව ජීවත් වනවා නම් , දැහැමි පිළිවෙත ක්‍රියාවට නැංවීමට අප්‍රමාදීව කටයුතු කරනවා නම්, එය මහත් වාසනාවකි. ඔබ අප කවදා මරණයට පත් වේදැයි. කිව නොහැකිය. එසේ නම් ඔබ පරලොව ගෙන යන දෙයක් ඉක්මනින් රැස්කර ගත යුතුයි. පසුගිය භවයන්හි දී රැස් කළ පින් පව් අනුව මෙලොව ජීවිතය විසඳී ඇත. එසේම, මෙලොව ධර්මානුකූලව ජීවත් වන විට රැස්වන මෙලොව මෙන්ම පරලොව ද ජීවිත සුවදායක කරයි. එම නිසා නොපමාව ධර්මිෂ්ට ජීවිතයක් ගත කිරීම, ඉතා වැදගත් වෙයි. කළ කී දේ ගැන පසු තැවීමක් නැති නම්, ඒ දේ පිළිබඳ සතුටින් විසිය හැකි නම් එය දැහැමි දිවියක් ලෙස හැඳින්විය හැකිය.

“ යං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනො
විපාකං පටිසේවතී”

යන ධම්මපද ගාථාවෙන් දක්වා ඇත්තේද එම අදහසයි. එම නිසා ඔබ පින් කරන්න. දැහැමි ජීවිත ගත කරන්න. වයස්ගත වන තුරු සිටින්න එපා. අද බොහෝ බෞද්ධයෝ ජීවිතය පිනට නැඹුරු කර ගැනීමට අදහස් කරන්නේ තම සියලු රාජකාරි අවසන් වීමෙන් පසුවයි. සමහරු ‘පැන්ෂන්’ යන තුරු වයස්ගත වන තුරු ඒ සඳහා බලා සිටිති. මෙය විශාල මුළාවකි. විශාල වැරදීමකි.

අද අද එයි මරු පින් කර ගන්නේ, ‘ යන ලෝවැඬ සඟරා කවි පදයෙන් ද කියැවෙන පරිදි හැමදාම පින් කරන්න. ගුණ දම් රකින්න. අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ සඳහා විශේෂ වෙහසක් නැත. ඔබේ මරණ මංචකයේ දී ඔබ කළ පින් සිහි වෙයි නම් පරලොව දිවිය විසඳෙන්නේ, ඒ අනුවය.

අප්‍රමාදිව ධර්මානුකූලවීම මේ අනුව දෙලොව සැප ගෙන දෙයි. එම නිසා එය, මංගල කරුණයකි .

සැදැහැබර ඔබත් මෙකී මංගල කාරණා තුන ජීවිතයට එක්කර ගතහොත් එය වාසනාවේ දොරටුව විවෘත කර ගැනීමක් වෙයි. ඔබේ ජීවිත භාණ්ඩාගාරය පිනෙන් පුරවා ගන්න. එවිට ඔබ යහගුණයෙන් පිරුණූ අයකු වෙයි. එම වාසනාව උදාකර ගැනීමට ඔබ සැමට තිසරණ සරණින් ශක්තිය උදා වේවා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.