UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරෙක්ඛාර’ මදය

“උප්පන්නො පඤ්හො මයිහමෙව මුඛෙනජ්ජති භික්ඛාචාරං ගච්ජන්තාපි මමෙව පුරතො කත්වා පරිවාරෙත්වා ගච්ජන්තීති උප්පන්නො මානෝ”

‘මතු වන සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයා එන්නේ මා ළඟටමයි’ කියා හෝ ‘ඒවා මවිසින්ම විසඳිය යුතුයි’ ‘මට වඩා වෙනත් සුදුස්සෙක් ඒ සඳහා නැතැ’යි කියා ඇතිකරගන්නා මානය, මෙනමින් හැඳින්වෙයි. එතැනින් ද නොනැවතී පිඬුසිඟා වඩිද්දී හෝ දානමානවලදී මාවම පෙරටු කරගෙන මාවම පිරිවරා සිටිතියි අහංකාර වන පුද්ගලයෝ ද සිටිති. ශාසනික සම්ප්‍රදාය තුළ පැවිදි උපසම්පදාවෙන් වැඩිහිටියාට ප්‍රමුඛස්ථානය දීම මිස, දැනුමට, උගත්කමට, උසට, මහතට එහි තැනක් නැත.

ජ්‍යෙෂ්ඨ බවක් හෝ දැනුමක්, උගත්කමක් හෝ නැතිව ද මුල්තැන ගැනීමට කැමැති පුහු අහංකාරයෙන් පිම්බෙන අය, ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම සිටිති. එය පැහැදිලිවම දැනුමේ පමණක් නොව බුද්ධියේ ද ඌණතාවක් ම ය. උපසම්පදාව නොබලා වෙනත් දෙයට ප්‍රමුඛස්ථානය දිය යුතු අවස්ථා නැත්තේ ද නොවේ. එසේ නැතිව ශාසනික කටයුතුවල දී සඟ මහලු පිළිවෙළ ඉක්මවීම නම් නොකළ යුතුම ය.

ධනය, බලය, තනතුරු ආදිය නිසා ප්‍රසිද්ධ වූ අය, එයින් උදම්ව, හැමවිටම මුල්තැනම ගැනීමට කැමැති වෙති. ඡායාරූප ගැනීම්, රූපවාහිනී ගත කිරීම් වැනි අවස්ථාවල දී ඉදිරියට එන්නට මුහුණ පෙන්වන්නට දඟලන්නේ බොහෝ විට එවැනි පුද්ගලයන් ය. එවැනි අවස්ථා නොලැබුණ විට මානයක් සමඟ ද්වේශය මුසුවී සංවිධායකයන්ටත් දොස් කියා ගසා දමා යන අය ද සිටිති. තමන් සිතූ පරිදි මුල්තැන් ලැබුණු විට සංවිධායකයන් හමු වී ස්තුති කොට, පෞද්ගලිකවත් හමු වී තෑගි බෝග දී නිවටකම් පාන අවස්ථා ද තිබේ. එසේ කොට එය ‘කළගුණ සැළකීමක්’ බව ප්‍රකාශ කරති. කෘතවේදී බව මුවාවෙන් නිවටකම පෑම වංචනික ධර්මයකි.

අසතං භාවන මිච්ජෙය්‍ය
පුරෙක්ඛාරංච භික්ඛුසු
ආවාසෙසුච ඉස්සරියං
පූජා පරකුලෙසුච (ධ: ප: බාල 14)

මෙහි ‘පුරෙක්ඛාර’ යනු පෙරටුවීමයි. පිරිවර සහිතව ඉදිරියෙහි මුල්ව සිටිම හා මුලින් යාම් ඊම් කිරීම කැමැති වන බව ය. බුද්ධකාලයේ විසූ සුධම්ම භික්ෂුව ද මෙවැනි පහත් ආශා නිසා අගසාව් දෙනමට වෛර බැඳ, පසුව බුදුරදුන්ගෙන් මේ දහම් පද අසා රහත් වූ කෙනෙකි.

ථුල්ලතිස්ස භික්‍ෂුව ද කඳ බඩ මහත් වුවත්, වත් පිළිවෙත් හෝ නොදන්නා නිතර සෙනඟ ගැවසෙන තැන්වල ඉදිරියෙන් සිටීමට කැමැති වූ කෙනෙකි.

ග ැටලුවක් මතු වූ විට විසඳුමක් සොයා එන්නේ ඒ ගැන දන්නා කෙනකු ළඟට ය. එවැනි අවස්ථාවල දී කෙනකුට නොදන්නා දෙයක් කියාදීම ධර්ම දානමය පින්කමක් බව තේරුම් නොගෙන මානය උපදවා ගැනීම, ධර්මාවබෝධයේ අඩුවකි.

තමන්ගෙන් යමක් දැනගැනීමට ඉගෙනගැනීමට එන අවස්ථාවල දී, අවිවේකය හෝ වෙහෙස නොබලා එය කියාදීමට කාරුණික වනු විනා, මානය උපදවා ගැනීම වූ කලී උතුම්ම ධර්ම දානමය පින්කම කරගැනීමට ඇති අවස්ථාවක් තමන් විසින්ම නැති කර ගැනීමකි. ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නොදන්නේ නම් ඒ බව කීමට නිහතමානී වීමත්, ඒ පුද්ගලයා වෙනත් දැන උගත්කම් ඇති කෙනකු වෙත යොමු කිරීමත් උතුම් චරිත ලක්‍ෂණයකි.

නියම උගත්කම් ඇති අයට සමාජයේ තැනක් ගැනීමට බලෙන් ඉදිරියට යා යුතු නැත. සැබෑ උගත්කමේ ලක්‍ෂණය වන්නේ නිහතමානීකම යි. එය ගසක් පලබර වන විට, එහි අතු ඉති පහතට නැමීම වැනිය. කරල් බරින් ගොයම් ගස් පහතට නැමීම වැනි ය.

බුද්ධිමත්කම ද එයින් ම ප්‍රකට වෙයි. එවැනි අය සමාජය විසින්ම ඉදිරියට ගෙන එනු ලැබේ. එක් එක් විෂය පිළිබඳ දක්‍ෂකම් තිබූ අයට තනතුරු දීමෙන් බුදුරජාණන් වහන්සේ සිදු කළේ ද ඒ අය ඉදිරියෙන් තැබීමයි.

විවිධ දහම් ගැටලුවලට විසඳුම් සොයා එන අයට සානුකම්පිතව මඟ පෙන්වීම සඳහා තම ශ්‍රාවකයන් පෙළඹවීම තනතුරු ප්‍රදානය කිරීමේ අරමුණක් වන්නට ඇත. ඒ අතර ධර්මය මූලික කොට දුන් තනතුරු මෙතැනට සම්බන්ධ කොට විමසා බැලීම සුදුසු ය.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ චිරරාත්‍රඥ භික්‍ෂූන් අතරින් අග තනතුර ලබා ගත්හ. පුණ්ණමන්තානිපුත්ත තෙරණුවෝ ධර්ම කථිකයන් අතර ද මහා කච්චායන හිමියන් කෙටියෙන් දෙසූ දහම් සවිස්තරව දෙසන්නවුන් අතර ද අග තනතුරු ලැබූහ. විචිත්‍ර ධර්ම කථිකයන් අතර අග්‍රප්‍රාප්ත වූවෝ කුමාරකාෂ්‍යප තෙරණුවෝ ය. භික්‍ෂුණී උපාසක, උපාසිකා පිරිස් අතර ද මෙවැනි තනතුරු ප්‍රදානය කර ඇත.

මේ මානසික තත්ත්වය, එනම් ‘පුරෙක්ඛාර’ මදය එක එක මුහුණුවරින් වර්තමාන ගිහි පැවිදි දෙපක්‍ෂය අතර ද දක්නට ඇත. නියමිත වේලාවට නොපැමිණ, ප්‍රමාද වී පැමිණීමෙන් රැස්වූ පිරිසෙහි වැඩි අවධානයට ලක්වීමට හදන්නේ පුරෙක්ඛාර මදය නිසා ම ය.

ආරාධනා කළත් තමාගේ නම ආරාධනා පත්‍රයේ හෝ දැන්වීමේ පළ නොවී තිබුණොත් උත්සවයට සහභාගී නොවන්නේ ද ඒ මානසික තත්ත්වය නිසා ය. තමාගේ නම තනතුර හරියට පළ නොවීමත්, සුළු වැරදි සහිතව පළවීමත් උත්සවයට සහභාගි නොවීමට කාරණයක් කර ගැනීම ද, සහභාගි වූවත් ඒ ගැන කියා ආරාධනා කළ අයට ;ඟස් කීම ද, මානයේම ලක්‍ෂණ වෙයි. පදවි, තනතුරු පසුපස ආශාවෙන් දුවන අයයි, එලෙස හැසිරෙන්නේ. කොතෙක් පදවි ලැබුණත් ඒවා අදාළ නැති තැන ප්‍රකාශ නොකිරීම; පළ නොකිරීම, නියම බුද්ධිමතාගේ ස්වභාවයයි.

දුරුතු අමාවක 

 පෝය පෙබරවාරි 06 වනදා බදාදා පූර්ව භාග 09.27 ට ලබයි.
7 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 09.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 06 වනදා බදාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]