Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධි පූජාවෙන් සෙතක් ලැබෙන්නේ කෙසේ ද?

ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී ‘බුදු වී මිස නොනැගිටිමි’යි අදිටන් කොට, මෙයින් වසර 2597කට පෙර වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.

‘බෝධිය’ යන්නෙන් අදහස් කැරෙන්නේ ‘අවබෝධය ලැබීම’ යන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධ” වෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ‘ලෝකය’ යනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. ‘බෝධිය’ යන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.

එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2551 ක් වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.

බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය ‘බුද්ධානුස්සති’ භාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින්

කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.

බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.

සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.

දඹදිව ජය ශ්‍රී මහා බෝධියේ දී කොඩි එල්ලා තිබෙනු දක්නට ඇත. ඒ අමනෝඥ ක්‍රියාව කරන්නේ ශ්‍රී ලාංකිකයන් වීම, ලැජ්ජාවට කරුණකි.

බෝධීන් වහන්සේගෙන් දරුඵල පැතීමත් විභාග සමත්වීමත්, පවුලේ ග්‍රහ අපල දුරුවීමත් සඳහා පිහිට පැතීම බුදු දහමට පටහැනි ක්‍රියාවකි. බෝධීන් වහන්සේගෙන් යම් යම් දේ ඉල්ලීම නම් බෝධි පූජාවක් නොවේ.

බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ‘ආනන්ද බෝධිය’ නමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.

මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.