Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, සමස්ත ජනතාවටත් සෙත් පතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ඉකුත් දා (16) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. දළදා මැඳුරේ අලුත් මාලිගාවේ දී පිරිත් සජ්ඣායනාව පැවැති අවස්ථාව හා ඊට සම්බන්ධ වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ යන මහත්වරු සේයාරුවේ වෙති.
මහනුවර ඡායාරූප වාර්තාකරු- ශාන්ත රඹුක්වැල්ල.

රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති රෝහණ පාර්ශවයේ මහනායක සාහිත්‍ය සූරි අත්තුඩාවේ සිරිරාහුල මහ නා හිමියන්ගේ අසූනව වන ජන්ම දිනය නිමිතිකොට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමයේ දී පැවැත්වූ ආශිර්වාද පූජෝත්සවයේදී මහානාහිමියන් ලියා පළකළ පොත් රාශියක් දළඳා මාලිගාවේ පුස්තකාලය සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත සහ රුහුණු විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සඳහා එහි උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා වෙත මහනාහිමියන් විසින් පරිත්‍යාග කරන ලදී. එම උත්සව සභාව අමතා මහාචාර්ය ගතාරේ ධම්මපාල රෝහණ පාර්ශවයේ අනුනාහිමි, මහාචාර්ය මිදිගම සෝරත නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ද, රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාද කෙටි දෙසුම් පැවැත්වූ අතර මහාචාර්ය ගාමිණි සේනානායක මහතා මහ නාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව පිළිබඳ ආරාධිත දේශනය පැවැත්වීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහනා හිමියන්ට එවූ පරිත්‍යාග වරාය හ සිිවිල් ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී. මහින්ද යාපා අබේවර්ධන ඇමැතිතුමා විසින් ජනාධිපතිතුමන් ගේ් ආශිර්වාද පණිවුඩය කියවන ලදී. ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූ අතර උත්සව සභාව අවසානයේදී බෝධි පූජාවක් හා සෙත් පිරිත් දේශනාවක් පවත්වා මහානාහිමියන්ට ආශිර්වාද කරන ලදී. අත්තුඩාවේ රාහුල මහ නාහිමියන් විසින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පොත් පරිත්‍යාග කළ අවස්ථාව සේයාරුවෙන් දැක්වේ.

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහර ආශි‍්‍රත ආලෝක පූජාවට මෙවරත් ස්වදේශී කර්මාන්තය මගින් අනුග්‍රහය දක්වන ලදී. නව වන වතාවටත් එම සමාගමේ අනුග්‍රහය ලැබූ ආලෝක පූජාව ජනවාරි මස 18 දින සිට ජනවාරි 22 දා දක්වා පැවැත්විණි.ස්වදේශී සමාගමේ සභාපතිනි අමරි විජේවර්ධන, ප්‍රධාන විධායක නිලධාරි නුවන්විමලාන සහ අලෙවි කළමණාකාර චමින්ද එස්. ජයසිංහ ආරච්චි යන මහත්ම මහත්මීහුද, විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ද ඡායාරූපයේ වෙති. මාදම්පේ සමූහ - ඒ.පී. ගුණරත්න

ඉන්දියාවේ සැවැත්නුවර ජේතවනාරාමයේ ආනන්ද බෝධියේ අංකුරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අනුග්‍රහයෙන් නාමල් උයනට ලබාදීමෙන් පසු නාමල් උයන අධිපති වනවාසී රාහුල හිමියන් ගේ සංවිධානයෙන් උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, මහදිසාපති එච්.එම්. කේ. හේරත්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය රෝපණය කිරීමට නාමල් උයන තුළට වැඩමකර වූ අවස්ථාව.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

රාගම නවලෝක විහාරස්ථානයේ අභිනව සම්බුද්ධ ජයන්ති චෛත්‍ය රාජායාණන් වහන්සේ තුළ සර්වඥධාතු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්විණි. නවලෝක විහාරාධිපති කෙරවලපිටියේ සුමේධ හිමියන් සර්වඥ ධාතූන් වහන්සේ නිදන් කිරීමට සූදානම් වූ අයුරු.

හල්තොට ලෙනවර රජමහා විහාරස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාසය පසුගිය දා විවෘත කැරිණි.එම විවෘත කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නා හිමියන් පෙරහරෙන් උත්සව සභාව වෙත වැඩම කරවූ අවස්ථාව.
ඡායාරූපය- හොරණ මධ්‍යම විශේෂ චන්ද්‍රා ශ්‍රී පෙරේරා

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.