Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් ගුරු සංගමයේ රජත ජයන්තිය නිමිත්තෙන් දහම් ගුරුවරුනට සම්මාන

සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමයට විසි පස් වසරක් සපිරෙන රජත ජයන්තිය නිමිත්තෙන් දහම් පාසල් ඉතිහාසයේ මෙතෙක් නොලැබුණු ඉහළම සම්මානයෙන් දහම් ගුරුවරුන් වෙත ජාතියේ උපහාරය දැක්වීමට සංගමය විධි විධාන යොදා ගෙන යන බව එම සංගමයේ ලේකම් කියයි.

ඒ අනුව මුළු දිවයිනේම දහම් පාසල් ගුරු භවතුන් අතුරෙන් , වැඩිම හා අඛණ්ඩ සේවා කාලයක් සපුරා දැනටත් ක්‍රියාකාරි දහම් ගුරු සේවයෙහි යෙදී සිටින ගුරු මහතා සහ ගුරු මහත්මිය තෝරා ගෙන ඔවුනට “ සද්ධර්ම ප්‍රදීපිකා” ගෞරව නාමය සහිත විශිෂ්ඨ සේවා සම්මාන පිරි නැමෙයි. එම දෙදෙනාට මුදල් පරිත්‍යාගයක් සමඟ විශේෂ උපහාර සංකේතයක්ද, විශිෂ්ඨ ගුරු සේවා සහතිකයක්ද බැගින් හිමි වෙයි.

එම විශිෂ්ඨ සේවා උපහාර දෙකට අමතරව, අධ්‍යාපනික, සංස්කෘතික , සමූපකාර, ආරක්‍ෂක , ආයුර්වේද , බැංකු , ප්‍රවාහන, ජනමාධ්‍ය, සමාජසේවා , පෙරපාසල් වැනි විවිධ වෘත්තින්හී නියැලී සිටිමින්ම දහම් පාසල් වල ගුරු සේවයෙහිද නිස්සරණාධ්‍යාශයෙන් ඉගැන්වීමේ යෙදී සිටින ගුරු භවතුන් අතුරෙන් සුදුස්සන් තෝරා ඔවුනට “ පරාර්ථකාමී සමාජ සේවා” ගෞරව නාමය සහිත විශිෂ්ඨ සේවා සම්මාන පිරි නැමීමටද නියමිතය.

මෙය දෙයාකාරයේම සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීම සඳහා දිවයිනේ සියලුම දහම් ගුරුවරුන්ගෙන් දැන් අයදුම්පත් භාර ගනු ලබන අතර එය 2008 පෙබරවාරි 25 වැනි දිනෙන් අවසන් වෙයි.

ඒ සඳහා සංගමය මගින් අයදුම් පත් නිකුත් නොකෙරේ. තමාගේ සුදුසුකම් ඇතුලත් අයදුම්පතක් තමා විසින්ම පිළියෙල කොට, තමා සේවය කරන දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයාගේ අනුමැතිය හා ලේඛකාධිකාරි හිමියන්ගේ නිර්දේශය ඇතුව, පහත ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතුය. අනුමැතිය හා නිර්දේශය කළ ඇත්තන්ගේ නිල මුද්‍රාව සමග දිනය සඳහන් කිරීම අනිවාර්යය. එසේ නොමැති අයදුම් පත් ප්‍රතික්ෂේප කෙරේ.

සියලුම අයදුම්පත් ලිපි කවරයේ “ රජත ජයන්ති ගුරු උපහාර “ යනුවෙන් සඳහන් කොට, ලේකම් , සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමය , ශ්‍රී ජයවර්ධනාරාමය, කෝට්ටේ පාර, කොළඹ 08 ලිපිනයට එවිය යුතු බව එහි ලේකම් කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.