Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධගයාවේ වාර්ෂික මහා ත්‍රිපිටක සජ්ඣායනය

ඉන්දීය මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානය හා පාලි ත්‍රිපිටක සජ්ඣායනා ජාත්‍යන්තර කවුන්සිලය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන පාලි ත්‍රිපිටක සජ්ඣායනය තෙවත වරටත් මෙම පෙබරවාරි මස 12 දින සිට 22 තෙක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සලසා ඇති අතර, ශ්‍රී ලංකාවෙන් එහි සංවිධාන කටයුතු සඳහා “ධර්ම දූත පදනම” පිහිටුවා ගෙන ඇත.

පුරා දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන එම ත්‍රිපිටක සජ්ඣායනයට ලොව ථෙරවාදී බෞද්ධ රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය හා බංගලාදේශය යන රටවල් හයෙන් දහසක් (1000) පමණ භික්‍ෂූන් වහන්සේ සහභාගී වෙති. ශ්‍රී ලංකාවෙන් සජ්ඣායනයට සහභාගී වන භික්‍ෂූන් වහන්සේලාගේ නායකත්වය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දරති.

ත්‍රිපිටක සජ්ඣායනයේ සමාරම්භක උළෙල දඹදිව බුද්ධගයාවේ දී පෙබරවාරි 12 දින අති උත්කර්ෂවත්ව පැවැත්වේ. එම අවස්ථාවට සහභාගී වන භික්‍ෂූන් වහන්සේ අතර, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමි, අමරපුර ධර්මරක්‍ෂිත මහානිකායේ අනුනායක ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි, නාගොඩ අමරවංශ නාහිමි, ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පල්ලේගම හේමරතන නා හිමි, මහරගම මහින්ද නාහිමි, දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහ නාහිමි, අරම ධර්මතිලක නාහිමි, උඩුවේ ධම්මාලෝක හිමි, කිරිබත්ගොඩ ඤාණනන්ද හිමි, තලල්ලේ චන්ද්‍රකීර්ති හිමි, කෝට්ටේගොඩ ගෝතම හිමි, ගල්ලැහැපිටියේ පේමරතන නා හිමි, කරකොලේ පියදස්සී නාහිමි යන හිමිවරු වෙති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ධර්මදූත පදනම වෙත ලබාදුනි. ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගේ කාරුණික උපදෙස් පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් ද, මහාභාරකාර තුමාගෙන් ද මූල්‍ය අනුග්‍රහය ධර්මදූත පදනම වෙත ලැබුණු බව රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපතිනි වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නී ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.