Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇහැලියගොඩ මාහර පුරාණ විහාරය
 


විහාරාධිපති අස්ගගුලේ විමලරතන හිමි

අවිස්සාවේල්ල රත්නපුර මහා මාර්ගයේ ඇහැලියගොඩ නගරයට නුදුරු තලගහමුල හන්දියෙන් වමට හැරී කිලෝමීටර බාගයක් පමණ වෙල්යායක් මැදින් ගමන් කළ විට තරමක උස් බිමක පිහිටි “ මාහර පුරාණ විහාරයට “ ළඟාවිය හැකිය.
බෝධිපූජා පැවැත්වීමේ ක්‍රියාවලියේදී එකම හිමිනමක විසින් පුරා වසර 35 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ බෙහෙවින්ම සක්‍රීය ලෙස බෝධි පූජා 15 000 කට ද අධික සංඛ්‍යාවක් අව් වැසි නොතකා පවත්වමින් සබරගමු පළාත තුළ බෙහෙවින්ම ජනාදරය දිනූ රමණීය පුද බිමකි මෙය ඇහැලියගොඩ අවටින් පමණක් නොව බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් ද බෝධිපූජා සඳහා දෛනිකව ම මෙහි පැමිණෙන බැතිමතුන්ට සෙත, ශාන්තිය ළඟා කැර දෙන මෙහි වෙසෙන යතිවරයාණෝ කුරුවිට කෝරළේ අධිකරණ සංඝ නායක, ප්‍රවචන කීර්ති ශ්‍රී වාදීභසිංහ මාහර වියලගොඩ සහ පොල්වත්ත විහාරත්‍රයාධිපති සහ ශ්‍රී සෝමරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය, අස්ගඟුලේ විමලරතන හිමිපාණෝ වෙති.
කීර්තිමත් ඈත අතීතයකට නෑකම් කියන මෙම චිත්තාකර්ශණීය පුද බිම අපවත් වී වදාළ පූජ්‍ය මාහර සෝමරතන හිමිපාණන් විසින් යම් ප්‍රමාණයකට සංවර්ධනය කැර තිබූ අතර පූජ්‍ය විමලරතන හිමියන් මෙහි දියුණුව වඩාත් ක්‍රමවත් කැර ඇත. මහානුභාවසම්පන්න බෝධීන් වහන්සේ වටා රුපියල් ලක්‍ෂ පහක පමණ වියදමකින් අගනා රන්වැටක් ඉදි කරවා ඇති උන්වහන්සේ දැනට රුපියල් ලක්‍ෂ 20 ක පමණ බරපැණ මත බෝධීන් වහන්සේට මුහුණලා 18 රියන් බුදුරුවක් ඉදි කැරවීමෙහි නිරත වී සිටිති. එම බුදුරුව අනිමිසලෝචනය විදහා දක්වයි.
මෑතකදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මනාලෙස පිළිසකර කරන ලද වසර 400 ක් පමණ පැරණි අගනා චිත්‍ර සමූහයක් විහාරගෙයි බිත්තිවල ඇත.
මාහර පුරාණ විහාරස්ථ ශ්‍රී සෝමරතන දහම් පාසල තුළින් සිසු පරපුරට ක්‍රමවත් දහම් දැනුමක් සැපයෙයි. විසිතුරු පෙරහර සංවිධානය මෙන්ම මහාසීල ව්‍යාපාර පැවැත්වීම අතින්ද මෙම විහාරස්ථානයට සුවිශේෂගෞරවණීය වූ තත්වයක් හිමි වේ.


බුද්ධ ප්‍රතිමා වහන්සේ


චෛත්‍ය රාජයාණන් වහන්සේ


ඉදිවෙමින් පවතින 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ


නුවර යුගයේ සිතුවම්


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.