Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුලියාපිටියේ දුරුතු මහා පෙරහර

අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙන් වීථි සංචාරය 25 දා

සංස්කෘතික කලා මංගල්‍යය

 

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ දුරුතු මහා පෙරහර කමිටුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා පෙරහර 14 වන වරටත් 2008 වර්ෂයේ ජනවාරි මස 25 වෙනි සිකුරාදා දින පැවැත්වේ.

ශත වර්ෂයකට නො අඩු ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානයේ ප්‍රථම විහාරාධිපති ධූරය දරන ලද්දේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මහා ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේගෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මහා ස්වාමීන් වහන්සේ මෙහි විහාරාධිපති ධූරයට පත් වූහ. උන්වහන්සේ ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු මහා පෙරහර ආරම්භ විය. 1999 දී උන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරස්ථානයේ ආධිපත්‍ය හා සියලු ජාතික, ආගමික හා සංස්කෘතික කටයුතු අප වෙත පැවරුනි. අප ගේ අනුශාසනා පරිදි පවත්වන 10 වන පෙරහරයි මේ. අද වන විට මෙම පෙරහර වයඹ පළාතේ ප්‍රමුඛතම පෙරහර බවට පත් වී හමාර ය. ඒ සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ, සඤ්ඤා ලේඛකාධිකාරී මකුලෑවේ විමල නාහිමි, ඉලිප්පදෙණියේ සීවලී නාහිමි, බුරුසේගොඩ විජිතනන්ද නාහිමි, අත්තංගනේ ශාසනරතන නාහිමි ඇතුළු පැවිදි ගිහි සැමගෙන් ලැබෙන අවවාද අනුශාසනා අගය කරන අතර, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, වෙළඳ ආයතන, විවිධ සංවිධාන හා ප්‍රදේශවාසී දානපතීන් ලබා දෙන අනුග්‍රහය පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. මෙවර පෙරහර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ හා මැති ඇමැතිවරු සම්භාවනීය අමුත්තන් ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ආරම්භ වී ශ්‍රී දළදා මාළිගාවේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කොට උඩරට, පහතරට, සබරගමු හා විවිධ සංස්කෘතික අංග ඇතුළත් පෙරහර ඇස්සැද්දුම මහා විහාරයෙන් ආරම්භ වී කෙළින් වීදිය ඔස්සේ සංචාරය කර කච්චේරිය අසළින් ආනන්ද මාවත, හෙට්ටිපොල පාර ඔස්සේ විහාරස්ථානයට ගෙවදීමට නියමිත ය.

මෙම සංස්කෘතික කලා මංගල්‍යය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් හා සියලු දෙවියන් ගේ රැකවරණයෙන් සාර්ථක කර ගැනීමට සැමගේ ශක්තිය හා ධෛර්ය ලැබේවා.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.